වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




වේ වැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
ගායන ශිල්පියෙක් හා ශිල්පිනියක් තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය

වේ වැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන

ගායන ශිල්පී සෝමතිලක ජයමහ

අතීත සිතුවිලි අපව ජීවිතයේ බොහෝ ඈතට රැගෙන යයි. වරෙක ජීවිතයට පාඩම් කියා දෙමින් ද වරෙක නිර්මාණවලට වස්තු බීජ සපයමින් ද ඒ අතීතය අප අතර සැරිසරයි. ඒ අතීත සිතුවිලි ඔබට කියන්නට මෙවර ‘මතක ගී පොත’ ට සහභාගි වන්නේ ප්‍රවීණ ගායන ශිල්පී සෝමතිලක ජයමහ ය.

දිනක් මා පෞද්ගලික රෝහලක් වෙත පිවිසියේ වෛද්‍යවරයෙකු හමුවීම උදෙසා ය. නියමිත වෛද්‍යවරයා පැමිණෙනතුරු අසුන් ගෙන සිටි මට අපූරු මිතුරකු හමුවූයේ හදිසියේමය. කලක් රියැදුරෙකු ලෙස සේවය කර තිබූ ඔහු මා හා සුහද වූයේ නිතැතිනි. දෙදෙනාගේම අවධානය යොමුව තිබුණේ අප අසලින් ගිය පියෙකු හා පුතුන් දෙදෙනෙකුගේ ක්‍රියා කලාපය කෙරෙහි ය.

‘බලන්න අර දරුවෝ දෙන්නා කොයිතරම් ආදරයෙන් ද තාත්තාව උස්සගෙන ගිහින් රෝද පුටුවේ තියලා තල්ලු කරගෙන යන්නේ කියලා’

ඔහු මා හා පැවසුවේ සිතේ උපන් සැබෑ සතුටෙනි.

‘සමහර දරුවෝ එහෙම වුණත් මහත්තයෝ තවත් කොටසක් ඉන්නවා මව්පියන්ට නොසලකන පිරිසකුත්. ඒ වගේ අත්දැකීමකුත් මට තියෙනවා මහත්තයෝ’

මේ රියැදුරු මහතාගේ කතාවේ සැඟවුණු වෙනස්ම කතාවක් ඇති වග මම වටහා ගතිමි.

‘ඒ මොකක්ද?’

ඒ කතාව අසනු රිසියෙන් මම විමසීමි.

‘මම රැකියාව කළේ එක්තරා පෞද්ගලික ආයතනයක ඉහළ තනතුරක් දරන විධායක නිලධාරියෙක්ගේ රථයේ රියැදුරා විදියටයි’

ඒ ඔහු ලැබූ ශෝචනීය අත්දැකීම පවසන්නට ආරම්භ කළ අයුරු ය. මේ කතාව බැඳී පැවතුණේ එම උසස් තනතුරක් දැරූ විධායන නිලධාරියා සමඟ ය.

ඈත පිටිසර ගමක හැදී වැඩුණු ඔහු මධ්‍යම පංතියට අයත් පවුලක නිවෙසේ එකම දරුවා විය. සොඳුරු ගම්මානයේ දුව පැන ඇවිද හැඳී වැඩුණු ඔහු පළමුව අකුරු කරන ලද්දේ එම ග්‍රාමයේම තිබුණු පාසලෙනි. කලක් ගතවන විට එහි ලැබූ අධ්‍යාපනය මද වූයෙන් මේ කුඩා දරුවාට නගරයේ පාසලකට ඇතුළත් කරන ලද්දේ මව්පියන් ඔහුට තිබුණු ආදරය ප්‍රකාශ කරමිනි. අධ්‍යාපනයට උපන් හපන් හැකියාව ඇත්තෙකු වූ ඔහු මව්පියන්ගේ අදහස් සඵල කරමින් නීති විද්‍යාලයට පිවිසිය ද රැකියාව ලැබුණේ පෞද්ගලික ආයතනයක විධායක තනතුරකි.

