වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




රසඥතාව බල්ලට ගිහින් බල්ලොත් එක්ක බෑ දර්ශන 600ක්

රසඥතාව බල්ලට ගිහින් බල්ලොත් එක්ක බෑ

දර්ශන 600ක්

රවින්ද්‍ර ආරියරත්න

රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍යයේ හයසිය වැනි දර්ශනය මේ මස 08 වැනිදා බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේදී වේදිකා ගත වෙයි. 2009 සැප්තැම්බර් 17 වැනිදා පළමුවරට වේදිකා ගතවුණු මේ වේදිකා නාට්‍යය පිළිබඳ රවීන්ද්‍ර ආරියරත්න සිය අදහස් දැක් වූයේ මෙසේයි.

ඔබගේ නාට්‍යය ආරම්භයේ සිටිය සාමාජිකාවක් වර්තමානය වන විට එහි දකින්නට ලැබෙන්නේ නැහැ නේද?

වේදිකා නාට්‍යයක් දිගු කාලයක් වේදිකා ගත වෙද්දී එහෙම දේවල් වෙනවා. ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් රූගත කරද්දී ඒ නිර්මාණය එක්තරා කාලයකදී රූප ගත කරනවා. ඒ නිර්මාණයේ දි ඒ කාලයෙන් පස්සේ නළු නිළියන් සමඟ තිබෙන කටයුතු අවසාන වෙනවා. නමුත් වේදිකා නාට්‍යයක් කියන්නේ සජීවී මාධ්‍යයක්. ඒ නිර්මාණය රංග ගතවන ඕනෑම කාලයක් දක්වායි එහි සජීවි බව පවතින්නේ. ඒ පැවැත්ම දර්ශන හයසියක් දක්වා පවත්වා ගැනිමේදී විවිධ බාධක ගැටලු පැමිණෙනවා. මොන බාධක ගැටලු පැමිණියත් අංක එක විය යුත්තේ නාට්‍යය පවත්වා ගැනීමයි. ඒ නිසා නාට්‍යය පවත්වා ගැනීම සම්බන්ධව ගත යුතු තීරණ ගැනීමට අධ්‍යක්ෂවරයෙක් පසුබට නොවිය යුතුයි.

ඒ වෙනස්වීම ප්‍රේක්ෂකයාට ගැටලුකාරී බවක් රැගෙන පැමිණෙන්න පුළුවන් නේද?

මට හිතෙන්නේ අද වෙද්දී නළුවන්ගේ හා නිළියන්ගේ ජනප්‍රියත්වය මත නාට්‍යයක් නොරැඳෙන බවයි. හොඳම උදාහරණ විදියට පරාක්‍රම නිරිඇල්ලගේ ‘චරන්දාස්’ වේදිකා නාට්‍යය ගන්න පුළුවන්. එහි ඔය කියන ජනප්‍රිය නළු - නිළියෝ කිසිවෙක් ඇත්තේ නැහැ. ඒ වගේම එතැන සිටින්නේ දක්ෂ, තරුණ අයයි. නමුත් ඒ නාට්‍යය මුළු ලංකාවේම වේදිකා ගත වෙනවා. ඔය තරු සංකල්පය පැවතුණේ අතීතයේයි. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා කියන නළු නිළියෝ බලන්න ප්‍රේක්ෂකයෝ වේදිකාවට ආවේ එදායි. නමුත් අද ප්‍රේක්ෂකයෝ වේදිකාවට එන්නේ නාට්‍ය නරඹන්නටයි.

ඔබ ඔය විදියට පැවසුවත් නාට්‍ය සංවිධානය කිරීමේදී බොහෝ අධ්‍යක්ෂවරුන් පවසන්නේ නිර්මාණවල සිටින ජනප්‍රිය නළු නිළියන් කවුරුන්දැයි සංවිධායකවරුන් විමසන බවයි. මේ කාරණය සම්බන්ධව ඔබ කුමක් ද පවසන්නේ?

