වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




‘සුරනිමල’ රඟපෑවාම ඒ ලෙවල් ලියලා - කැම්පස් ආවා වගේ දැනුණා

‘සුරනිමල’ රඟපෑවාම ඒ ලෙවල් ලියලා - කැම්පස් ආවා වගේ දැනුණා

අර්ජුන කමලනාත්

ජයන්ත චන්ද්‍රසිරි මහරජ ගැමුණු චිත්‍රපටයේ සුරනිමල යෝධයාගේ චරිතයට අර්ජුන කමලනාත් තෝරා ගැනීම සමහරුනට විමතියක් දෙන සිදුවීමකි. ඇතැමෙකුට එය සිනා උපදවන කාරණයක් විය. කෙසේ නමුත් මේ දිනවල ඉතාම සාර්ථක අන්දමින් මහරජ ගැමුණු තිිරගත වෙයි. දැන් අර්ජුන් කමලනාත්ට ලැබෙන ප්‍රතිචාරයන් කොහොමද?

අහලා බලමු ඒක අර්ජුනගෙන්.

එදා පුදුමාකාර දේවල් වුණේ. මං ලොකේෂන් එකට ගියාම වැඩි දෙනෙක් මං දිහා බැලුවේ අමුතු සතෙක් දිහා බලනවා වගේ. ඒ බැල්මවල තිබුණේ ‘මූ මොකද මෙහෙ කරන්නේ’ වගේ අදහසක්. දවසයි දෙකයි ගියේ, කාට කාටත් තේරුම් ගියා වෙන්නේ මොකක්ද කියලා. ටික දවසකින් කතා නොකරපු අයත් කතා කළා. අද සුරනිමල සඳහා ලැබෙන ප්‍රතිචාර මාව විශ්මයට පත් කරනවා. මේ සේරම ජයන්ත අයියා නිසා.

ජයන්ත චන්ද්‍රසිරි කොහොමද ඔබට මේ අවස්ථාවට කතා කළේ?

ඒක සිදු වෙන්නේ මෙන්න මෙහෙම. දිවයින පත්තරේ මගේ මාධ්‍ය මිතුරෙක් ඉන්නවා හේමන්ත රන්දුනු කියලා. ඔහු තමයි ජයන්ත අයියට මාව මතක් කරලා තියෙන්නේ. ඔහු මට කතා කළා තිර පරීක්ෂණයක් සඳහා.

ඔබ ගියාද?

ඇයි එහෙම අහන්නේ?

නෑ, ඔබ වගේ නළුවෙක් එවන් තිර පරීක්ෂණයකට යනවා කියලා හිතාගන්න අපහසුයි?

වෙන කෙනෙක් කතා කළොත් මම යන එකක් නැහැ. නමුත් ජයන්ත අයියා කතා කරපු වැඩකට නොයා කොහොමද? මහරගම වත්තේගෙදර තිබුණු කාර්යාලයකයි තිර පරීක්ෂණය තිබුණේ.

එදා මොනවද සිද්ධ වුණේ?

එතන චිත්‍රපටයේ අංග රචනා ශිල්පී ජයන්ත රණවක හිටියා. ඔහු ගාව තිබුණා සුරනිමල යෝධයාගේ ඇඳපු චිත්‍රයක්. මටත් එහෙම වෙස් ගන්වලා බැලුවා. ජයන්ත අයියා කිව්වා ‘ඇරපු අතක් නැහැ, මේ ඉන්නේ සුරනිමල’ කියලා.

ඔබට හිතාගන්න බැරුව යන්න ඇති?

නැතුව ජයන්ත අයියා ඇහැව්වා රැවුල වවන්න පුළුවන්ද කියලා. මම හා කිව්වා. ඉතින් එදා ඉඳල රැවුල වැව්වා.

ඔබ මහරජ ගැමුණු සඳහා කරපු කැප කිරීම වෙනත් චිත්‍රපට සඳහා කළේ නැත්තේ ඇයි?

කැපකිරීමක් කරන්න තරම් චරිතයක් මට ලැබුණේ නැහැ.

ඔබට තිබුණනෙ ලැබෙන චරිතත් එක්ක ඔබ විසින්ම වෙනසක් ඇති කරගෙන රඟපාන්න?

මට චරිත ලබාදුන් බොහෝ අධ්‍යක්ෂවරුන්ට ඕනෑ වුණේ මගේ මේ ස්වරූපය. ඉතිං මං වෙනස් වෙන්න හැදුවත් එහෙම කරන්න එපා කිව්වා.

ඒ වගේම තව දෙයක් අහන්න ඕනෑ, ඔබ සුරනිමල යෝධයාගේ චරිතය තරම් ඔබට ලැබුණු අනික් චරිත රඟපෑවේ නැහැ කියන පැනය?

