වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් හැඟුම් දී සැණකෙළිය

අලුත් හැඟුම් දී සැණකෙළිය

සිනමාපටයකින් ප්‍රේක්ෂකයන් බලා පොරොත්තු වනුයේ වින්දනය හා විමෝදයයි. අර්ථවත් මෙන්ම යථාර්තවාදී චිත්‍රපටවලට, සාමාන්‍ය ප්‍රේක්ෂක සංඛ්‍යාවක් හුරු වුනද, ලෝකයේ වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් ප්‍රිය කරන්නෙ අර ඉහත කී වින්දනීය හා විනෝදාත්මක සිනමාවටය. හර්බට් රංජිත් පීරීස් බොහෝ අංශවලින් අතීශයෙන්ම දක්ෂතා පිළිඹිබු කල සුවිශේෂිත නිර්මාණ කරුවෙකි. ඔහුවිසින් සරසවිය පුවත්පත උදෙසා චිත්‍රකථාකරණය කරවූ, අපූරු නිර්මාණයක් සිනමාපටයකට, නැගුනේ ඒ චිත්‍රකථාව,අතීශය ජනප්‍රියත්වයට පත්වූ නිසාය.

ප්‍රියන්ත,තරංගනී,රෝහිත,ඉරෝමි, හැත්තෑදශකයේ යෞවන යෞවනියන්ගේ සිහින කුමර කුමරියන් වූයේ චිත්‍රකථාව තුලිනි. යාන්තමින් තාරුණ්‍යයට පා තබන්නට සැරසෙන හිරිමල් යෞවන යෞවනියන්ගේ , විසේකාර,ප්‍රේමය ඒ අයුරින්ම චිත්‍රකථාව තුලින් ඉදිරිපත් කරන්නට හර්බට් රංජිත් පීරිස් සමත් විය. හැත්තෑදශකයේ නවීන ඇදුම්,කොන්ඩා මෝස්තර කැමති තාරුණ්‍යව පිස්සු වැට්ටීමට හැකි මේ වෘත්තාන්තය "සැණකෙළිය"(ඊඩඥ ඛ්චපදඪමචත) නම් විය.

මෙම චිත්‍රකථාව ලද ජනප්‍රියත්වය හේතුවෙන් සෑම් පෙරේරා මෙය චිත්‍රපටයකට නැංවීමට අදහස් කෙරීය. එය අධ්‍යක්ෂනය කිරීමට හර්බට් රංජිත්ටම බාර දීමට ඔහු තීරණය කලේය. හර්බට් එහී තිරනාටකය ලිවීය. 1950 දශකයේ අවසන් භාගයේ සිනමාවට එකතු වූ ගාමිණි ෆොන්සේකා වැනි දේහධාරියෙක්,1970 දශකයේ මැදභාගයේ නිපදවන යොවුන් කථාවක ⁣හිරිමල් යව්වනයෙකු ලෙස රගපෑමට තෝරාගැන්ම, ගැන අපේක්ෂා බංග වූ ප්‍රේක්ෂකයන් හර්බට් රංජිත් පීරිස්ට මංඥ්ඥං යයි සිතාගත්හ.

රෝහිත⁣ වැනි කෙලිලොල් තාරුණ්‍යයට එවකට අතීශයින්ම ජනප්‍රිය වූ කඩවසම් නළු විජය කුමාරණතුංග ද, ඉරෝමි වැනි නවීන පන්නයේ යව්වනියකට, ෆරිනා ලායිව තෝරා ගෙන, චිත්‍රපටය සමතුලිත කරන්නට හර්බට් උත්සහගති.

තරංගනී ධනවත් පව්ලක එකම දියණියයි. ඇය රූමත්ය, හැඩකාර⁣ය, මෝස්තරකාරය,කිසිදු දෙයකින් ඇයට අඩුවක් නැත. ඇය එහි බතික් ඇදුම් වෙළද කුටියක් කරනුයේ මුදල් උපයන්නට නොව, සම්පූර්න "ආතල්" එකටය. ප්‍රියන්ත තම රැකියාව කරන ආයතනේ වෙළද කුටිය භාරව සිටින මධ්‍යම පන්තියේ තරුණයෙකි. ප්‍රියන්ත,තරංගනී, රෝහිත ගේ සම්බන්ධතා පටන්ගන්නෙ මෙතැන් සිටය. සැණකෙළිය මුල් කරගෙනය. එහෙත් ප්‍රියන්ත හා ඉරෝමිගෙ සම්බන්ධය ඇතිවෙන්නෙ සැණකෙළියෙන් පිටතය. කොටින්ම ඉරෝමි සැණකෙළියක් තිබෙන බවක්වත් දන්නේ නැත.

