වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




‘මාර්තා’ට ලැබෙන ප්‍රතිචාර ගැන මටම පුදුමයි

‘මාර්තා’ට ලැබෙන ප්‍රතිචාර ගැන මටම පුදුමයි

පුංචි තිරයෙන් නිබඳ හමුවන උදේනි නදීකා කියයි

පාසල් වේදිකාවේ පටන් රංගනයට ආදරය කළ උදේනි නිදීකා පීරිස් සක්‍රීය ලෙස රංගනයට දායක වන්නේ කොළම්පුර ආගමනයත් සමඟිනි. මේ වන විට ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය සපයා ඇති ඇය වේදිකා නාට්‍ය නිෂ්පාදනයට ද අත පොවා ඇත.

* මේ දවස්වල ඔබ මොන වගේ නිර්මාණවලට ද දායක වෙන්නේ?

මේ දවස්වල ජාතික රූපවාහිනියේ රාත්‍රි 7.00 ට විකාශය වන ‘දිරිය දෝණි’ ටෙලි නාට්‍යයේ මුදලාලි හාමිනේගේ චරිතයෙන් තමයි මම රූපවාහිනිය නරඹන්නන් හමුවට පැමිණෙන්නේ. ඒ වගේම පසුගිය දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘රිතූ’ ටෙලි නාට්‍යයෙත් රඟපෑවා. මේ දවස්වල මීට පෙර මා රඟපෑ ටෙලි නාට්‍ය හතක් පමණ විකාශය වෙනවා. පබා, වසුදා, වැහිලිහිණි, මිරිඟු දිය ආදී ටෙලි නාට්‍ය දහවලට විකාශය වන නිසා ඒවාට ලැබෙන ප්‍රතිචාරත් බොහොමයි. විශේෂයෙන්ම පබා ටෙලි නාට්‍යයේ මා රඟපෑ ‘මාර්තා’ කියන චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන මටම පුදුමයි.

* කොළොම් පුරවරයට පැමිණෙන්නේ රංගන කටයුතුවලට සහභාගි වෙන්නද?

මගේ ගම රත්නපුර. මම කොළඹට එන්නේ මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහායි. ඒ එන ගමනේදී රංගනය වර්ධනය කරගත යුතුය කියන මතයේ මා සිටියා. බබාලා පුංචි කාලයේදී රංගන කටයුතු ගැන තිබුණු කැමැත්ත මා අමතක කරලයි සිටියේ. ඊට පස්සේ ඒ අය දැනුම් තේරුම් ඇති අය වීමත් සමඟයි මම රංගනයට පිවිසෙන්නේ. රංග කලාව පිළිබඳව හදාරන මට මුලින්ම රඟපාන්න ලැබෙන්නේ ජයසේකර අපොන්සුගේ ‘සිල්’ කියන ටෙලි නාට්‍යයේයි. එතැනින් දැන හඳුනා ගැනීම මඟින් ආරම්භ වුණු මගේ රංගන ගමන අද වනවිට බොහෝ දුර ඇවිත් තිබුණා. මේ වන විට මම ටෙලි නාට්‍ය හැත්තෑ පහක පමණ රඟපාලා තිබෙනවා. ළඟදී මා වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළා. මීට අමතරව අනුර වරාගොඩගේ ‘නටලා බලමු’ වේදිකා නාට්‍යයේ රඟපානවා.

* දිගටම රංගන ක්ෂේත්‍රයේ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කිරීමට ද ඔබ අදහස් කරන්නේ?

යමක් කළ හැකි නිර්මාණයක් ලැබුණොත් මා දිගටම රඟපානවා. ඒ කියන්නේ මට සරිලන චරිතයක් ලැබෙනවා නම් ඊට සරිලන මුදලක් ලැබෙනවා නම් හොඳ අධ්‍යක්ෂවරු යටතේ හොඳ නිර්මාණ ලැබෙනවා නම් මම මැරෙනතුරු වුණත් රඟපාන්න කැමැතියි.

