වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




යොවුන් පේ‍්‍රමයේ චමත්කාරය කැටි වූ සිනා සාගරයක සිනමාත්මක වින්දනය සිංග මචං චාලි

යොවුන් පේ‍්‍රමයේ චමත්කාරය කැටි වූ සිනා සාගරයක සිනමාත්මක වින්දනය සිංග මචං චාලි

සුදු සරම ඇඳී සුදු අත්දිග කමීසය ඇඳ පුටුවේ වාඩිවී සිට චාලිගේ දෙනෙත යොමුව තිබුණේ පාරේ යන වාහන දෙසටය.මාර්ගයේ ගමන් කරන එක් එක් වර්ගයේ වාහනවලින් නැගෙන ශබ්දය මුළු පරිසරයේම වූ සැහැල්ලු බවත්, නිස්කලංක බවත් ගිලගෙන හමාර ය.

ඒ සිතුවිල්ලෙන් ඈත් වුණු ඔහුගේ දෙනෙතට හසුවූයේ කාර්යාලය ඉදිරිපස ඇති දැන්වීම් පුවරුවයි.ඒ දෙසට නෙත් යොමුකළ චාලි එහි සඳහන් වචන කිහිපවරක්ම සිතෙන් කියෙව්වේ ය.

‘ ශාස්ත්‍රපති චාලි’

ඔහුගේ මුවඟට නැගුණේ සෝපහාසයෙන් යුත් කපටි සිනහකි. එවිගසින්ම චාලිට සිහිපත් වූයේ මද වේලාවකට පෙර ඔහුට කියා කේන්දරය බලා ගැනීමට පැමිණි අයට කියූ බොරු තොගයයි. ඔහු එසේ පැවසූයේ ඒ දෙදෙනාගේ හැසිරීම හා කතාබහ නිරීක්ෂණය කිරීමෙනි.

ඒ අනුව චාලි පැමිණි නිගමනය හරියටම හරි විය. ඔහු එල්ලය බලා පැවසූ පළමු බොරුව හරි ගියේ කිරි ගහට ඇන්නා සේය.

මුල් කාලයේ මේ බොරුකීම තරමක් අමාරු කාර්යයක් වුවද දැන් දැන් ලැබෙන අත්දැකීම් රාශිය හමුවේ මේ රැකියාව හැර වෙහෙස නොවී කළ හැකි වෙනත් රැකියාවක් තිබේදැයි චාලි කල්පනා කළේ ය. එවර නම් ඔහු ‘හක හක’ ගා සිනාසුණේ මහ හඬිනි.

මේ අතර ඔහුගේ නෙතට හසුවූයේ ගමනේ යෙදෙන සොඳුරු යුවතියකි. සැනෙන් චාලිගේ සිතට පිවිසියේ චමී ය. චමී වෙත ඔහුගේ සිත බැඳුනේ ඈ දුටු පළමු දිනයේම ය. චාලිගේ නිවෙස පිටුපස නිවෙසට පැමිණි යුවතියන් අතරෙන් තමා සිත්බැඳී මේ යුවතියගේ නම චමී බව ඔහු දැන ගත්තේ ටික දිනකට කලිනි.

“ ඒත් තවමත් මගේ අදහස ඈට කියා ගන්න බැරිවුණා නේ”

ඔහුගේ සිත ශෝකයෙන් පිරුණේ ය. ඒ ශෝකයට ඉඩක් නොතබාම ඔහුට යළිත් සිය සිතුවිලි වෙනස් කිරීමට සිදුවූයේ යතුරු පැදියක ශබ්දයෙනි.

“මේකා මේ වෙලාවට මොකට එනවද දන්නේ නැහැ”

රෝමියෝ සිහිපත් වූ බැවින් චාලි පවසා ගත්තේ තමාටම ය. එහෙත් ඒ සිතුවිල්ල නිවැරැදි නොවීය. කාර්යාලය පසු කරගෙන ගියේ රොමියෝගේ යතුරුපැදිය නොව අනෙකක් ය. ඔහුට සුසුමක් හෙළුනේ ඉබේටම ය.

