වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




සැබෑ ජීවිතයේ නොදුටුවත් අදටත් මට චිත්‍රසේන ජීවමානයි

සැබෑ ජීවිතයේ නොදුටුවත් අදටත් මට චිත්‍රසේන ජීවමානයි

සුරාජ් මාපා
නර්තන ශිල්පීන් හත් දෙනෙක් ගැන කතා කරයි

සුරාජ් මාපා කලා ක්ෂේත්‍රයේ රංගනයෙන් මෙන්ම නර්තනයෙන් ද එක ලෙස දස්කම් පෑ ජනප්‍රිය යොවුන් කලාකරුවෙක්.

රංගනය සේම නර්තනයෙන් ඔහු දක්වන්නා වූ හැකියාවන් ඉහළය. බටහිර නර්තනයෙන් වේදිකාවේ රටා මැවූ ඔහු උඩරට නර්තනය ප්‍රගුණ කරමින් පසුගිය වසරේදී උඩරට වෙස් පැළැඳීය.

මේ නිසාම අද අපි ඔහුට නර්තනය ගැන කතා කරන්න ආරාධනා කළා.

ඒ නිසා සුරාජ් අද පුදුම හතට ඔහුගේ සිත් ගත් නර්තන ශිල්පීන් හත් දෙනෙකු ඔහුට සුවිශේෂ වූ අයුරු පිළිබඳ කතා කළේ මේ අයුරින්.

කුලසිරි බුදවත්ත

මා මෙතෙක් අපේ රටේ දුටු ජාත්‍යන්තර මට්ටමේ නර්තන ශිල්පියෙක් වේ නම් ඔහු කුලසිරි බුදවත්ත මහතායි. අපේ රටේ උඩරට නර්තනය පාරම්පරික අයුරින් ඉදිිරියට ගෙන යන දැවැන්තයෙක් ලෙසින් මම ඔහු දකිනවා.

වේදිකාව මත ඔහු හිටගත් විට පවා දැකිය හැකි ඒ දැවැන්ත බව ප්‍රතාපවත් බව ඔහුටම සුවිශේෂ වූවක්. අභියෝග කළ හැකි දේශීය නර්තන ශිල්පියෙක් මේ නම් ඒ ඔහු ලෙසයි මා දකින්නේ.

එතුමාගේ ගෝලයෙක් වන්නට ලැබීම මා ලද භාග්‍යයක්.

නර්තනයෙන් ඈත්ව සිටි අවස්ථාවක ඒ පිළිබඳ උනන්දුවක් ඇති කළේ ද ඔහු විසින්. මම ඔහුගේ ගුරුහරුකම් යටතේ දැන් උඩරට නර්තනය හදාරනවා.

පසුගිය වසරේ උඩරට වෙස් පැළඳීම මගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක්. මේ වෙනුවෙන් වූ උනන්දුව ඇති කළේ බුදවත්තයන්.

නර්තනය හැදෑරීම කවදාවත් නතර නොකරන තරමට ප්‍රභල කිරීමට තරම් ඒ උනන්දුව ප්‍රභල වුණා.

ඒ වගේම අපේ උඩරට නර්තනයට එහි උන්නතිය වෙනුවෙන් කටයුතු කරමින් ඉදිරි පරම්පරා වෙත එය නොකැළැල්ව තිළිණ කරන්නා වූ ගුරුවරයෙක් ලෙසින් මට කුලසිරි බුවත්තයන් සුවිශේෂ වෙනවා.

නියොමි රාජරත්නම්

ඇය ඇයගේ මුළු ජීවිතයම කැප කළේ නර්තනය වෙනුවෙන්. ඇයත් අපේ රටේ සිටින බැලේ නර්තනයට සහ ලතින් අමෙරිකානු නර්තනයට

සුවිශේෂ නර්තන ශිල්පිනියක්. මගේ ප්‍රථම නර්තන ගුරවරිය ද ඇයයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව මම ඇයගේ නර්තන පංතියට සහභාගි වුණා. එහි මාස හයක් නර්තනය හොඳින් ප්‍රගුණ කළ පසු ජාත්‍යන්තර මට්ටමේ තරගයකට සහභාගි වීමට අවස්ථාව ලැබෙනවා.

මම එහි ගොස් මාසයකින් පමණ එහි සිසුන් සිසුවියන් එම තරඟයට අයදුම් කළා.

මමත් මේ සඳහා සහභාගි වීමට ඇයගෙන් අවස්ථාවක් ඉල්ලා සිටියා. හොඳින් නර්තනය ප්‍රගුණ කළොත් ඒ සඳහා ඇයගෙන් අවසර ලැබෙන බව දැන්වීමෙන් පසු මම ඉතා හොඳින් පුහුණුවිම්වල යෙදුණා.

