වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




රශි ප්‍රභා - රශි පබා පටලැවිල්ල ලිහාගමු

රශි ප්‍රභා - රශි පබා පටලැවිල්ල ලිහාගමු

මගේ සහකරුවා ක්ෂේත්‍රයේ නොවේ නම් හොඳයි

ජනප්‍රිය නිළි රශ්මිණි පබෝධා සංදීපනී කලක් තම නම කෙටි කොට රශි පබා සංදීපනී ලෙස භාවිත කළාය. අද ද ඇයව එනමින් හඳුන්වන අය ද බොහෝය. වර්තමානය වන විට එම නමට ඉතා සමාන නමක් ඇති තවත් නිළියක සිටින්නීය. ඇය රශි ප්‍රභා සංදීපනීය. මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයකටම සිය රංගන දායකත්වය සපයන රශි ප්‍රභා හා රශි පබාගේ නම් පටලැවිල්ල ගැටළුවකි. රශි ප්‍රභාව සරසවියට කැඳවා එම තැනින්ම මෙසේ අප කතාව ආරම්භ කළෝය.

ගොඩක් අය හිතාගෙන ඉන්නවා මම පබෝධා අක්කිගේ නෑදෑයො කියලා. එහෙම නැහැ. මගේ නමයි ඇයගේ නමයි ළඟ ළඟ කියවෙන්නේ. නමුත් අපි නෑදෑයෝ නෙවෙයි.

* ඔබව සහ ඇයව අනිත් අයට අනන්තවත් පැටලිලා ඇති?

මොකද නැත්තේ, එක දවසක් ටී. වී චැනල් එකකින් කතා කරලා කියනවා ඊළග සතියේ ප්‍රෝග්‍රෑම් එකට බබාවත් අරගෙන එන්න පුළුවන් ද කියලා. මට බබාලා ඉන්නවා තියා මා කසාද බැඳලවත් නැහැනේ. මං හොල්මන් වුණා. පස්සෙයි කල්පනා වුණේ පබෝධා අක්ක කියලා හිතාගෙන මට ගන්න ඇත්තේ කියලා. ෂූටිංවලට ගෙනි යන්න වාහන එන විට අපේ ගෙවල් ගාවට ඇවිත් පාර අහලා තියෙන්නේ ගීතා කාන්තිගේ දුව ඉන්නේ කොහෙද කියලා. ඉතින් මගේ ගමේ අය කල්පනා කරලා කියනවලු එයා ඉන්නේ මෙහෙ නෙවෙයි කියලා. වෑන්වල එන රියදුරු මහත්වරුන්ටත් අප්සට් යන්න ඇති මුලදි. දැන් ඒ තත්ත්වය නැහැ.

* මට මතකයි ඔබ කලක් ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවක විදිහට කටයුතු කළා?

ඔව්. ටිකිරි පැය, සමනළ උයන, ළමා පුවත්, දේදුනු හැන්දෑව ආදී ළමා වැඩසටහන් රාශියක් මං මෙහෙයවූවා.

* ඔය අතරතුරදි ඔබට රඟපාන්න ඇරැයුම් ලැබෙනවා?

ඒක හරිම අහඹු සිද්ධියක්. එහෙම කියනවාටත් වඩා අනුන්ගේ අවස්ථාවක් මට ලැබීමක් ලෙස හැඳින්නුවාට වරදක් නැහැ.

* ඒ කිව්වේ වෙන කෙනෙකුගේ අවස්ථාවකට ද ඔබ ගියේ?

හරියටම හරි. මං ඉදිරිපත් කරපු වැඩ සටහනක නිෂ්පාදකවරිය වන චංචලා බුලත්වත්තට වැහිලිහිණි නාට්‍යයේ චරිතයකට ඇරැයුම් ලැබ තිබුණා. ඇයට ඊට යන්න නොහැකි වෙලා තියෙන වැඩත් එක්ක. චංචලා අක්කට මාව මතක් වෙලා. ඇය මාව යෝජනා කරලා. ඉතින් හෙට ෂූටිං නම් අද තමයි කතා කළේ. ලොකේෂන් එකට යනකම් මං කලු ද සුදු ද කියලාවත් එයාලා දැනගෙන ඉඳලා නැහැ.

* මොකක්ද ඔබ හා හා පුරා කියලා රඟපෑ චරිතය?

චංචලා අක්කට කතා කරලා තිබුණු චරිතයමයි මට ලැබුණේ. නම ජෙනීටා. ගමේ කෙනෙක් එක්ක යාළු වන දඟකාර බටහිර කෙනෙක්.

* මතකද කියපු පළමු දෙබස?

