වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




‘හුරේ පාර’ යූ ටියුබ් එකේ ලක්ෂයක් බලලා

‘හුරේ පාර’ යූ ටියුබ් එකේ ලක්ෂයක් බලලා

මගේ කොණ්ඩෙන් මාව අඳුරගන්න පුළුවන්

නව පරපුරේ ගායන ශිල්පී උදය ශ්‍රී වික්‍රමසිංහ

උදය ශ්‍රී වික්‍රමසිංහ ගයන තරමක් ගැයුවේ ආදර ගීත. ගොඩක් අය විශ්වාස කළේ ඔහුට ඒ රාමුවෙන් මිදෙන්නට බැහැ කියලා. මේ ළඟදී දවසක උදයගෙ හඬින් ගැයූ වේග රිද්මයේ ගීතයක් අසන්නට ලැබුණා. වැඩිදුර විස්තර කිව්වොත් ඒක ක්‍රිකට් ක්‍රීඩකයන්ව දිරි ගැන්වීමේ ගීතයක්. මේ දිනවල තියෙන ක්‍රිකට් උණුසුම් එක්ක ඒ ගීතය බොහෝ දෙනෙකු රස විඳින්නට පටන් අරගෙන ඉවරයි. උදය එය නම් කොට තියෙන්නේ ‘හුරේ පාර’ නමින්. උදය නම් කියන්නේ ඒ හුරේ පාර තමන්ගේ ගායන ජීවිතයට ද හුරේ පාරක් වුණ බවයි.

උදය, මා පළමුව ඔබගෙන් දැනගන්නට කැමැතියි හුරේ පාරේ අතීතය ගැන?

මේක ලිව්වේ අප හිතවත් මාධ්‍යවේදී ආරියවංශ කුලතිලක. මගේ තමයි තනුව සහ සංගීතය. ඇත්තම කතන්දරේ මේකයි. හුරේ පාර හැදුවේ වර්ල්ඩ් කප් එක ඉලක්ක කරගෙන නෙවෙයි.

එහෙනම්?

මේ කියන සිදුවීම වුණේ අදින් වසරකට පමණ පෙර. මට හිතුණා වේග රිද්මයේ ගීතයක් කියන්න. ඒ හින්දා මෙලඩියකුත් හැදුවා. මං ඒක ආරි අයියට යවලා විස්තරේ කිව්වා. ඊට පසුව කාලයත් සමඟ ඒක අමතක වුණා. ඒ ගීතය ගැන මතකය යළිත් ආවර්ජනය වූයේ ලෝක කුසලානයත් සමඟ. ඊට සරිලන්න ආරි අයියා වචන යෙදුවා. නියම කාලේ අවුට් කළා.

ඔබේ හඬින් මෙවන් වූ ගීතයක් කිසිවෙකුත් බලාපොරොත්තුවෙන් හිටියේ නැහැ?

ඔව්. හැබැයි මෙහෙම දෙයක් වුණා. මගේ විිරහ ගීත නොඅහපු ගොඩක් දෙනෙක් හුරේ පාර රස විඳලා තිබුණා. මේ වෙන කොට යූ ටියුබ් හරහා ලක්ෂයකට වැඩි පිරිිසක් ගීතය නරඹලා තියෙනවා. මං හිතන්නේ මට වෙනම ක්‍රවුඩ් එකක් හැදුණා මේ ගීතය හරහා.

ඇයි මේ ගීතය රචනා කරගන්න ආරියවංශ කුලතිලකවම තෝර ගත්තේ?

ඔහු මට කලින් ගීතයක් ලියලා දුන්නා සුහුඹුල් සෙනෙහස කියලා. එහි පද මාලාවට මං බෙහෙවින් ආස වුණා. ඒ කැමැත්ත මතයි මං මෙය ලියන්නත් ඔහුටම දුන්නේ.

මා දන්නා පරිදි ඔබ ටිකක් බයිලා රිදම් එකට අකැමැතියි?

ඔව්. මට ඕනෑ බයිලත් නොවුණ සුභාවිතත් නොවන සරල ගීත කියන්න.

හුරේ පාර අහපු ක්‍රිකට් ක්‍රීඩකයෝ ඔබට කතා කළේ නැතිද?

කතා කළා. ක්‍රිකට් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම මෙහි වීඩියෝවට එකතු වන්න හිටියා. නමුත් නවසීලන්ත ටුවර් එක හින්දා එන්න බැරි වුණා ඔවුන්ට.

කවුද මෙහි වීඩියෝව කළේ?

මගේ හෙවන් ස්ටුඩියෝ එක මඟින් තමයි වීඩියෝව නිර්මාණය කෙරුවේ.

මෙය රූගත කරද්දී ඔබේ කොණ්ඩ විලාසිතාව බාධාවක් වුණා කියලා ආරංචියි?

ඒකනෙ, ඒ වීඩියෝව කරන කාලේ මගේ පෞද්ගලික කොණ්ඩ සැකසුම් ශිල්පියා රට ගිහිල්ලා හිටියේ. එතන හිටපු කෙනාට මගේ කොණ්ඩය ඒ විදිහට හදාගන්න බැරි වුණා. අන්තිමේ එකතරා ආයතනයක කොණ්ඩ සැකසුම් ශිල්පියකුව ගෙන එන්නට සිදු වුණා. මේ කටයුතු ඉවර වෙලා ආයෙ ෂූට් එක පටන් ගනිද්දි පැය දෙකක් පමණ ලේට් වෙලා.

ඇයි ඔය කොණ්ඩෙට ඔච්චර කැමැති?

මේක මගේම ස්ටයිල් එකකට මං හදාගත්තේ. කාලෙන් කාලෙට මං මටම ඔබින විලාසිතාවක් කරනවා. මේ කාලේ මාව මගේ කොණ්ඩෙන් විතරක් අඳුන ගන්න පුළුවනි.

මේ කොණ්ඩා මෝස්තරයේ අදහස ඔබගේද?

මගේ විතරක් නෙවෙයි. බිරිඳත් මේ අදහස දුන්නා.

ඔබේ පුංචි පුතු දීගායුෂ් හුරේ පාර වීඩියෝවේ රඟපානවා. හිතාගෙන ඉන්නේ ඔහුවත් කලාවට ගෙන්නද?

ඇත්තම කිව්වොත් මං පුතාව වීඩියෝවට ගත්තේ නිකමට වගේ . අන්තිමේ ඔහු අපටත් වඩා හොඳින් ඩාන්ස් කළා. වන් ටූ ත්‍රී කියලා ඩාන්සිං ස්ටෙප් පටන් ගනිද්දී ඔහු ඒ විදිහටම කළා. මං තවම තීරණය කරලා නැහැ පුතාව කලාවට එනවාද නැති ද කියලා. ඔහුගේ අනාගතය තීරණය කරන්න ඔහුටම බාර කරනවා.

උදය, හුරේ පාර සාර්ථක කරගන්න කවුද උදවු කළේ?

වීඩියෝවේ නිෂ්පාදක හෙවන් ස්ටුඩියෝ වෙනුවෙන් මගේ බිරිය වින්ද්‍යා විතාරණ වික්‍රමසිංහ ඇතුළු ලකී ඩයස්, චාන්දනී බණ්ඩාර, ආචාර්ය පබිලිස් සිල්වා, ආචාර්ය විජිත් විද්‍යාභූෂණ, රමෝස් මාලක මේ පිරිසව තමයි මතක් කරන්න ඕනෑ.