උදාහරණයක් විදියට ‘චරන්දාස්’ වේදිකා නාට්‍යය ගත්තොත් ඒ සංවිධායකවරුමයි එය වේදිකාවට රැගෙන එන්නේ. මෙතෙක් ඔවුන්ට කිසිම ගැටලුවක් පැන නැඟී නැහැ. මීට පෙරත් තරුණ නාට්‍යකරුවන්ගේ නාට්‍ය වේදිකා ගත වුණා. එහෙත් ජනප්‍රිය නාට්‍යකරුවන් රඟපෑවත් දිගින් දිගටම වේදිකා ගත නොවුණු නාට්‍යයත් මේ අතර තිබෙනවා. ඒ නිසා ජනප්‍රිය නාට්‍යකරුවන් සිටි පමණින්ම නාට්‍ය ගුණාත්මක නොවනවා නම් දිගටම ඒ වේදිකා නාට්‍ය වේදිකා ගත වන්නේ නැහැ.

ජනප්‍රිය නළු නිළියන් නිර්මාණවලට යොදා ගැනීමේදී විවිධ ගැටලු නිර්මාණය වීම වැළැක්විය නොහැකි කාරණයක්. මේ ගැටලුවට ඔබත් මුහුණ දුන්නාද ?

මුහුණ දීලා තිබෙනවා. ඔය කියන අභියෝගය නොමැති වුණා නම් දාහ, දෙදහා වගේ දර්ශනවලට අපට ගමන් කරන්නට තිබුණා. මොකද ඒ තරමටම අපෙන් නාට්‍යය දර්ශන ඉල්ලනවා. අපට ඒ ඉල්ලුමට සැපයුම දෙන්න නොහැකි වී තිබෙනවා.

මේ වේදිකා නාට්‍යය ඔබ සලකන්නේ ප්‍රහසන නාට්‍යයක් විදියටයි. ඒක ඇත්තක්ද?

මම නිර්මාණයක් රචනා කිරීමේදී ප්‍රහසන නාට්‍යයක් රචනා කරනවාය කියන හැඟීමෙන් නිර්මාණකරණයේ යෙදෙන්නේ නැහැ. සිතට එන අත්දැකීම මම දිගටම ලියාගෙන යනවා. එය අවසානයේදියි මම පිටපත කියවන්නේ. එවිටයි මට හැඟෙන්නේ මෙහි ප්‍රහසනාත්මක ලක්ෂණ තිබෙනවා කියලා. මේ නිසා සාමාන්‍ය භාවිතයේදී මගේ ඇතුළතින් ප්‍රහසනයට තිබෙන ඉඩකඩ වැඩි බවක් මට හැඟෙනවා. ඒක මම බලෙන් කරන දෙයක් නොවුණත් එවැනි දේවල්වලට මා මනාපයි. ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍යයටත් ඒ කාරණය පොදු වුණා. එහි මේ ප්‍රහසනය මතු වී තිබුණේ වැරැදීමෙන් සහ සැඟවීමෙන්. ඊළඟට එය මනා අයුරෙන් මතු කිරීමට දක්ෂ රංගන ශිල්පීන් යොදා ගන්න මට උවමනා වුණා. ඊට අවශ්‍ය ශිල්පීන් තෝරා ගත්තා. මේ සියල්ලන්ගේ අපූරු සංකලනයකින් තමයි නාට්‍යය බිහි වුණේ.

වර්තමානයේ බිහිවුණු බොහෝ වේදිකා නාට්‍ය දෙස විමසිල්ලෙන් බලද්දී ප්‍රහසන යැයි කියා ගන්නා වේදිකා නාට්‍ය රැල්ලක් තමයි බිහි වුණේ. එය ආරම්භ වුණේ ඔබගේ වේදිකා නාට්‍යයෙන්. ඒ ගැන ඔබට කුමක් ද පවසන්න තිබෙන්නේ?

එක් එක් නිර්මාණකරුවන්ට ආවේණික වූ වෙනම රටාවක් ඔවුන් සතුයි. දාරියෝ ෆෝ, රේකූනි වැනි විශිෂ්ට නාට්‍යකරුවන්ට ඔවුන්ටම වෙන් වූ රටාවක් තිබුණා. ඒ වගේම මටම ආවේණික රටාවයි මේ. එහෙම නැතුව මට රැල්ලකට යන්න අවශ්‍ය වුණේ නැහැ. මට රැලි හදන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ වගේම ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒ වගේම ඕනෑම නාට්‍යයක් ප්‍රහසනද නැත්නම් වෙන මොකක් ද කියලා බෙදනවාට මම කැමැති නැහැ. නාට්‍ය නම් නාට්‍ය. නැත්නම් හොඳ නාට්‍ය සහ නරක නාට්‍ය. බලන්න පුළුවන් නාට්‍ය සහ බලන්න බැරි නාට්‍ය එපමණයි තිබෙන්නේ. එහෙත් සමහරු කියන ඔය සීරියස් නාට්‍ය අප නැරැඹිය යුත්තේ ආයාසයෙන්. මොකටද එහෙම නාට්‍ය නරඹලා. නාට්‍ය කියන්නේ මිනිස්සුන්ට ආත්මීය වශයෙන් සෞන්දර්යාත්මක බවක් ගෙනෙන, රසයක් ගෙනෙන නිර්මාණයක්. එහෙම නැති නිර්මාණ නරඹන්න මොකටද අපි පුටුවකට වෙලා පැය දෙකක් ගත කරන්නේ.