තරඟයට සහභාගි වී ජයග්‍රහණය ලබන්නත් මට හැකි වුණා. එදා ඇය මා ධෛර්යමත් නොකරන්න අද මට මේ වැනි නර්තන ශිල්පියෙක් නොවන්නත් ඉඩ තිබුණා.

නර්තනයට වගේම ජීවිතයටත් බොහෝ අත්දැකිම් ගෙන දුන් උපදේශිකාවක ලෙසින් මම ඇය දකිනවා.

නර්තනයෙන් ජාත්‍යන්තරයට යාමට පවා මට අවස්ථාව උදා වුණා. එදා ඇය මට ගහල බැනල ඒ වගේම අවවාද දීලා ඒ හැම දෙයකම ප්‍රතිඵලයක් ලෙසින් අද මම සාර්ථක නර්තන ශිල්පියෙක් බවට පත් වෙලා තියෙනවා.

එතුමිය හැමදාම උත්සාහ කළේ ඇයගේ ගුරුහරුකම් යටතේ දක්ෂ නර්තන ශිල්පීන් මෙරට කලා ක්ෂේත්‍රයට දායාද කරන්නයි. ඇයගේ එකම බලාපොරොත්තුව වුණේ ජාත්‍යන්තරයේ අපේ දස්කම් දැකීමයි.

අපි කෙතරම් හොඳින් නර්තනයන් ඉදිරිපත් කළත් ඇය කවදාවත් අපට හොඳයි කිව්වේ නැහැ. ඒ ඇයට දක්ෂතම නර්තන ශිල්පීන් ශිල්පිනියන් බිහි කිරීම ඇයගේ එකම අරමුණ වූ නිසාවෙනි.

චිත්‍රසේන

අපේ දේශීය නර්තනයේ උරුමයක් ලෙසින් මම චිත්‍රසේන දකිනවා. සත්‍ය ජීවිතයේදී මට සැබැවින් දකින්නට නෙලැබුණු එතුමා නර්තනයෙන් අපේ රටට කළ සේවය නිසා ජීවමානව දකිනවා. එතුමා අපේ දේශිය නර්තනයට කළා වූ සේවය අපිරිමිතයි. ඒ වගේම අමරණීයයි.

නර්තනය මම දකින්නේ අප ලබන සුවිශේෂ වරමක් ලෙසින්. ඒ සුවිශේෂ චරිත අතරේ මම දුටු නිර්මාණශීලීම නර්තන ශිල්පියා වන්නේ චිත්‍රසේන මහත්මයා.

සැබැවින් දකින්නට පිං කර නැතත් ඔහු දායාද කළ නිර්මාණ මා නරඹන්නේ අප්‍රමාණ භක්තියකින්. ඒ වගේම එතුමා ජාත්‍යන්තරයට අපේ නර්තනය ගෙන යමින් කළා වූ සේවයත් මා ගෞරව කර සිටිනවා.

අදටත් ඔහුගේ පවුලේ ඉදිරි පරම්පරාවන් නර්තන කලාව ඉදිරියට රැගෙන යන්නේ ඉතාම ගෞරවනීය ලෙසින්. එයටත් මා මේ අවස්ථාවේ ගෞරව කර සිටිනවා.

මයිකල් ෆ්ලෙට්ලේ

අමෙරිකා එක්සත් ජනපදයේ උපත ලද අයර්ලන්ත ජාතිකයෙකු වන මයිකල් ෆ්ලේට්ලේ මම දුටු දක්ෂතම බටහිර නර්තන ශිල්පියෙක්.

මම ඔහු දකින්නේ බටහිර නර්තනයේ දෙවියන් ලෙසින්. නර්තන ශිල්පියෙකු පමණක්ම නොව සංගීතඥයෙක් ලෙසින් ඔහු අගනා නිර්මාණ රැසක් රසික රසිකාවන්ට තිළිණ කළා. රිවර්ස් නර්තන ක්‍රමයට නැටුම් ඉදිරිපත් කරන ලොව විශිෂ්ටම නර්තන ශිල්පියා වන්නේ ද ඔහුයි.

මයිකල් ෆ්ලෙට්ලේ කියන්නේ වේගවත් ලෙසින් නර්තනයේ යෙදෙන ශක්තිමත් නර්තන ශිල්පියෙක්. නර්තනයට සම්බන්ධ වූ කාලයේ පටන්ම ඔහු අධ්‍යයනය කිරීම මගේ පුරුද්දක්.

ඔස්ට්‍රේලියාවේදී ඔහුගේ නර්තතන ප්‍රසංගයක් නරඹන්න ලැබීමත් මගේ ජීවිතයේ ලද සුවිශේෂ අවස්ථාවක්. මමත් ඔහුගේ නර්තන ශෛලිය ඉගෙන ගනිමින් එහි සාර්ථක වෙන්න ස්ථිර වූ අධිෂ්ඨානයකින් සිටින්නේ.

