වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




දුමින්ද සිල්වා සිනමාවට

දුමින්ද සිල්වා සිනමාවට

‘බොරදිය පොකුණ’ ප්‍රධාන චරිතයට පණ පෙවූ වත්මන් සිංහල සිනමාවේ උසම නළුවා මෙන්න
උස අඩි හයයි, අඟල් දෙකයි
සිය ප්‍රථම සිනමා රංගනය ගැන දහතුන් වසරකට පසු කතා කරයි

ඔහුගේ ප්‍රථම සිනමා රංගනය ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ ‘බොරදිය පොකුණ’ ප්‍රදර්ශනය වීමත් සමඟනි. ඒ චිත්‍රපටය රූගත කර දහතුන් වසරක් ඉක්ම ගිය පසුවය. එය එසේ නොවී චිත්‍රපටය මීට පෙර තිරගත වී නම් ඔහු මේ වන විට සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවකු බවට පත්ව සිටිනු නිසැකය.

‘බොරදිය පොකුණ’ චිත්‍රපටයේ ‘විපුල’ ලෙස රඟපෑ මේ යොවුන් පාංශු දේහධාරියා පිළිබඳ අද කවුරුත් විමසිලිමත් වනු පෙනේ. චිත්‍රපටය පිළිබඳ වර්තමානයේ සිදුවන සමාජ කතිකාවත තුළ ඔහු ද නිරන්තර අවධානයට යොමුවන චරිතයක් බවට පත්ව ඇත.

දුමින්ද සිල්වා නම් වන ඔහු අද මෙසේ අප හා පිළිසඳරකට එක් වන්නේ සිය අතීත මතකයන් ද වර්තමානයට කැඳවාගෙන එමිනි.

* ‘බොරදිය පොකුණ’ට ටිකක් එහාට ගිහින් අපි ඔබ ගැන කතා කරමු?

මුලින්ම මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ නිරූපණ ශිල්පියෙක් විදිහට. පත්තරේක මගේ විස්තරේ දැකලා තමයි සත්‍යා ‘බොරදිය පොකුණ’ට මට කතා කළේ. ඒ වෙනකොට මම චිත්‍රපටයකට සම්බන්ධව නොසිටියත් රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කීපයක් කරලා තිබුණා. රංගනය සම්බන්ධයෙන් මට අත්දැකීම් තිබුණේ එච්චරයි.

නමුත් රඟපෑමේ ආසාවක් හිතේ කොනක සැඟ වී තිබුණා. කොහොම හරි සත්‍යා මට ස්ක්‍රිප්ට් එක ගෙනත් දුන්නා. ඒක කියවද්දී ඉතිං මට හිතුණා මේක හරි අභියෝගාත්මක චරිතයක්, මේ චිත්‍රපටය තිරගත වුණොත් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි කියලා.

* ඒ මොන වගේ ප්‍රශ්නවලටද?

ඒ කියන්නේ ඒකේ ලිංගික දර්ශන තියෙනවා. මම කුඩා කාලේ ඉඳන් චිත්‍රපට බලලා තිබුණත් මෙවැනි දර්ශන සිංහල චිත්‍රපටයක දැකලා තිබුණේ නෑ. සමහර නළුවන් යම් යම් චිත්‍රපටවල මෙවැනි චරිත රඟපාලා තිබුණට මෙච්චර ගැඹුරට යන විදිහට ඒවා කෙරිලා තිබුණේ නෑ. මම කියන්නේ අර කාලයක් අපේ සිනමාවේ තිබුණ කාම රැල්ලේ චිත්‍රපට ගැන නෙවෙයි. කලාත්මක චිත්‍රපට ගැන.

* ඉතිං වැඩේට පොඩ්ඩක් ඇඹරුණා?

නෑ. මම හැමදාම වෙනස් දෙයක් කරන්න කැමැති කෙනෙක්. මගේ මුළු ජීවිතේම එහෙම තමයි. ඉතිං මම හිතුවා මේක හොඳ අවස්ථාවක් වෙනස් යමක් සිනමාවට ගේන්න කියලා.

* බියක්, චකිතයක් දැනුණෙත් නෑ?

මට එහෙම බියක් හෝ චකිතයක් දැනුණේ නෑ. නළුවෙක් විදිහට ඉස්සරහට යන්න ඕනෑ කියලා මගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බෙත් නෑ. මොකද මම බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කළේ. ඊට අමතරව මම ක්‍රීඩා ක්ෂේත්‍රයේ තමයි නමක් දිනාගෙන හිටියේ.

