වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




බී. ආර්. යාෂ් - ආදිත්‍ය - කරන් චොප්රා පවුල ගැන කියමු

බී. ආර්. යාෂ් - ආදිත්‍ය - කරන් චොප්රා පවුල ගැන කියමු

කභී කභී, චාන්ද්නී, දිල්වාලේ දුල්හානියා ලේ ජායේන්ගේ, මොහබතීන්, ඩූම්, වීර් සාරා, ෆනා, ජබ් තක් හේ ජාන් යුගයෙන් යුගය බොලිවුඩ් තිරය හැඩ කළ සිනමා නිර්මාණ වේ. එදා මොදාතුර ඔබට මට මේ සිනමා නිර්මාණ රස විඳින්නට හැකි වූයේ ඔවුන් නිසාවෙනි. ඔවුන් මෙම සිනමා නිර්මාණ නොකරන්න සිනමා ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වූ අමිත් මල්හෝත්‍රා, රෝහිත්, චාන්ද්නී, වීර්, සාරා, රාජ්, සෝනි, රෙහාන්, සමර් ආනන්ද් වැනි චරිත කිසි දිනෙක ජීවමාන නොවන්නට ඉඩ තිබුණි.

අද අපි හින්දි සිනමාවේ පවුල් ගසෙන් කතා කරන්නේ බොලිවුඩයට දැවැන්ත වූත්, ආකර්ෂණීය වූත් නිර්මාණ රැසක් බිහි කළ චොප්රා ජොහාර් පවුල පිළිබඳවයි.

චොප්රා - ජොහාර් පවුල බොලිවුඩ් සිනමාවේ බලගතු සිනමා පවුලක් ලෙසින් ජනාදරයට පාත්‍ර වී සිටියි. ඔවුන් අති දැවැන්ත සිනමා නිිර්මාණ බිහි කරමින් සුපිරි තරු සිනමාවට හඳුන්වා දෙන්නේය. චොප්රා පවුලෙන් ප්‍රථමයෙන් සිනමාවට සම්බන්ධ වූයේ සහෝදරයන් තිදෙනෙකු හා සහෝදරියකගෙන් යුතු වූ පවුලේ වැඩිමහල් සහෝදරයායි. ඔහු බල්දේව් රාජ් චොප්රා හෙවත් බී. ආර්. චොප්රා නම් විය.

බී. ආර්. චොප්රා අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ලෙසත් අගනා සිනමා නිර්මාණ රැසක් හින්දි සිනමාවට දායාද කළේය. Naya Daur, Sadhna. Knoon, Gumeah. Humraaz  වැනි නිර්මාණ ඒ අතරට එක් විය. බල්දේව් රාජ් විසින් B. R.  චිත්‍රපට ආයතනය ආරම්භ කරන ලද්දේ 1947 වසරේදීය. 1914 අප්‍රේ්ල් 21 වැනිදා උපත ලද ඔහු සිය සිනමා ජීවිතයේ ආරම්භය සනිටුහන් කළේ 1944 වසරේදීය. ඒ සිනමා මාධ්‍යවේදියෙක් ලෙසිනි. ඔහු චිත්‍රපට ක්ෂේත්‍රයේ විවිධ අංශ රැසකින් තම ප්‍රතිභාව දැක් වු පුද්ගලයෙක් විය. අධ්‍යක්ෂණය, නිෂ්පාදනය මෙන්ම තිර රචනයෙන් ද සාර්ථක වන්නට ඔහුට හැකි විණි. 2003 වසරේ තිරගත වූ Baghban හා 2006 වසරේ තිරගත වූ ඕචචඡභත බල්දේව් රාජ්ගේ තිර රචනයන් විය. 1978 වසරේ තිරගත වූ මනික් සත්‍යරාජ් අධ්‍යක්ෂණය කළ  Ghar චිත්‍රපටයට ඔහු සිය රංගන දායකත්වය ද ලබා දුන්නේය. ජාතික සම්මාන මෙන්ම ෆිල්ම් ෆෙයාර් සම්මානයන්ට ද හිමිකම් කී ඔහු දාදාසහබ් පාල්කේ සම්මානයෙන් පිදුම් ලැබුයේ 1998 වසරේදීයි.

