වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකාවට කීර්තියක් ගෙන එන්නැයි මට ඕනෑ

ලංකාවට කීර්තියක් ගෙන එන්නැයි මට ඕනෑ

මිසිස් ඒෂියා අබිසෙස් ලැබූ ශි‍්‍රමාලි ෆොන්සේකා

ශ්‍රීමාලි ෆොන්සේකාව වඩාත් ප්‍රකට රූ රැජනක් ලෙසටය. 2012 වසරේ ඒෂියා තරගාවලියේ රූ රැජන ලෙසින් අභිසෙස් ලැබුවේ ඇයයි. ඉකුත් දිනයකදී ශි‍්‍රමාලි ඒ අන්දමේ කීර්තියක් මෙරටට ගෙන එන ලදී.

* ශ්‍රීමාලි, ඒ ගැන පවසන්න සුදුසු වෙලාව තමයි මේ.

මේකත් රූ රැජන තරගයක්. මිසිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් තමයි ඒ එහි නම ලෝක විවාහක රූ රැජන. අවුරුදු හයකට පසුවයි මං මෙලෙස රූ රැජන තරගාවලියකට යන්නෙ. කියන්නත් සතුටුයි මං එය වින් කළා.

* සරසවිය අපිත් ඔබට සුබපැතුම් ගෙන එනවා.

බොහොම ස්තූතියි අයියෙ.

* මේ තරගාවලිය කොහෙද පැවැත් වුණේ?

තරගකරුවන් කී දෙනක් ඊට සහභාගි වෙලා හිටියද?

අමරිකාවේ ෆ්ලොරිඩා නුවර තමයි එය පැවැත්වුණේ. ලෝකයේ රටවල් තිහකින් තරගකරුවන් තිස්දෙනෙකු මෙයට සහභාගි වෙලා හිටියා.

* දිනන්න ලෙහෙසි වෙලා නැහැ?

ඔව්. අපිට වැඩිය බොහෝ පහසුකම් ඇති රටවල්වලින් තරගකරුවන් හිටියා. තරගකාරීත්වයක් වැඩියි. මොන දේ වුණත් ජයග්‍රහකයා හැටියට මගෙ නම කියද්දි ඒ අයගේ පවුල්වල උදවිය පවා මට ඔල්වරසන් දුන්නා.

* ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබලත්, ඒ ගැන වැඩි ප්‍රචාරණ අනුග්‍රහයක් ඔබට ලැබුණේ නැහැ නේද?

ඒකට මං මෙහෙම පිළිතුරක් දෙන්නම්. මෝටර් රථ ධාවක ඩිලංක මාලගමුව අයියා ඉන්නෙ. ඔහුටවත් නිසි ප්‍රචාරයක්, ඇගයීමක් නැතුව මට එහෙම ලැබෙයිද? අපි පිටරටවල ගිහින් තරගවලට සහභාගි වෙද්දී රට තමයි ඉදිරියට යන්නෙ. එහෙ ඇතැම්දෙනා මාව නමින් දන්නෙ නැති වුණාට රටේ නමින් දන්නවා. අපේ අයගෙන් තමයි සැලකිල්ල මදි.

* මේ වගේ තරගාවලියකදි නාන ඇඳුම් අඳින්න වෙනවා. ඒක සාමාන්‍යයි නේද? ඔබට ඉන් යම් හානියක් වෙලා නැතිද?

රූ රැජන තරගාවලියකට යන්වා නම් එම ඇඳුම් ඇඳිය යුතුයි. නැතිනම් එයින් ඉවත් කරනවා. අපි එම ඇඳුම් ඇන්දට ඒ දිහා බොහොම වැරදියට බලන අයත් ඉන්නවා. ඒ අයගෙ ආකල්පවල තමයි වැරැද්ද. එක එක අය එක එක දේවල් කියනවා ඇති. මට ඒවායින් වැඩක් නැහැ.

* රංගන ශිල්පියෙක් විදිහට ඔබ දායකත්වය සැපයූ නිර්මාණ ගැන සඳහනක් කළොත්?

මගෙ පළමු ටෙලිනාට්‍ය නලීන් මාපිටියගෙ ඉස්සරහට යන්න. ඊට පසුව ඒ 330, මොනර කඩදාසි, ටී 20 මේස මේ දිනවල දෙරණ නාලිකාවෙන් කරන සක්විති රාවණ මාලා නාටකයේ ෂූටිං වලට සහභාගි වෙනවා. මම එහි කේතුමතී. එකම එක චිත්‍රපටයකයි මට රඟපාන්න ලැබුණේ. ඒක රශ්.

* කලා ලොවේ කටයුතු කරද්දී නිරන්තරයෙන් කැපිලි එනවා. ඔබටත් ඒක පොදුයි.

අපොයි ඔව්. කොතරම් නම් කැපිලි එනවද. මං ඕවට සැලෙන්නෙ නැහැ. මගෙ ගමන මං යනවා.

* ලංකාවේ නොඉපිද බොලිවුඩයේ වගේ ඉපදුනා නම් ශ්‍රීමාලි මීට වඩා තැනක ඉන්න තිබුණා කියලා හිතෙන්නෙ නැතිද?

ඇත්තම කිව්වොත් ලංකාවෙ ඉපදුණ එක ගැන මං බෙහෙවින් සතුටු වෙනවා. හැබැයි මේ රටේ මිනිස්සුත් ආකල්ප හරි වෙනස්. එහෙම නොවී තිබුණා නම් හොඳයි. බොලිවුඩ් කියන්නෙ බොහොමක්ම අවස්ථාවන් තිබෙන තැනක්. ලංකාව වගේ නෙවෙයිනෙ. එහෙ හිටියා නම් මං මීට වඩා ජනපි‍්‍රය වෙන්න තිබුණා.

* අඩ නිරුවත් දර්ශන තිබෙන චිත්‍රපටයකට කතා කළොත් ඔබ යනවාද?

නැහැ. ඒක මගෙ ප්‍රතිපත්තියක්

* ඔබගෙ ලස්සන වැඩිපුරම අගය කරන්නෙ කවුද?

මගෙ දුව තමයි. එයාට දැන් වයස අවුරුදු දහ තුනක්.

* මහත්තයා වැඩිය පේනන නැත්තෙ ඇයි?

ඔහු විදෙස් ගත වෙලා ඉන්නෙ. ඒකයි දකින්නට නැත්තෙ.

* ශ්‍රීමාලි ෆොන්සේකා කියන්නෙ මොනවගේ කෙනෙක්ද?

ලංකාවට කීර්තියක් ගෙන එන්නට නිරන්තරයෙන් උත්සාහ කරන කෙනෙක් කිව්වොත් නිවැරදියි.