පෑනක් මුල්කරගෙන සිදුවූ කාලගෝට්ටියකිනි ප්‍රියන්ත හා තරංගනී හරියටම මුණ ගැසෙනුයේ. චිත්‍රපටයේ මුල් හරියේ සිදුවන මෙම සිදුවීම, හර්බට් රංජිත්, ඉමහත් කුතුහලය දනවන ලෙස විශිෂ්ඨව ඉදිරිපත් කර තිබුනි. හර්බට් රංජිත් එම ගැම්මෙන්ම චිත්‍රපටය කරගෙන ගියා නම්,"සැණකෙළිය"

විනෝදාත්මක මෙන්ම විශිෂ්ඨ චිත්‍රපටයක්ද වීමට ඉඩ තිබුනි. එහෙත් කුමක් හෝ හේතුවක් මත චිත්‍රපටයෙන් කාලක් පමණ කෙරු හර්බට් රංජිත් පීරිස් එය විමලදාස පෙරේරාට භාරදී චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් ඉවත්විය.

චිත්‍රපටය පටන් ගැනෙනුයේ , රෝහිත ඇතුලු ඔහුගේ යහලුවන් පිරිස,හුඩ් එක ඇරුණු ජීප් රථයකින් ගීතයක් ගයමින් යන දර්ශනයකිනි.

"පිපුණු මලකි ජීවිතේ,සුවද ඉතිරී යතේ,දවස යයි පරවීලා

හෙටද නොදුටු සිහිනෙකි, සතුට රන් පහනකි,නීවී යන දැල් වීලා"

මිල්ටන් මල්ලවආරච්චි සමග සී.ඩී.ෆොන්සේකා එක්ව ගැයු මෙම ගීතමය ජවනිකාවේ,රෝහිත සහ ඔහුගේ යහළු කැලට, පණ දුන්නේ විජය කුමාරණතුංග ,විමල් කුමාරද කොස්තා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ,යූ.ආරියවිමල් ඇතුලු කීප දෙනෙකි. එම ආරම්භයෙන්ම, චිත්‍රපටයට හොද සවිමත් ගැම්මක් ලබා දෙන්නට, හර්බට් රංජිත් ට හැකිවිය. ඉන් පසු ප්‍රියන්ත,තරංගනී,සම්පත්හා තරංගනීගේ රියැදුරු ඇතුලු පිරිස හැප්පුනු, නැතිවුනු පෑනේ සිද්ධියෙන් චිත්‍රපටයේ අර සවිමත් ගැම්ම තව තවත් ස්ථාවර කළේය. ගාමිණී ෆොන්සේකා ,මාලනි ෆොන්සේකා, ශ්‍රියාණි පෙරේරා, නවනන්දන විජේසිංහ,ගාමිණී ගනේගොඩ, එම ජවනිකාවට ලබා දුන්නේ එසේ මෙසේ තල්ලුවක් නොව. චිත්‍රපටයේ, උච්චතම ජවනිකාව වූයේද එයයි.

එලෙසම ප්‍රියන්තගේ නිවස තුල සතියේ දිනයක, උදයක සිදුවන සිදුවීම් තුල ඇති කරන හාස්‍යමය චමත්කාර දර්ශනය නම් අතීශයම විශිෂ්ඨය. පියා වැඩට යන්නට ලෑස්ති වන විට, තමාගේ රැවුල කපන රේසරයේ බ්ලේඩ් එක මොට්ට වී ඇත්තේ, තම පුතු ප්‍රියන්තත් එයින් රැවුල කපා ඇතිබව කියන දෝෂාරෝපනයත්, එයට, ප්‍රියන්තගේ මව, තම සැමියාට ඔලොක්කුවට මෙන් දොස් පවරනුයේ, "ඔය හොම්බෙ උලපුවාම බ්ලේඩ් නෙමෙයි මන්නත් මොට්ට වෙන බව "කියමිනි. එලෙසම පියා, ප්‍රියන්ත රැකියාවට යෑමට ලක ලෑස්තිවීමත්, ප්‍රියන්තගේ,නංගී හා මල්ලී පාසැල් යාමට දගලන දැගලිල්ලත්,හර්බට් රංජිත් විසින් ඩේවිඩ් ධර්මකීර්ති,ගාමිණී ෆොන්සේකා, ජෙිසිකා වික්‍රමසිංහ,දේවිකා කරුණාරත්න යොදවා, හරි අපූරුවට නිර්මාණය කර තිබුනි . ප්‍රියන්ත හා සම්පත්,තරංගනීගේ උපන්දින උත්සවයට යෑමට පෙර නංගිගේ සුවද විලවුන් බෝතලයෙන් ටිකක් ඉල්ලා ගැනීම, තරංගනීගේ පාටියට ඇතුල්වන විට, මධ්‍යම පාන්තිකයන්ට,ධනපතියන්ගේ වාසස්ථානය තුල ඇතිවන සබකෝලය, එලෙසම ප්‍රියන්ත, තරංගනී ගැන මහ මෙරක් තරමට සිතා සිටියද ,එම සම්භාෂනයේදී මුල සිටම ප්‍රියන්තට දක්වන අඩු සැලකිල්ලත්,එහීදී ප්‍රියන්තව තරංගනී විසින් සිගරට් ගෙන ඒම සදහා කඩේ අරින්නේ,මෙතැන සිටින වැදගත් අයට කියා එසේ කිරීමට බැරි බවද කියමිනි.