ඔබ කියන විදියට නාට්‍ය නිර්මාණවල තිබිය යුත්තේ ආත්මීය රසයක් පමණක් නම් ප්‍රේක්ෂකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා අරගෙන යන ගමනට මොකද වෙන්නේ?

මෙතනදි ප්‍රඥාව අතහරිනවා කියන එක නෙවෙයි මා පවසන්නේ. වින්දනය ඇතුළේ ප්‍රඥාව තියෙනවා කියන එකයි. ඒ වගේම හුදෙක් බොහෝ දෙනෙක් ප්‍රඥාව ලබා ගැනීමේ අදහසෙන් නාට්‍ය නරඹන්නේ නැහැ. බුද්ධිමතෙක් වීමේ අදහසෙන් නාට්‍ය නරඹන්නේ නැහැ. ඒක බොරු තර්කයක්.

ඒ වචන පෙළේ ඇතුළත් බොරු තර්කය කුමක් කියලද ඔබ පවසන්නේ?

ඔය කියන ප්‍රඥාව කියන කතාවේදී ප්‍රඥාවන්තයෙක් වීම සඳහා මම අහවල් නාට්‍ය නරඹන්න යනවා කියලා කවුරුත් කියන්නේ නැහැ. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒක මට පෙන්වන්න.

 ඔබ එහි අර්ථය නිවැරැදි අයුරෙන් වටහා නොගෙන සිටින බවයි මට නම් පෙනෙන්නේ. නිර්මාණකරුවෙකු ලෙස නාට්‍ය නරඹන යන ප්‍රේක්ෂකයා ප්‍රඥාව කරා රැගෙන යෑම ඔබට පැවරෙන වගකීමක් නේද?

මා ඒ කියූ වින්දනය ඇතුළේ ඔය කියන දේවල් තියෙනවා. එහෙම නැතුව වින්දනය කියන්නේ කිචි කවලා හිනස්සන දෙයක් නෙවෙයි නේ. ඊට ලොකු අර්ථයක් තියෙනවා. රස වින්දනයට ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ මගින් බුද්ධියටයි කතා කරන්නේ. වේදිකාව කියන්නේ බුද්ධියට කතා කරන මාධ්‍යයක්. වේදිකාවට එන්නේ බුද්ධිමත් ප්‍රේක්ෂකයන්. මෝඩයන්ට නාට්‍ය කරන්න බැහැ. නාට්‍යයක ප්‍රධානම කොටස වන්නේ ප්‍රේක්ෂකයා. එහිදි සමහර විටෙක අපට හොඳ ප්‍රේක්ෂාගාර හමු වෙනවා. එතනදි නාට්‍ය ප්‍රේක්ෂාගාර ගතවන අපූරුව අපට දැනෙනවා. එහෙත් සමහර ප්‍රේක්ෂකයෝ ඉන්නවා සංස්කෘතික ගත නොවූ අය. ඔවුන් කලාව පිළිබඳ ආභාසය නොලැබූ අය විතරක් නොවෙයි නිර්මාණයක් රස විඳින්නවත් දන්නේ නැහැ. ඒ වගේ ප්‍රේක්ෂාගාරයකට නාට්‍ය කරන්න අමාරුයි.

ඔබ කියන්නේ එවැනි අයට නාට්‍ය රස විඳින්න තරම් රසඥතාවයක් නැහැයි කියලද?

