වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




තරු වෙනුවෙන් සම්මාන

තරු වෙනුවෙන් සම්මාන

පසුගිය සතියේ බොලිවුඩයට තරු එකවර පායන සොඳුරු අවස්ථාවක් උදා වුණා. ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල බොලිවුඩ් තරු සම්මානනීය කරන්නේ සිනමා නිර්මාණයන්හි රංගනයන් වෙනුවෙන්. පසුගියදා පැවැති ෆිල්ම් ෆෙයාර් ග්ලැමර් ඇන්ඩ් ස්ටයිල් සම්මාන උළෙලට නම් චිත්‍රපටවල නාම සම්බන්ධ වුණේ නැහැ. ඒ වුණත් නළු නිළියන්ගේ නම්වල නම් අඩුවක් වුණේ නැහැ.

දීප්තිමත්ම රංගන තරු සහ මෝස්තර වෙනුවෙනුයි මේ සම්මාන උළෙල පැවැත් වුණේ. එහිදී රංගන ශිල්පිනියන් අතරේ දීප්තිමත්ම තරුව ලෙසින් කරීනා කපූර් සම්මාන ලැබුවා. කඩවසම් නළුවා ලෙසින් සම්මානනීය වුණේ ආක්ෂේ කුමාර්. සුප්‍රසිද්ධම තරුව ලෙසින් නම් කළේ ශ්‍රී දේවි. මොස්තර නිරූපණයේ සුපිරි සළකුණ ලෙසින් අමිතාබ් බච්චන් නම් කෙරුණා. රංගන ශිල්පිනියන් අතරින් එම සම්මානය මධුරි ඩික්සිත් හට පිරිනැමුණා.

නැඟී එන හොඳම විලාසිතා දක්වන නළුවා හා නිළිය බවට පත් වූයේ අලියා භාත් සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා. හැඩකාර තරුව වුණේ සෝනම් කපූර්. හැඩකාර නළුවා ලෙසින් සම්මාන ලැබුවේ ඉම්රාන් ඛාන්. හින්දි සිනමාවේ ලෝක සළකුණ ලෙසින් ෂාරුක් ඛාන් සහ ඓශ්වර්යා රායි බච්චන් සම්මානනීය වුණා. බොලිවුඩ් සිනමාවේ දීප්තිමත්ම තරු යුවළ ලෙසින් ෂාරුක් සහ කාජල් සම්මාන ලබන විටදී සත්‍ය ජීවිතයේ හොඳම තරු යුවළට හිමි සම්මානය අභිෂේක් බච්චන් හා ඓශ්වර්යා හට පිරිනැමුණා.