මම කලින් චිත්‍රපටවල රඟපෑවේ දඩිබිඩිගාල දෙබස් කියලා. මොකද ඒවා පටිවලටයි ටේප් වුණේ. පටිය ඉවර වෙන්න කලින් ඩයලොග් කියන්න ඕනෑ. මං ඒවාට දොස් කියන්නේ නැහැ. නමුත් මහරජ ගැමුණු චිත්‍රපටයේ මට දින 38 ක් ෂූටිං තිබුණා. ඉතාමත් නිදහසේ රඟපෑවේ. මට හොඳට රඟපාන්න පුළුවන් වුණෙත් ඒ හින්දයි.

ඔබ ඔබේ පෙර චිත්‍රපටවලට දොස් කියනවා. මොනවා වුණත් ඔබව ජනප්‍රිය කළේ ඒ සිනමාපටවලින් නොවේද?

ජනප්‍රිය වුණා. මං ඒකට නැහැ කියන්නේ නැහැ. ඒත් සමඟම මාව එකම රැල්ලකට කොටු කළෙත් ඒ චිත්‍රපටම තමයි.

සුරනිමල යෝධයා ගැන ඔබ දන්නේ මොනවාද?

හොඳ රණකාමියෙක් කියලා විතරයි අහලා තිබුණේ.

එතකොට සුරනිමල කියන්නේ දුටුගැමුණු රජු ළඟින්ම හිටි කෙනෙක් කියලා අහලා තිබුණේ නැතිද?

චිත්‍රපටය හරහා මං සුරනිමල ගැන ගොඩාක් දේවල් දැනගත්තා. සුරනිමල පිළිබඳ විතරක් නෙවෙයි. ගැමුණු රජු ගැනත් බොහෝ දේ දැනගත්තේ මේ චිත්‍රපටය හරහා.

සුරනිමල යෝධයා නිතරම ඉන්නේ අසුපිට නැගිලා. කොහොමද ඒ අත්දැකීම?

අශ්වයො කියන්නේ ලෙහෙසි ජාතියක් නෙවෙයි. උන්ව පුරුදු කරනවා කියන එක වෙනම කලාවක්. මම ඉතාම වැර වෑයමෙන් අශ්වයින්ගේ පිට යෑම ප්‍රගුණ කළා.

ඒත් දිය කඩිත්තක් ළඟින් අශ්වයකු පන්නන්න ඉගෙන ගත්තේ නැහැනෙ?

ඔව්නෙ. ඒක මං මෙහෙම විස්තර කරන්නම්. අශ්වයො පදින්න ඉගෙන ගෙන මං සීන් එකට ගියා. මමයි උද්දිකයි අශ්වයාගේ පිටේ යන දර්ශනයක් තමයි රූගතත කළේ. මං දැන් වේගයෙන් අශ්වයව පදවගෙන එනවා. ඔන්න දැන් මට පේනව ඉදිරියෙන් දිය කඩිත්තක් තියෙනවා. මොන දේ ඉගෙන ගත්තත් අශ්වයකු පදවාගෙන දිය කඩිත්තක් ළඟට එනකොට මොකද කරන්නේ කියලා මට අහගන්න බැරි වුණා. ආව වේගයෙන්ම අශ්වයා දියකඩිත්තෙන් පැන්නා. මට හිතුණා එවලෙම හිටගන්න. මං උද්දිකටත් එහෙම කරන්න කිව්වා. අපි එවලේ හිටගත්තේ නැත්නම් අශ්වයාම ආයෙ පොළවට පතිත වෙන කොට ඒ වේගයට අපේ කොන්ද කැඩෙන්න තිබුණා. වාසනාවට හිටගත්තු නිසා බේරුණා.

මහරජ ගැමුණු චිත්‍රපටය නිසා ඔබට තවත් චිත්‍රපට දෙකක් අහිමි වුණා කියලා ආරංචියි?

ඔව්.

දුක නැතිද?

නැහැ. මහරජ ගැමුණු චිත්‍රපටයේ නිෂ්පාදකතුමා මූල්‍යමය වශයෙන් මට හොඳට සැලකුවා. ඒ හින්දා චිත්‍රපට 2 ක අහිමිවීම ගැටළුවක් නැහැ.

මහරජ ගැමුණු සුරනිමල නිරූපණය කරලා ගෙදර ආපු ඔබට මොන වගේ හැඟීමක් ද දැනුණේ?

මං ඒ ලෙවල් කරලා කැම්පස් ආවා වගේ දැනුණා.

අද ඉඳලා ඔබ කැම්පස් මට්ටමේ චිත්‍රපට ද බාර ගන්නේ?

ඒක අනාගතය විසින් තීරණය කරාවි.

කවදද පෙම්වතිය හා විවාහ වන්නේ?

විවාහ වෙන්න දෙයක් නැහැ. විවාහ වෙලා වගේ තමයි ඉන්නේ.