මේ අතරවාරයේ තම මව්පියන් බැලීමට ගමට ගිය එක් දිනෙක පුතු අපූරු යෝජනායක් කළේ නොසිතූවිරූ ලෙස ය.

‘අම්මේ මට ගේ හදන්න සල්ලි ඕන. අපි මේ ඉඩම්වලින් කොටසක් විකුණමු’

ග්‍රාමයේ තිබූ දේපළවල අයිතිකරු වූයේ ඔහු බැවින් මව්පියන් මේ යෝජනාවට එකඟ වූයේ එක් සිතෙනි. දේපළ විකීණීමත් සමඟ රෝගාතුර වූ පියා කාලයකදී මිය ගියේ මවගේ හදවත ශෝකයට පත් කරමිනි. මව තනි වූවා ය. සිය මව ග්‍රාමයේ තනි කළ නොහැකි බැවින් මේ පුතු ඇයව කොළොම් පුරවරයට රැගෙන ආවේ ය. එලෙස කිරීමට ඔහු පෙලඹුණේ තමාට පැවරුණු වගකීම පිළිබඳ සිහිපත් වීමෙන් යැයි සිතුණ ද සිදුවූයේ අනෙකකි. මවගේ කොළොම්පුර ආගමනයත් සමඟ ග්‍රාමයේ වූ සියලු ඉඩකඩම් විකුණා දැමිණි. ඉන්පසු දිගු කාලයක් නොගොස්ම ඔහු සිය මව ද නිවෙසින් ඈත් කිරීමට වගබලා ගත්තේ ය. අම්මා වැඩිහිටි නිවාසයක නැවතූ මේ පුතු ඉඳහිට ඇයගේ දුක සැප බලා ගැනීමට ගියේ අපූරු අන්දමිනි.

දිනක් ඔහු රථයේ රියැදුරුට පැවසූයේ වැඩිහිටි නිවාසයේ දානය දෙනු ලබන දින විමසා පැමිණෙන ලෙස ය. දානයක් දීමට දින බලන්නේ යැයි සිතූ රියැදුරු ඒ කාර්යයෙහි නිරත වූයේ බැතිබරවය. දානය කෙසේ වුවද මේ උසස් නිලධාරියා තම මවගේ දුක සැප බැලීමට ගියේ ද දානය ලබාදෙන දිනයක වීම රියැදුරාට ගෙන දුන්නේ විමතියකි. වෙනත් කෙනෙකු දානය ලබාදෙන දිනයට එහි යන ඔහු මද වේලාවක් රැඳී සිට යළි පැමිණෙන්නේ ඉක්මනෙනි. ඒ වනවිට විවාහ වී සිටි මේ පුත්‍රයා කළ ක්‍රියාවේ නියම අරුත රියැදුරුට වැටහුණේ පසුවය.

දානය දිනයට වැඩිහිටි නිවාසය කඩිගුලක් මෙනි. ඔවුහු විවිධ කාර්යයවල නිරත වන්නේ කිසිවකුටත් වෙනත් කාරණයක් කෙරෙහි අවධානය යොමු කිරීමට තරම් කාලයක් නොමැති බැවිනි. පුතු එහි පැමිණියද ඔහු හා කතාබහ කිරීමටවත් මවට අවස්ථාවක් නොලැබෙන්නේ එහි තිබෙන අවිවේකී බව නිසාය. ඒ අවිවේකී බව ඔහු වාසියට හරවා ගත්තේ මවගෙන් ඈත් වී සිටීමට වග වැටහෙන විට රියැදුරාට සිය උසස් නිලධාරියා කෙරෙහි ඇතිවූයේ කනගාටුවකි. සිය එකම පුතු වෙනුවෙන් ජීවිතයම කැප කළ මව්පියන්ව ඔහු බැලීමට ගියේ යුතුකමක් ඉටුකළ යුතුය යන වගකීමෙන් ගැලවීමට ය. එයද කළේ නොකර බැරිකමට යැයි රියැදුරු මහතා පැවසූයේ මා පුදුමයට පත් කරමිනි.