වැඩිමහල් සහෝදරයාගේ අඩි පාරේ යමින් යාෂ් චොප්රා ද ක්ෂේත්‍රයට පිවිසියේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙසිනි. අධ්‍යක්ෂණයෙන්, නිෂ්පාදනයෙන් සහ තිර රචනයෙන් සිය අනන්‍යතාවය ගොඩ නඟා ගත් යාෂ් හට ද දැවැන්ත සිනමා නිර්මාණ බිහි කිරීමේ ගෞරවය හිමි වේ. ඉන්දීය සිනමාවේ Deewar, Kabhie Kabhie, Trishul වැනි චිත්‍රපට එදා ඉහළ සාර්ථකත්වයක් ලද චිත්‍රපට බවට පත් විය. සිනමා තරු රැසකටම දිදුලන්නට ඇවැසි පසුබිම සකස් කිරීමට චොප්රා පවුලට අවස්ථාව උදා විය. බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන්ගේ රංගනයෙන් ඔපවත් වූ Dil To Pagal Hai(1997), Veer-Zaara (2004), Jab Tak Hai Jaan (2012) යාෂ්ගේ නිර්මාණ අතරේ අතිශය ඉහළ කතාබහකට ලක් වූ ප්‍රේම කතාවෝ ත්‍රිත්වයකි. ඒ නිසාම 'ප්‍රේමයේ රජු' යන අන්වර්ථ නාමය ද ඔහුට පබැඳිනි. මුලින් බී. ආර්. සමාගමේ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ යාෂ් ආරම්භ කළා වූ යාෂ් රාජ් ෆිල්ම්ස් ඉන්දියාවේ විශාලතම චිත්‍රපට නිෂ්පාදන ආයතනය බවට පත් විය. ජාතික සම්මාන සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන රැසකින් පිදුම් ලද යාෂ් 2001 වසරේදී දාදාසහබ් පාල්කේ සම්මානයෙන් හා 2005 වසරේදී පද්ම භූෂණ සම්මානයෙන් පුද ලැබීය.

චොප්රා පවුලේ තෙවැනි සහෝදරයා විනෝද් චොප්රා ද, විනෝද් චොප්රා නමින් චිත්‍රපට ආයතනයක් ආරම්භ කළේය.  Khamosh  චිත්‍රපටයෙන් ආරම්භ කළ ඒ මඟින් 1942 ඒ Love Story, Munna Bhai M. B. B. S, 3 Idiots, PK  වැනි සම්මානනීය මෙන්ම වාර්තාගත චිත්‍රපට රැසක් නිර්මාණයට දායක වුණි.

හින්දි සිනමාව තුළ චොප්රා පවුල චිත්‍රපට නිර්මාණය පිළිබඳ විශාල වගකීමක් කරට ගෙන කටයුතු කරන්නේය. චොප්රා පවුලේ දෙවැනි පරම්පරාව නියෝජනය කරමින් බී. ආර්. පුතු රවි චොප්රා ද තිර රචකයෙක්, නිෂ්පාදකවරයෙක් සේම අධ්‍යක්ෂවරයෙකු ලෙසින් සිය දායකත්වය හින්දි සිනමාවට ලබා දුන්නේය. ඉන්දියාවේ මෙන්ම අපේ රටේ ද ජනාදරයට පාත්‍ර වූ මහාභාරත් ටෙලි නාට්‍ය මාලාව අධ්‍යක්ෂණය වූයේ ද ඔහුගේ අතිනි.

රෝෂිණි චොප්රා සහ ඩියා චොප්රා රවි චොප්රාගේ දියණියෝ වෙති. වැඩිමහල් දියණිය රෝෂිණි චොප්රා නිළියක, රූපවාහිනි වැඩසටහන් නිවේදිකාවක මෙන්ම නිරූපිකාවක ලෙස ද කටයුතු කරන්නීය. බාල දියණිය ඩියා ටෙලි නිළියක ලෙසින් රංගනයට දායකව සිටින්නීය.