පවුලේ බඩ පිස්සා වූ රෝමියෝ ගතකළේ සැහැල්ලු ජීවිතයකි. කිසිදු වගකීමක් නොගත් ඔහු නිතරම උත්සාහ කළේ ආදරණීය පෙම්වතෙක් වීමට ය. එහෙත් ඒ අදහස නිෂ්ඵල වූයේ හිරු දුටු පිනි බිඳු මෙනි.

“ කෙල්ලෝ ඇතුවත් බැහැ. නැතුවත් බැහැ”

මේ රෝමියෝගේ දෙතොල මත නිතරම මෙන් රැව්දුන් වදනකි. ඔහු සිත්ගත් යුවතිය මුණ ගැසුණු විටෙක ඇයට ළංවී සිත් ගැනීමට සිතා පෙම්බස් පැවසූයේ දෙවරක් නොසිතා ය.

ඇය හා කතාබහ කිරීමට රෝමියෝ යොදාගත් අපූරු වචන පෙළක් ද විය.

“ ඔයා දන්නවද ? ගමේ හැමෝම කියන්නේ මම ෂාරුක් වගේ කියලා. ඔයා මම ගැන අහලා නැද්ද?”

මේ කතාව ඇසූ බොහෝ යුවතියන්ට සිනහ පහළ වූයේ නිතැතිනි. ඒ ෂාරුක් වන්නට සිතන මේ කොල්ලා දැකීමෙනි.

දිනක් යුවතියකට විහිළු කරන්නට යෑම නිසා රෝමියෝට මුහුණදීමට සිදුවූයේ නොසිතූවිරූ අකරතැබ්බයකට ය. හදිසියේම පැමිණි කිහිපදෙනෙකු ඔහු වටකර ගත්තේ එක්වරම ය.

කිසිදු වදනක් පවසන්නට ඉඩ නොතබාම එක් අයෙකු රෝමියෝගේ කන හරහා පහරක් එල්ල කළේ ය.

එසැනින්ම අනෙක් අයත් ඔහුට පහර පිට පහර එල්ල කළේ බිමට වැටෙනතුරු ය. කිසිවක් කරගත නොහැකි වූ රෝමියෝ පොළොව බදා ගත්තේ මේ පිරිස හමුවේ තනි කෙනෙකුට කළ හැකි කිසිවක් නොමැති නිසාය. ඔහු කෙඳීරි ගෑවේය.

රෝමියෝට කරදරයක් බව රමේෂ් දැන ගන්නා විට සියලු දේ සිදුවී හමාරය. මෙවැනි අකටයුත්තක් රෝමියෝට සිදුකළේ කවුරුන්දැයි ඔහු දස අතේ කල්පනා කළේ ය.

කවුරු වුව වැරැද්දට දඬුවම දිය යුතුමය. රමේෂ් පසුවූයේ සිය බාල මල්ලීට වූ කරදරයේ සිතුවිල්ල සමඟිනි.

ගරාජයක හිමිකරුවකු වූ රමේෂ්ට සියලුදෙනා ඇමතුවේ ‘සුදු අයියා’ යන ආදරණීය නාමයෙනි. කාර්යබහුල ජීවිතයක් ගෙවූ ඔහු සිය කාලය කැප කළේ ගරාජයේ දියුණුව සඳහාය. ගෝලයෝ කිහිපදෙනෙක්ම ඔහු යටතේ වැඩ කළහ.

“ මාර ටයර් සෙට් එක සුදු අයියා”

එහි උන් එකෙක් මෝටර් රථයක් අලුත් වැඩියාවක් කරමින් සිටි සුදු අයියා අමතා පැවසුවේ ය.