* ඔබ සිනමාවට සම්බන්ධ වෙලා තියෙනවාද?

මේ වනවිට චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘ජොලි ඇන්ඩ් ප්‍රීටි’ හා ‘උයනට මල් ගේන්න’ කියන චිත්‍රපට දෙකේම රඟපාලා තිබෙනවා. අවාසනාවද මන්දා ඒ නිර්මාණ අද එනවා හෙට එනවා කියලා තිබුණත් අද වනතරුත් තිරගත වෙලා නැහැ. නමුත් කවදා හරි දවසක තිරගත වේවි කියන බලාපොරොත්තුවෙන් මා ඉන්නවා. චිත්‍රපටවලට ආරාධනා නොලැබුණේ මේ වන විට මම චිත්‍රපටවල රඟපාලා තිබුණත් ප්‍රදර්ශනය නෙවුණ නිසා එහි රඟපෑම කවුරුවත් නොදැක්ක නිසා වෙන්න ඇති කියලා සිතනවා. නමුත් වේදිකාව හා ටෙලි නාට්‍ය කියන මාධ්‍ය දෙකේම මම සැරිසරනවා. ටෙලි මාධ්‍යයේ වුණත් වඩාත් හොඳ චරිත රඟපෑමේ ලෝභකමකින් මගේ සිත පිරිලා.

* වේදිකාව සමඟ තිබෙන සම්බන්ධකම් කතා නොකළොත් අඩුවක් වගේ නේද?

අනුර වරාගොඩගේ ‘චක්කරේ’ කියන වේදිකා නාට්‍යයෙන් තමයි මම වේදිකාවට පිවිසෙන්නේ. ඔහු කළ ‘පුත නොබලන් හෙළ ගැඹුරුයි’ කියන ඔහුගේ සම්මාන ලැබුණ වේදිකා නාට්‍යය කාලයක් නවත්ලා තිබුණා. ඒ නාට්‍ය මම අරගෙන නිෂ්පාදනය කරලා නැවතත් වේදිකා ගත වෙනවා. එකල මේ වේදිකා නාට්‍යය සම්මාන රැසක් ලබා ගත්ත නිර්මාණයක්. කවද හරි නාට්‍යයක් නිෂ්පාදනය කළොත් මම මුලින්ම කරන්නේ මගේ ගුරුතුමා වුණු අනුර වරගොඩගේ නාට්‍යයක් කියලා සිතුවා. ඒ බලාපොරොත්තුව ඉටු වුණා. දිගටම වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරන්නට කැමැතියි. ඉදිරියේදී ඒ කටයුතු සිදු වෙයි.

* මොනවගේ චරිත රඟපාන්න ද ඔබ වඩාත් ප්‍රිය කරන්නේ?

විවිධ චරිත රඟපාන්න කැමැතියි. සමහර චරිත දැක්කට පස්සේ හිතෙනවා මට ඒ චරිතය කරන්න ඇත්නම් කියලා. සිල් මෑණි කෙනෙක්ගේ චරිතයක්, පිස්සු මනුස්සයකුගේ චරිතයක් ඒ අතර විශේෂයි. ඒත් අපට ලැබෙන චරිත අප කළ යුතුයි. එය කොයි තරම් චූටි වුණත්, නැතත් භාර ගැනීම අපේ යුතුකමක්. ඒ වගේම මේ කාරණයත් මතක් කළ යුතුයි. මෙතෙක් මට රඟපාන්න ඉඩක් ලබා දුන්න සියලු දෙනාටම ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. අනෙක් කාරණය වෙන්නේ මෙතෙක් ආව ගමන ආවෙ සුවපහසුව නොවෙයි. බොහොම දුෂ්කරවයි. ඒ ඔස්සේ මට ලැබුණේ බොහොම හොඳ පන්නරයක්. ඒ ලැබුණු අත්දැකීම් මඟින් කළ නිර්මාණවලින් සමාජයට වැඩදායි දෙයක් කළාය කියන හැඟීම මගේ ජීවිතයට අරගෙන එන්නේ සතුටක්.