විදු විනෝද් චොප්රා, විනෝද් චොප්රාගේ පුත්‍රයා වේ. 3 Idiots, PK  වැනි අතිශය ජනප්‍රිය වූ චිත්‍රපට නිෂ්පාදනය කිරීමේ ගෞරවය ඔහු හට හිමි වේ. ඔහුගේ බිරිඳ අනුපමා චොප්රා ඉන්දීය ලේඛිකාවක හා මාධ්‍යවේදිනියක ලෙසින් ප්‍රසිද්ධය. ඇය ඉන්දීය සිනමාව පිළිබඳව කෘති ගණනාවක්ම රචනා කර ඇත. ඇය විසින් රචිත Sholay. The Making of a Classic කෘතිය වෙනුවෙන් 2000 වසරේ හොඳම සිනමා කෘතියට හිමි ජාතික සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ආදිත්‍ය චොප්රා සහ උදය චොප්රා වර්තමාන ඉන්දීය සිනමාවේ කැපී පෙනෙන චරිත ද්විත්වයකි. යාෂ් චොප්රාගේ වැඩිමහල් පුත්‍රයා වූ ආදිත්‍ය ද තිර රචනයෙන්, නිෂ්පාදනයෙන් අධ්‍යක්ෂණයෙන් සිනමාවට දායක වන්නේය Dilwale Dujhaniya Le Jayenge චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට පැමිණි ඔහු Mohabbatein, Rab Ne Bana Di Jodi  වැනි සාර්ථක සිනමා නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කළේය. එමෙන්ම දැවැන්ත චිත්‍රපට රැසක නිෂ්පාදන අභියෝගය ද ජය ගත්තේය. Ek Tha Tiger, Jab Tak Hai Jaan, Dhoom 3, Krrish, Happy New Year වැනි චිත්‍රපට තිරගත වූයේ ආදායම් වාර්තා ද තබමිනි. ආදිත්‍යගේ අත ගත්තේ වර්තමානයේ ජනප්‍රිය බොලිවුඩ් නිළියක වූ රාජි මුකර්ජිය. මේ සමඟ චොප්රා පවුලේ හින්දි සිනමාවේ ජනප්‍රිය මුඛර්ජි හා සම්රත් පවුලට ද සම්බන්ධය. යාෂ් රාජ් ෆිල්ම්ස් නිපදවන සිනමා නිර්මාණවල ඇයට ද විශේෂ ස්ථානයක් හිමි විය. Kuch Kuch Hota Hai, Hum Tum, Veer Zaara, Kabhi Alvida Naa Kehena, Bombay Talkies වැනි චොප්රා ජොහාර් පවුලේ සිනමා නිර්මාණ රැසකට ඇය රංගනයෙන් දායක වූවාය.

උදය චොප්රා යාෂ් චොප්රාගේ බාල පුුත්‍රයා වෙයි. ඔහු ද නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් ලෙසින් කටයුතු කළ ද වඩා ජනප්‍රිය වන්නේ නළුවෙකු ලෙසිනි. Dhoom චිත්‍රපට මාලාවේ අලී ලෙසින් කළ රංගනය කාගේත් කතාබහට ලක් විය.

යාෂ් ජොහාර් චොප්රා පවුලට සම්බන්ධ වන්නේ හීරු චොප්රා සමඟ විවාහය සමඟිනි. හීරු - චොප්රා පවුලේ එකම සහෝදරියයි. යාෂ් ජොහාර් තම චිත්‍රපට ආයතනය වන ධර්මා මඟින් සිනමා නිර්මාණ රැසක් නිෂ්පාදනය කළේය. Dostana (1981), Agneepath (1990), Juch Kuch Hota Hai (1998), Kabhi Kushi Kabhie Gham, Kal Ho Naa Ho (2003)  ඒ අතරින් කිහිපයකි.

යාෂ් ජොහාර් හීරු චොප්රාගේ පුත්‍රයා වර්තමානයේ අතිශය ජනප්‍රිය සිනමාකරුවෙකි. ඔහු නමින් කරන් ජොහාර් නම් වෙයි. ෆිල්ම් ෆෙයාර් සම්මාන අටකට හිමිකම් කියමින් ඉහළ ආදායම් ලද චිත්‍රපටයක් වූ Kuch Kuch Hota Hai  චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් සිය චිත්‍රපට අධ්‍යක්ෂණය ආරම්භ කළ කරන් ලොව පුරා රසික රසිකාවන්ගේ ආකර්ෂණයට නතු වූ චිත්‍රපට රැසක් නිර්මාණය කළේය. Kabhi Alvida Naa Keheng, My Name is Khan, Student of the Year, Bombay Talkies වැනි චිත්‍රපට ඔහු අතින් අධ්‍යක්ෂණය විය.