* කෞෂල්‍යා ප්‍රනාන්දු, ඩිලානි අබේවර්ධන වගේ ප්‍රවීණ නිළියන් එක්ක තමයි එදා ඔබට රඟපාන්න ලැබෙන්නේ. ඒකත් එක්තරා විදිහක අභියෝගයක්නේ. ඔබ නවකයෙක් හැටියට?

මම නම් ඒක මට ලැබුණු භාග්‍යයක් විදිහටයි හිතුවේ. මොකද මම ප්‍රි‘ය කරපු නිළියෝ දෙන්නෙක් තමයි ඒ හිටියේ. මෙහි ඉතා කුඩා චරිත පවා රඟපෑවේ දැවැන්ත නමක් තිබුණ ජනප්‍රිය නළු නිළියන්. ධර්මසිරි බණ්ඩාරනායක, චාන්දනී සෙනෙවිරත්න වගේ ගොඩක් ප්‍රවීණයොත් ඒ අතර හිටියානේ. හැබැයි ඔවුන් එක්ක කොහොමද මගේ රංගනය හසුරුවා ගන්නේ කියන අභියෝගය මට තිබුණා. මොකද මම එතෙක් කිසිම රඟපෑමක් නොකරපු කෙනෙක් නිසා.

* ඒ අභියෝගය ජය ගන්නට ඔබ කොයි විදිහට ද කටයුතු කළේ?

අධ්‍යක්ෂවරයාගෙන් මට ගොඩක් උපදෙස් ලැබුණා මේ චරිතය ගොඩ නඟාගන්න. ඊට පස්සේ කෞෂල්‍යා - අපි ගොඩක් පෙර පුහුණුවීම් කළා, කෞෂල්‍යාගේ ගෙදර. හරි කැමැත්තෙන්, ඒ වගේම කැපවීමකින් මම ඒ ටික කළා. එහෙම කරද්දී මට හිතුණා මේ ටික කරගන්න පුළුවන් වෙයි කියලා. කෞෂල්‍යාගේ අනුදැනුමත්, පෙර පුහුණුවත් මත මට විශ්වාසයක් ගොඩ නැගුණා මේ චරිතයට කිසියම් සාධාරණයක් ඉටු කරන්න පුළුවන් වෙයි කියලා. ඩිලානිගේ චරිතය කලින් කරන්න හිටියේ වෙන කෙනෙක්. මම එයා එක්කත් රිහසල් කළා. එයත් මට ගොඩක් උදවු කළා. පස්සේ ඩිලානි මේ චරිතයට එකතු වුණාට පස්සේ එයාගේ සහයෝගයත් එක්ක කරදරයක් නැතිව ‘විපුල’ ගේ චරිතය කරගන්න මට පුළුවන් වුණා කියලා විශ්වාස කරනවා.

* මීට වසර ගණනාවකට උඩදී ‘බොරදිය පොකුණ’ නැරඹූ අයගෙන් සහ වර්තමානයේ එය නැරඹූ ප්‍රේක්ෂකයන් වෙතින් ඔබට ලැබෙන ප්‍රතිචාර කොයි වගේද?

යම් දෙයක් මම කරලා තියෙනවා කියලා ඔවුන් මට කිව්වා. විශේෂයෙන් ප්‍රවීණ, ජනප්‍රිය නළු, නිළියෝ එක්ක. ඒත් එක්කම ‘ඇයි මෙහෙම දෙයක් කළේ’ කියලා මගෙන් අහපු අයත් හිටියා.

* මොකද ඔබ කිව්වේ?

මේ යන විදිහ කවුරු හරි වෙනස් කරන්න එපායැ. අඩුම ගානේ මම මේක කළාම තව නළුවෙක් හරි ඇවිත් මේ වගේ චිත්‍රපටයකට දායකත්වය දක්වයි බයක් නැතිව. මම හරි සංතෝෂයි කියන්න මම තමයි පළමුවැනි කෙනා මේ වගේ චිත්‍රපටයක, මේ වගේ රංගනයක යෙදිච්ච.

* චිත්‍රපටය රූගත කර වසර දහතුනකට පසුවයි එය තිරගත වෙන්නේ?

ඔව්. ෆිල්ම් එක ෂූට් කළේ 2002 දී.

* මේ ප්‍රමාදයත් එක්ක සිනමා නළුවකු හැටියට ඔබට ගොඩ නැගෙන්න තිබූ අවස්ථාව මඟහැරී ගියා කියලා හිතෙන්නේ නැද්ද?