රවිබන්දු විද්‍යාපති

රවිබන්දු විද්‍යාපතින් මා දකින්නේ අපේ රටේ දේශීය නර්තනයට සුවිශේෂ වූ එය අවංක ලෙසින් රකිමින් සැමට ගරු කරන්නා වූ ගුරුවරයෙක් ලෙසයි.

ඔහු සතු නිර්මාණාත්මක හැකියව අප ලැබූ සම්පතක් හා සමානයි. මං හිතන්නේ එතුමා සතු වූ සියලු දක්ෂතාවයන් අප දැක නැති බවයි. එකිනෙකා විවේචනය කර ගනිමින් ඇතැමුන් හැසිරෙන ආකාරය දකින විට විද්‍යාපතින් ක්ෂේත්‍රයේ ඉතාම ගෞරවනීය ආකාරයෙන් තම කාර්යයේ නිරත වන කලාකරුවෙක්.

ගරු කළ යුත්තාට ගරු කිරීම ඔහු සතු නිහතමානී

ලක්ෂණයක්. රවිබන්දු විද්‍යාපති මෑත කාලයේ අපේ දේශීය නර්තනයට දායක වන ඉතාම දක්ෂ බෙර වාදකයෙක් ලෙසත් විශේෂ වෙනවා. ඒ වගේම එතුමා කථකලි නර්තනයේත් විශිෂ්ටයෙක්.

ශෛලින් කිහිපයක උපරිමයේ හැකියාවන්ගෙන් එතුමා නර්තන ක්ෂේත්‍රයට කරන්නේ අමිල වූ මෙහෙයක්. ඔහු ගුරුවරයෙක් ලෙසින් කරන්නා වූ මෙහෙවරට අපි ණය ගැතියි.

රිතික් රෝෂන්

ඉන්දීය සිනමාවේ මා දුටු දක්ෂතම නර්තන ශිල්පීන් අතරට රිතික් රෝෂන් ඇතුළත් වෙනවා. ඉන්දීය සිනමාවේ කමල් හසන්ගෙන් පසුව ශක්තිය වශයෙන් රංගනය හා නර්තනය එකට ගෙන එන ශිල්පියා ලෙසින් මා රිතික් රෝෂන්ව දකිනවා.

ව්‍යාජ නර්තනයන් ඔහු තුළ නැහැ. ඔහුගේ නර්තනය තුළ අවංකත්වය පිළිබිඹු කරනවා.

ප්‍රේක්ෂකයන්ට දැනෙන ආකාරයෙන් රංගනයේ නිරත වන්නට හැකියාව ඔහු සතුවීම සුවිශේෂ ලක්ෂණයක්. ඒ වගේම මනා වේගයකින් යුතුව නර්තනයේ යෙදීමටත් ඔහු සතු විශේෂ හැකියාවක් පවතිනවා.

ඔහු මෙන්ම නර්තනයේ යෙදෙන්න ආශාවක් මගේ හිත තුළත් තියෙනවා. ඔහු රංගනයේ නිරත වෙමින් අපූරු නර්තනයන් ඉදිරිපත් කළ ක්‍රිෂ්, ඩූම්, කොයි මිල්ගයා වැනි චිත්‍රපට මා නැරඹූයේ ඉතා ආසාවෙන්.

මයිකල් ජැක්සන්

මයිකල් ජැක්සන් ලොව බිහි වු ජනප්‍රිය පොප් ගායන ශිල්පියෙක් වගේම දක්ෂ නර්තන ශිල්පියෙකු ද වෙනවා.

ලෝක නර්තන ශෛලීන් අතරට ඔහු එක් කළ ඔහුටම අනන්‍ය වූ නර්තන ශෛලිය ලොව පුරා ජනප්‍රිය වන්නට වැඩි කාලයක් ගත වුණේ නැහැ. සංගීත ක්ෂේත්‍රයේ වගේම නර්තන ක්ෂේත්‍රයේත් පෙරළිකාරයෙකු ලෙසින් මයිකල් ජැක්සන් විශේෂයි.

ගායක ශිල්පියෙකු ලෙසින් ගායනය සමඟ නර්තනය ජය ගැනීම ඔහු සතු වූ තවත් සුවිශේෂ ලක්ෂණයක්. කැපවීම ඔවුන් තුළින් දුටු තවත් විශේෂ ලක්ෂණයක්.

ඔහුගේ ප්‍රසංගයෙන් ප්‍රසංගයට ඒ කැපවීම කෙතරම් ද කියා අපට දැකගන්න පුළුවන්. නර්තනයෙන් ලෝකයේම ආකර්ෂණය දිනාගත් නර්තන ශිල්පියෙක් ලෙසිනුත් මම ඔහු දකිනවා. ඔහුගේ නිර්මාණයන් ද එලෙසම විශේෂයි.

ලොව පුරා කෝටි ගණනක් වූ රසික රසිකාවන් ඔහුගේ නිර්මාණ කෙරෙහි ආකර්ෂණය වීමට ප්‍රබලම හේතූන් වූයේත් එයයි.