“ මාර පෙට්‍රල් ටැංකිය සුදු අයියා”

“ කියලා වැඩක් නැහැ සුදු අයියා මාර බොඩිය සුදු අයියා ”

කොල්ලන්ගේ කෑගැසීම එන්න එන්නම වැඩි ය. ඒ කෑගැසිල්ල අතර රමේෂ් කෑ ගසා ඉල්ලුවේ යතුරය.

“ පිස්සු නටන්නේ නැතිව බෝල්ට් ඔය දාහතරේ යතුර දීපන් ”

රමේෂ් මෝටර් රථයේ යට කළ අලුත්වැඩියාව නවතා එළියට පැමිණියේ කොල්ලන් ඔහුගේ ඉල්ලීම ගණනකට නොගත් බැවිනි.

ඔහු අසල සිටියේ සුන්දර යුවතියකි. ඔහු ඇය දෙස බැලුවේ පුදුමයෙනි.

“ රමේෂ් මම සෙව්වන්දි. ඉන්නේ ඔයාගේ ගෙවල් ළඟ. මම ආවේ ඔයාව හඳුන ගන්න. ”

ඇය පැවසුවේ රමේෂ් දෙසම බලාගෙනය.

“ මාව දැන් හඳුන ගත්තනේ මිස්. එහෙමනම් දැන් යන්න”

ඔහුගේ මේ වදන්වලින් මෙල්ල කළ නොහැකි යුවතිය තවත් බොහෝ දේ පැවසුවේ රමේෂ් සමඟ කතාබහ කිරීමට තිබෙන කැමැත්ත නිසා බව එතැන සිටිය කාටත් නොරහසකි.

ඇය ආපසු ගියේ තම අදහස අත්නොහරින සිතුවිල්ලෙන් බව ඔහු දත්තේය.

සාප්පු සංකීර්ණයට රමේෂ් පිවිසියේ ඇඳුම් කිහිපයක් මිල දී ගනු පිණිස ය.

වරක් ඔහු එහි එහා මෙහා ගියේ කුමන සාප්පුවෙන් ඇඳුම් මිලට ගතයුතු දැයි සිතමිනි.

සාප්පුවකට ගොඩවැදුණු ඔහු එහි එහා මෙහා ගියේ කුමක් තෝරාගත යුතු ද යන ගැටලුවට මැදිවය.

විවිධ වර්ගයේ විවිධ විලාසිතා පෙළ ගැසී රමේෂ් දෙස බලා සිටියේ තමා තෝරා ගන්න යැයි කියන්නක් මෙනි. ඔහු කමීසයක් අතට ගත්තේය.

ඒ කමීසය තබා තවත් කමීසයක් අතට ගත් ඔහු එය තබා හැඩ බැලුවේය. තම අවශ්‍යතා මත සාප්පුවේ එහා මෙහා ගොස් ඇඳුම් කිහිපයක්ම මිලට ගත් ඔහු මුදල් ගෙවීමට අයකැමි වෙත පැමිණියේ සිනහමුසු මුහුණෙනි.

“ මහත්තයාට මේ ඇඳුම් දෙන්න බැහැ. ”

අයකැමිගේ සැරපරුෂ ස්වරය මුළු රෙදි සාප්පුවේම රැව් දුන්නේය. රමේෂ් යමක් පැහැදිලි කළද අයකැමිගේ ස්වරයේ එන්න එන්නම වැඩි වූවා මිස අඩුවූයේ නැත.

එහි සිටි සියල්ලන්ම ඔහු දෙස බලා සිටියේ සොරෙක් දෙස බලා සිටින අයුරෙනි. ඔහු වෙත උදව් කිරීමට පැමිණියේ යුවතියකි.

අයකැමි කෑගැසුවේ රමේෂ් රෙදි සොරකම් කළ නිසාද? එහෙම වුණොත් රමේෂ්ට කුමක් වේද? රමේෂ්ට උදව් කිරීමට ඉදිරිපත් වූ යුවතිය කවුද?

මේ ගැන දැන ගැනීමට ‘ සිංග මචං චාලි ’ චිත්‍රපටය ඔබ නරඹන්න.