‘එදාට ගියාම මහත්තයෝ කාටවත් පුතාව හඳුන්වලා දෙන්න බැහැ. හරියට කතා කරන්න වෙන්නේ නැහැ. ඒ එතැන වැඩ වැඩි නිසා. සමහර විට ඒ මනුස්සයා එහෙම කරන්නට ඇත්තේ අම්මගෙන් බේරිලා ඉන්න ඕන නිසා වෙන්න ඇති’

ඔහු පැවසුවේ හදවතේ උපන් සැබෑ ශෝකයෙනි. ඔහු පැවසූ මේ කතාව මගේ සිත සසල කළේ ය. මම රෝහලේ වාඩිවී උන්තැනම ගල් ගැසුණෙමි. එක්වරම මගේ මතකයට පිවිසියේ නන්දා මාලිනී ගයනා මේ ගීතයයි.

සුදුහාමිනේ ඔබ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
ලේලිය සමඟ මගෙ පුතු වෙන්විය රහසේ
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ

උඹලගේ තාත්තා ඇත දුර බලාගෙන
කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
මං ඉන්නවා නෙතු කඳුළැලි දරාගෙන

දරුවන් ඇඳුම් ඇඟලුම් ගෙන සිඹින්නෙමි
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමි
මරණයේ දොරකඩට සපැමිණ සිටින්නෙමි
ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමි

ගේයපද – මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය – විශාරද නන්දා මාලිනී

ගායනය – විශාරද නන්දා මාලිනී

 

මව්පියන් දරුවන් අතර තිබෙනා සබඳතාව කැඩීබිඳී යෑමේ දී වැඩිහිටියන්ගේ සංවේදනා මූලික කර ගනිමින් ගෙතුණු මේ ගීතය ලියන ලද්දේ මීට වසර තිස් පහකට කලිනි. මෙපමණ කලකට කලින් ලියැවුණු මේ ගීතයේ පද දෙස සිත යොමු කිරීමේ දී අපට හැගෙන්නේ ගීතය වඩාත් උචිත වන්නේ මේ කාලයට බව ය. එකල ද එවැනි සිදුවීම කිහිපයක් සිදුවන්නට ඇති නමුදු වර්තමාන කාලයේ තරම් නම් නොවේ. දරුවක් කුමක් කළද මව්පියන්ගේ සෙනෙහසේ අඩුවක් නොවේ. ඔවුන් කොපමණ දරුවන්ට ආදරය කරන්නේ ද යත් කුමන වරදක් සිදු කළ ද කඩුල්ල ළඟට ගොස් පිළි ගැනීමට තරම් මව්පියන් උතුම් හදවත්වලින් යුක්තය. මව්පියන්ගේ හදවතේ සොඳුරු බව හඳුනා ගෙන පදවලට ගෙතීමට තරම් මහාචාර්ය සුනිල් ආරියරත්න සමත් වීම අපූරුය. නන්දා මාලිනිය ඒ පදවලට යොදා ඇති සංගීතයත්, ඇයගේ මියුරු ස්වරයත් නිසා ගීතයේ අර්ථය තීව්‍ර වෙයි.

සුනිල් එදිරිසිංහ ගයන මේ ගීතයට ද මම බෙහෙවින් ප්‍රිය කරමි.