සියයට සියයක්ම නොවෙයි. නමුත් කොළඹ කේන්ද්‍රීයව නාට්‍ය නැරැඹීමේ වෙනම සංස්කෘතියක් ගොඩ නැඟිලා තිබෙනවා. එහෙම සංස්කෘතියක් ඈත පළාත්වල ගොඩනැගිලා ඇත්තේ නැහැ. ඔවුන් නාට්‍යයක් නොවෙයි ගීතයක් රස විඳින්නවත් දන්නේ නැහැ. මේ නිසා ඒ අයට නිර්මාණ කරන්න පහසු නැහැ. එහෙම නම් නිර්මාණකරුවා ප්‍රේක්ෂකාගාරය ඇද බැඳ තබා ගැනීමට දැනගත යුතුයි. ප්‍රේක්ෂකයාගේ ජන විඥානය හඳුනාගත යුතුයි. පණ්ඩිතයෝ කියලා අපි දන්න සියලුම ශිල්ප දක්වලා පිටපත් ලිව්වත් ඒවා ප්‍රේක්ෂාගාරයට යන්නේ නැත්නම් වැඩක් නැහැ. ඒ වගේම නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන්ට නාට්‍ය එපා වෙනවා. හැබැයි ඒ නිර්මාණවලට සම්මාන ලැබෙන්න පුළුවන්. මේ විදියට විනිශ්චය මණ්ඩවලට තේරෙන්නේ නැති මොනව හරි නාට්‍ය ලියන්න බොහොම ලෙහෙසියි කියලයි මට නම් සිතෙන්නේ. මට අද වුණත් ඒ වගේ නාට්‍යයක් ලියලා හෙට පටන් ගන්න පුළුවන්. නමුත් ජනතාවට විඳින්න පුළුවන්, ඔවුන් නැවත නැවත වේදිකාවට කැඳවන්න පුළුවන් නාට්‍යයක් ලියන එක ලෙහෙසි වැඩක් නොවෙයි.

ඔබ කලින් සඳහන් කළ අයට තිබෙන්නේ නාට්‍ය රස විඳින්න රසඥතාවක් නැතිකමද, එසේත් නැතිනම් ඔබගේ නාට්‍ය නරඹන්න බැරිකමද කියලා අපට ප්‍රශ්නයක් පැන නැගෙනවා?

මේවට වගකියන්න ඕනෑ විද්‍යුත් මාධ්‍යයි. කසිකබල් ටෙලි නාට්‍ය වගේ දේවල් පෙන්නලා ගම්වල ඉන්න අයගේ රස වින්දනය නැති කරලා. එවැනි තත්ත්වයක් ඇතුළේ අද රසඥතාව බල්ලට ගිහින් තියෙන්නේ. සම්මාන ගත්ත නාට්‍යයක් දෙස බලන්න. මම හිතන්නේ නෑ ඒවාට ප්‍රේක්ෂගාර පිරෙන්න ප්‍රේක්ෂකයෝ ඉන්නවා කියලා. නමුත් මගේ නාට්‍යවලට ඔය කියන ප්‍රශ්න නැහැ.

අද ප්‍රහසන යැයි කියලා හඳුන්වා ගන්න බොහෝ වේදිකා නාට්‍යවල තිබෙන්නේ විහිළුයි. ඔබගේ නිර්මාණයටත් මේ කාරණය පොදුයි?

අපේ කෝළම්, සොකරි කියන ජනශ්‍රැති අධ්‍යයනය කළොත් ඒ හැම දෙයකම තියෙන්නේ ප්‍රහසනය හා උත්ප්‍රාසයයි. ඒ වගේම මම පුංචි කාලයේ පටන් ජන කවි අහලා තියෙනවා. පසුව ඒ ගැන හදාරලා තියෙනවා. මා නිර්මාණකරණයට පිවිසෙන්නේ මේ පසුබිමත් සමඟයි. ඒ පසුබිම ඔස්සෙයි මේ නිර්මාණ ගලාගෙන යන්නේ. එහෙම නැතුව ප්‍රහසනය මාර්කට් කරන්න මම නාට්‍ය හැදුවේ නැහැ. නමුත් ඊට පස්සේ රැල්ලක් නිර්මාණය වුණා. ඒ රැල්ලේ ආව අනෙක් කාටවත් බනින්නේ නැතිව බොහෝදෙනා බනින්නේ මට විතරයි. බනින ගොඩක් අය මගේ මේ නාට්‍යය නරඹලාවත් නෙවෙයි මට බනින්නේ. බනින්න, විචාරය කරන්න. හැබැයි නාට්‍ය නරඹලා ඒ දේ කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.