ඒක නම් ඇත්ත වශයෙන්ම මට හිතෙනවා. මොකද මේ චිත්‍රපටය අවුරුදු දොළහකට කලින් තිරගත වුණා නම් අද මම සිනමා කිෂේත්‍රයේ වෙනස්ම ප්‍රතිරූපයක් සහිත පුද්ගලයකු වෙන්න ඉඩ තිබුණා. පසුගිය පෙබරවාරි 14 වැනිදා මේ චිත්‍රපටය රිලීස් වුණාට පස්සේ ඒක බලපු බොහෝ දෙනා කිව්වේ ‘අපරාදේ චිත්‍රපටය කලින් ප්‍රදර්ශනය වෙලා තිබුණා නම් ඔයාට මීට වඩා ලොකු ගමනක් යන්න තිබුණා’ කියලයි.

* ඒ ගැන දුකක් නැහැ . . .?

මම දුක් වෙන්නේ නැහැ. අවුරුදු දොළහකට පස්සේ හරි චිත්‍රපටය තිරගත වීම ගැන මම සතුටු වෙනවා. ඉදිරියටත් කවුරු හරි අධ්‍යක්ෂවරයෙක් මේ වගේ චිත්‍රපටයක් කරන්න මට කතා කළොත් මම පැකිලෙන්නේ නෑ.

* හැබැයි ‘බොරදිය පොකුණෙන්’ පස්සේ ඔබ ටෙලි නාට්‍යය රංගනයට දායක වුණා නේද?

සුසිල් ගුණරත්නගේ ‘මාරුක් මල්’ වගේම ‘සක්විත්තෝ’, ‘කිදුරංගනා’ කියන ටෙලි නාට්‍යවල රඟපෑවා. දිගටම ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණත් මගේ රැකියාවයි, ක්‍රීඩා කටයුතුයි නිසා ඒකට කාලය මිඩංගු කරන්න බැරි වුණා. මොකද මම වෘත්තියක් හැටියට නෙවෙයි රඟපෑෙැව්. ඒත් ‘බොරදිය පොකුණ’ ඒ කාලෙම ප්‍රදර්ශන වුණා නම් මම මේ වෙන කොට වෘත්තීය නළුවෙක් වෙලා ඉන්නත් තිබුණා.

* දුමින්දගේ උස කීයද?

අඩි හයයි, අඟල් දෙකයි.

* මුලින්ම ඔබ හොඳ ක්‍රීඩකයෙක්. ඒ යටගියාව ගැන මතක් කළොත්?

මම පාසල් ගියේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට. පොඩි කාලේ ඉඳන්ම මම ක්‍රීඩාවට තමයි දක්ෂතා දැක්කුවේ. රග්බි සහ පැසි පන්දු ක්‍රීඩාවලින් තමයි මම පාසල නියෝජනය කළේ. ජාතික රග්බි කණ්ඩායමේ සහ පැසි පන්දු කණ්ඩායමේ සාමාජිකයෙකු විදිහට මම ජාත්‍යන්තරයත් නියෝජනය කළා. අවුරුදු දහයක් විතර මම රග්බි ජාතික කණ්ඩායමට සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම පාසල් යන කාලේම පැසි පන්දු ජාතික කණ්ඩායමට තේරුණා.

* දුමින්ද කාය වර්ධනය ගැනත් ලොකු උනන්දුවක් දක්වන කෙනෙක්?

ඇත්තටම කාය වර්ධනය කියන්නේ මේ බොඩි බිල්ඩින් කියන එක නෙවෙයි. ලස්සනට ඇඟ තියාගන්න මම කැමැතියි. ඉතිං ඒක කරගෙන යන කාලේ මට හම්බ වුණා යාළුවෙක් හරින් කියලා. එයා ‘මිස්ටර් ශ්‍රී ලංකා’ වුණ කෙනෙක්. මටත් ආරාධනා කළා ඒ තරගයට ඉදිරිපත් වෙන්න. මම එච්චරම කැමැත්තක් දැක්කුවේ නෑ. නමුත් ඉතින් මෙයා කීප වතාවක් කියද්දී මාව කොහොම හරි එතෙන්ට තල්ලු වෙලා ගියා.

* ‘මිස්ටර් ශ්‍රී ලංකා’ වුණාද?