මොකද නැත්තේ. 'හායි සිසි' කියන වචන දෙක බොහොම හයියෙන් කියන්න තිබුණේ, මං ඉතින් පුළුවන් උපරිමයෙන් කළා.

* ඊට පසුව ඔබ රඟපෑ නාට්‍ය මොනවද තියෙන්නේ?

හිරු තනි වෙලා, මල්මී, නිර්මායා, මිණිමහිම, අත්තම්මා සහ රෑන.

* ඒ අතරින් ඔබව වැඩිපුරම ජනප්‍රිය කළේ?

අත්තම්මා නාට්‍යයේ පූර්ණිමා සහ රෑන ලිහිණි ජනප්‍රියත්වය වැඩි කළා කිව්වොත් වැරැදි නැහැ.

* ඔබ ක්ෂේත්‍රයට ඇවිත් වසර ගණනාවක් වෙනවා. නමුත් ඔබ අලුත් පරපුරේ සමහර නිළියන් තරම් ඔබව පෙනෙන්නට නැහැ?

මං ලැබෙන හැම චරිතයකටම හා කියන්නේ නැහැ. තෝරා බේරාගෙන රඟපාමින් බොහොම හිමින් ගමනක් තමයි යන්නේ. ඒකයි එහෙම වෙන්න ඇත්තේ.

* හිමින් ගමනක් යනකොට ජනප්‍රිය වෙන්නෙත් හිමින් නේද?

මගේ ගමනේ අරමුණ ජනප්‍රිය වීම නෙවෙයි. හොඳ නිර්මාණවලට දායකවීම පමණයි.

* ඔබ වැඩිපුර ජනප්‍රිය වෙන්න ආස නැත්තේ ජනප්‍රියත්වය කරදරයක් නිසාද?

නැහැ. කොහෙත්ම නැහැ. ජනප්‍රියත්වය මට ආශිර්වාදයක්.

* රශි ප්‍රභාට පෙම්වතෙකු ඉන්නවද?

තවම මං තනිකඩයි.

* ඇයි ජීවිතයට විශේෂ කෙනෙක් ළං කර නොගත්තේ?

මට හරි යන කෙනා මට හමු වුණේ නැහැ මේ වෙනකම්. කොතරම් කලක් ගියත් ඔහුවම හමුවෙනකම් ඉන්නවා.

* නළුවකු විවාහ යෝජනාවක් ගෙනාවොත් හා කියනවද?

එහෙම යෝජනාවක් තවම ඇවිත් නැහැ. යෝජනාවක් ලැබුණොත් මං තරයේ එය ප්‍රතික්ෂේප කරාවි.

* ඇයි ඒ? ක්ෂේත්‍රයේ අයව විශ්වාස කරන්න බැරිද?

එතන තියෙන්නේ විශ්වාසය ගැන ගැටළුවක් නෙවෙයි. මං හිතන්නේ මගේ සහකරුවා ක්ෂේත්‍රයේ කෙනෙක් නොවුණා නම් හොඳයි කියලා.

* රශි ප්‍රභාගේ පෞද්ගලික විස්තර කියමු?

මගේ ගම මොරටුව. මොරටුව මහ විද්‍යාලයෙන් සහ පානදුර බාලිකාවෙන් ඉගෙන ගත්තා. පවුලේ අය ගැන කිව්වොත් මමයි මල්ලියි, අම්මයි. තාත්තයි. මගේ උපන් දිනය 1994. 12. 27.

* රෑන රඟපාන කොට ත්‍රීවිල් එකක් පදවාගෙන ගිහින් එහි නිෂ්පාදන කණ්ඩායම යට කරන්න හැදුවා කියන්නේ ඇත්තද?

ඒක මං හිතලා කරපු දෙයක් නෙවෙයි. එක්තරා දර්ශනයකදී මං ත්‍රීවිල් එක එලවගෙන ආවා. සරත් කරුණාරත්නයි සුභාෂිනියි පිටුපස වාඩි වෙලා හිටියේ. මගේ අතින් වැරැදිලා හයියෙන් රේස් වුණා. සරත් අයියා දඩබඩගාලා ඉදිරියට ඇවිත් ෙබ්‍රික් කරලා ත්‍රීවිල් එක නැවැත්තුවා. එතකොට එය තිබුණේ කැමරාවට ඔන්න මෙන්න.

* රශීට උදව් කරපු අය ගැන අවසන් කොට කියමු?

ගංගා පරණවිතාන මැඩම්, චංචලා බුලත්වත්ත අක්කා සහ මගේ පවුලේ අයට බෙහෙවින් තුති පුදන්න ඕනෑ.