හදේ කොතැනක හෝ හිදී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා මුදා සුව දැහැනින්
සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා ...
තනිවෙනා මොහොතේ

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමයෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළ ද සිදෙන්නට පෙර
යයි නම්
මැකී යනු මතකෙන්

ගේයපද – කුමාරදාස සපුතන්ත්‍රි

සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනය - සුනිල් එදිරිසිංහ

 

හදවතේ කොතැනක හෝ හිඳිමින් සිතට වේදනා ගෙනදෙන ප්‍රේමණීය සිතුවිල්ලක අරුමය පිළිබඳ කියැවෙන ගීතය කුමාරදාස සපුතන්ත්‍රිගේ අපූරු පද වැලක මහිමය කියාපායි. පදවැලේ ගැබ් වී ඇති ශෝකී බව තීව්‍ර කිරීමට රාගධාරී සංගීතයට සමීප වෙමින් රෝහණ වීරසිංහ යෙදූ සංගීතය ද අපූරුය. මේ ගීතය ඇසෙන විට මගේ මතකයට නැගෙන්නේ ‘සඳ මඬලට හිනැහෙන්නට එපා කියන්න’ යන ගීතයේ පදවැල් ගෙතීමට මුල් වූ කාරණයයි. ඒ ගීතයේ පද බඳින ලද්දේ මාතලේ ආනන්ද අබේවික්‍රමය. ඔහුට ගීතය ලිවීමට පසුබිම වූ ඒ සිදුවීම මගේ හදවත පතුලේ තැන්පත් වූයේ නොසිතූවිරූ ලෙසිනි. සුනිල් එදිරිසිංහ ගයන මේ ගීතය ඇසෙන විට මගේ සිතට නිරතුරු සිහිපත් වන්නේ මේ සිදුවීම ය.

දිනක් ආනන්ද නිවසේ සිට නගරයට පිවිසියේ කුමන හෝ කාර්යයක කර ගැනීමේ අවශ්‍යතාවක් සඳහා ය. එවිට ඔහුට මුණ ගැසුණේ පැරැණි මිතුරෙකි. මේ මිතුරා ඔහු සමඟ හෙළි කළේ අපූරු ප්‍රේම වෘත්තාන්තයකි. ඒ ආනන්දත් දන්නා කෙනෙකු පිළිබඳ පෙම් කතාවකි.

මේ පෙම්වතා කොපමණ යුවතියට ආදරය කර තිබුණේ දැයි කිවහොත් ඇය අහිමි වූ කල කිසිම කෑමක් බීමක් නැතිව සති ගණනක් බලාගත් අත බලාගෙන සිටියේ ය. බොහෝ අය ඔහුගේ සිත හැදීමට උත්සාහ කළ ද පලක් නොවූ බව මිතුරා ආනන්දට පැවසුවේ ශෝකයෙනි.

‘බලන්නකෝ ආනන්ද අපි ඔය නෙළුම් මලක සිරිය බලන්න කියලා එයාට කිව්වම ළං වුණාම ඕක පේන්න නැතිව ඇති නේ.’

කියූ මිතුරාට ආනන්ද පිළිතුරු බැන්දේ මෙසේ ය.

‘නෙළුම් විලක සිරිය නොවෙයි සමහර විට හිරුත් එපා, සඳුත් එපා, තරුත් එපා, සිසිලසත් එපා, ගඟ දියත් එපා, වසන්තයත් එපා, වසන්තයේ පිපෙන මල් වුණත් එපා, උඹත් එපා කියලා කියන්න පුළුවන්.’

යමින් දෙමිතුරෝ වෙන් වූයේය. ඊට පසුදින උදෑසන අවදි වූ කල පෙරදින මිතුරා පැවසූ පරාජිත ප්‍රේම කතාව පිළිබඳ සිතුවිල්ල සිතට පැමිණියේ සැනෙනි. ඔහු ඒ සිතුවිල්ල ඔස්සේ මිතුරාට පිළිතුරු දුන් වචන පෙළ මතකයට නැගිණි. ‘ගීතයක් ලියන්න පුළුවන් අපූරු නිමිත්තක්’ ආනන්දගේ සුරතෙන් ගීතය ලියැවුණේ ඉබේමය.