වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




මරුවා සමඟ වාහේ?

මරුවා සමඟ වාහේ?

ටයිටස් තොටවත්තයන්ගේ 'මරුවා සමඟ වාසේ' චිත්‍රපටය රූගත කළේ අනුරාධපුරේ කැලෑ ප්‍රදේශයකය.

එහි ප්‍රධාන නළුවා වූයේ විජය කුමාරතුංගයන්ය.

පළමු දර්ශනය ගැනීමට නියමව තිබුණේ උදේ 8 ටය.

දැවැන්ත නුග ගසක් යට කෙල්ලන් කීප දෙනෙක් හැංගිමුත්තමේ යෙදේ. හදිසියේම මරු සිරා නොහොත් සිරිපාල ගසේ අතු අතර සැඟවී සිට කොලු කෙල්ලන් මැදට පනී. පොඩි එවුන් සී සී කඩ දුවති. සිරාගේ අතේ 'අම්මා බුදු වේවා' යි වචන පච්ච කොට ඇත.

දර්ශනයේ පුහුණු කිරීම් ඇරඹේ.

ළමයින් මැදට පැන්න සිරිපාලගේ පපුවේ ලියා ඇති මරුවා සමඟ වාසේ යන පච්චය රූගත වේ.

'කට් කට්' යයි ටයි මහත්තයාගේ කටහඬ ඇසිණ. දෙයියනේ පිටේ කොටා තිබුණු පච්චයේ සඳහන් වූයේ 'මරුවා සමඟ වාහේ' යන්නයි. පච්චයේ තිබිය යුත්තේ 'මරුවා සමඟ වාසේ' යන්නයි.

'වාහේ මෙහාට එනවා' ටයි මහත්තයා පසෙක සිටි කලා අධ්‍යක්ෂවරයාට කතා කළේය. ඔහු දුවගෙන ආවේය.

'ඇයි ටයි මහත්තයා' ඔහු විමසීය.

'ඇයි නෙවේ යකෝ නයි' යි කී ටයි මහත්තයා 'මරුවා සමඟ වාහේ' පච්චය පෙන්වීය.

'යමක් කරන කොට බලන්නේ නැද්ද - වාසේ වාහේ වෙලා. මේක ලියන කොට කියවලා බැලුවේ නැද්ද' යි ටයි මහත්තයා ඇසීය.

'ටයි මහත්තයා අපූරු අමුතු සිංහල වචන තියෙනවානේ. මං හිතුවා ඒකත් ටයි මහත්තයාගේ වචනයක් කියලා. මේ තියෙන්නේ ඇසිස්ටන්ට් මට ලියල දුන්නු කොලේ කී කලා අධ්‍යක්ෂවරයා කොළය පෙන්වීය.

'මරුවා සමඟ වාහේ' යි එහි සඳහන් විය.

'කෝ ඇසිස්ටන්ට් වාහේ' යි ටයි මහතා හඬ තැලීය.

'ලොකේෂන් එකක් බලන්න ගිහිල්ල ටයි මහත්තයා' කලා අධ්‍යක්ෂ කීය.

'මේ වාහේට වැඩක් භාර දුන්නොත් ඒ වැඩේ හබක්. ඔන්න ඔය වාහේ මකල වාසේ' කියල හදනවා.

'මේ වාහෙලත් එක්ක වැඩ කරන එක අතුරෙ යනව වගේ' කී ටයි මහත්තයා තම කලිසම් සාක්කුවේ වූ බ්‍රැන්ඩි කාලේ බෝතලෙන් උගුරක් කටට හලා ගත්තේය.

වාහේ, වාසේ කරන කල් රූගත කිරීම් පැයක් ප්‍රමාද විය.