ඔව්. 1998 වසරේ මම ඒ තරගයෙන් ‘මිස්ටර් ශ්‍රී ලංකා’ හැටියට තේරුණා. ඊට පස්සේ මම ‘මිස්ටර් වර්ල්ඩ්’ සහ ‘මිස්ටර් ඉන්ටර්නැෂනල්’ කියන තරගාවලි දෙකටම සහභාගි වුණා. ‘මිස්ටර් ඉන්ටර්නැෂනල්’ තරගාවලියේදී මම ‘හොඳම පෞරුෂය’ ඉසව්වට තේරුණා. පස්සේ මට දැනගන්න ලැබුණා ආසියාතිකයෙක් පළමුවරට තමයි ඒ සම්මානය දිනා ගත්තේ කියලා. ඉන් පස්සේ මම නිරූපණ ශිල්පියෙක් විදිහට කටයුතු කළා තවත් අවුරුදු පහළොවක් විතර.

* ඔබ අමෙරිකාවේ ප්‍රධාන පෙළේ ඇඳුම් මෝස්තර ආයතන කිහිපයකට සම්බන්ධ වෙනවා?

ලංකාවේ ප්‍රධාන පෙළේ මෝස්තර ශිල්පියකු වන දිනේෂ් චන්ද්‍රසේන මහතා ඒ වන විට සම්බන්ධ වෙලා හිටියා අමෙරිකාවේ ඇඳුම් මෝස්තර ආයතනය කිහිපයක් එක්ක. ඒ හරහා Calvin Klein (C. K.) ඇතුළු තවත් මොස්තර නිරූපන ආයතන තුනක් සමඟ සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ ගිහින් ආවට පස්සේ තමයි පත්තරෙන් දැකලා මාව ‘බොරදිය පොකුණ’ට තෝරා ගත්තේ.

* තවමත් ක්‍රීඩා කටයුතු කරනවාද?

දැන් මම ක්‍රීඩාවෙන් සමු අරගෙන ඉන්නේ. ඒත් මගේම කායවර්ධන ආයතනයක් පවත්වාගෙන යනවා නාවල ප්‍රදේශයේ. රංගන ශිල්පීන්, නිරූපණ ශිල්පීන්, ක්‍රීඩකයන් මගේ ආයතනයත් එක්ක සම්බන්ධ වී සිටිනවා. වැඩියෙන්ම ක්‍රීඩකයන් තමයි මම එතන පුහුණු කරන්නේ. මොකද මම ඒ සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ පාඨමාලාවක් හදාරලා තියෙනවා. ඒත් එක්කම මගේ රැකියාවත් කරගෙන යනවා DFCC වර්ධන බැංකුවේ.

* ඔබ හොඳ අධ්‍යාපන පසුබිමකුත් එක්ක තමයි මේ ක්ෂේත්‍රයට එකතු වෙන්නේ. මම හිතන්නේ එයත් විශේෂයක්?

ඔව්. මම දැන් වෙනකොට මගේ M.B.A. එක කරලා තියෙනවා බිස්නස් මැනේජ්මන්ට් පැත්තෙන්. මම දන්නේ නෑ රංගනය පැත්තෙන් මට කොච්චර කුසලතාවයක් තියෙනවාද කියලා. හැබැයි මොකක් හරි දෙයක් ඇති කියලා හිතෙනවා. මම විවෘතව ලෝකය දකින කෙනෙක්. යථාර්ථයට පිටුපාලා ජීවත් වෙන්න අපට බෑ. රංගනයකින් වුණත් අපි කරන්න ඕනෑ මිනිස්සුන්ගේ හොඳ, නරක කියාදීමයි.

* ‘බොරදිය පොකුණ’ චරිතය අද රඟපෑවා නම් මීට වඩා හොඳට කරන්න තිබුණා කියලා හිතෙන්නේ නැද්ද?

අනිවාර්යයෙන්ම හිතෙනවා. මොකද මට වැඩියෙන්ම එහෙම හිතෙන්නේ මේ මගේ ප්‍රථම සිනමා රංගනය නිසා. ඔය කාලෙම මම තවත් චිත්‍රපටයක රඟපෑවා ‘ගිනි සිළුව‘ කියලා. ඒත් ඒක ප්‍රදර්ශනය වුණේ නෑ. ‘බොරදිය පොකුණ’ චිත්‍රපටය දිහා හැරිලා බලන කොට මට හිතෙනවා දැන් කළා නම් ඊට වඩා හොඳට ඒක කරන්න තිබුණා කියලා. මම හිතන්නේ ඒක පොදුවේ කාටත් හිතෙන දෙයක්.