"රණ මොණරාගෙන් මොණරිය ඉල්ලන්නේ

වන බඹරාගෙන් බඹරිය අයදින්නේ

සමනලයාගෙන් සමනලී විමසන්නේ

ආදරේ .....ආදරේ"

ධනවත් ගෙදරක උපන් දින සාදයක්, ආකර්ශනීය ලෙස පවත්වන්නට හර්බට් රංජිත් සමත් වූයේ මිනෝන් රත්නම්,යොදවා ඉහත ගීතය ගයමින් ඇය ලවාම රැගුමක් ඉදිරිපත් කරමිනි. එම නැටුමට අත්වැලක් වූ මාලනී ෆොන්සේකා,ඩන්කන් ක්ලයිඩ්, හා පසුව එකතුවන විජය කුමාරණතුංග සහ ඔහුගේ සගයින් ලවා,සාදය විචිත්‍රවත් කිරීමට, හර්බට් රංජිත් අතී සාර්ථක උත්සහයක් ගෙන තිබුනි.

"සැණකෙළිය " චිත්‍රපටය තුල නිශ්චිත වූ කථාවක් තිබුනේ නැත. ධනවත් පන්තියක තරුණියක් වටේ පීචං වී යන, මාධ්‍යම පාන්තීක තරුණයෙක්, වටා හැදුනු සිදුවීම් කීපයයකුත්, එම තරුණයාම තම පන්තියට සරිලන ,කිරිහලක රැකියාවක් කරන බර්ගර් තරුණියෙකු වූ ඉරෝමි සමගද හාද වී ඇය සමග ඇතිවන සිදුවීම් කීපයක්ද, තැනක්,නොතැනක්,ඉවක් බවක් නැතිව,කාමරයක ලැගුම් ගෙන සිටින,විටෙක කාමරය තුලද, තවත් විටෙක ජීප් රථය තුලද, නොඑසේනම්, සැණකෙළි භූමිය තුලද, එසේත් නැත්නම් ක්ලබ් එකක හෝ බාර් එකක දිවි ගෙවන, රෝහිත ඇතුලු ඔහුගේ කැල, නිතරම ප්‍රියන්ත සමග "කොකු"දමන සිදුවීම් ද එකතුවකි, සැණකෙළිය ලෙස ගෙන හැර පෑවේ. ඒ අතරට ප්‍රියන්තගේ දෙමාපියන්, හා ඔහුගේ එකම මිත්‍රසගයා, සම්පත්ද, ඉරෝමිගේ දෙමාපියන් ඇතුලු ඇයගේ කිරිහලේ ඇය හා සමව වැඩ කරන ඇයගේ යෙහෙළිය මැණික්ද, තරංගනීගේ පියා ඇතුළු ඇයගේ යෙහෙළියන් හා ඇයගේ රියදුරුද, "සැණකෙළිය" තුළ සිදුවීම් සමූහයක් ඉදිරිපත් කිරීමට දායක විය.

ප්‍රියන්තගේ ප්‍රේමාධරයන් පැති දෙකකින් පෙන්වීමට අධ්‍යක්ෂක වරයන් දෙපල උත්සහා ගෙන තිබුනි. ප්‍රියන්තගේ හා තරංගනී ගේ ආදරයේ චමත්කාරය මිල්ටන් මල්ලවආරච්චි ලවා

"රැයක් උපද්දා, හිරු ඈත්ව යන්නා

අලුත් හැගුම් දී, හෙට ආයේ මැකෙන්නා"

ලෙස ගැයවූ අතර ප්‍රියන්ත,හා ඉරෝමිගේ ආදරය

ඉන්ද්‍රනි පෙරේරා හා මිල්ටන් මල්ලවආරච්චි තුලින්

"සමනල රෑනක් සේ, අනන්ත හැගුම් මැවේ,

කෙසේදෝ කියන්නෙ

මගෙ දිව දෙතොල් අතර සැඟේ" ලෙස මවා පෑය.

ඉ⁣රෝමිගේ චරිතය තුලින් ශ්‍රීලංකාවේ ජීවත්වන බර්ගර් ජාතික මධ්‍යම පවුල් සංස්ථාවේ ජීවන රටාවන් කදිමට පෙන්වා දී තිබුනි.

ශාන්ති ලේඛා මධ්‍යම බර්ගර් පවුලක ගෘහනියක් ලෙස තම චරිතය තුල විශිෂ්ඨ ලෙස ජීවත් වී තිබුනි

"බෙබි ලුක් කෝනර් බුටික් ලෑලි ඕපන්?"

එළවලු මල්ලකුත් ගෙන කොට ගවුමකුත් ඇද ඉංග්‍රීසි සිංහල සමිශ්‍ර භාෂාවෙන් උස්හඩින් කථා කරමින් ,නිවසට පැමිණ, ඇදසිටි ගවුමෙන් යටි පැත්තන් ඇග ඇතුලට ගිය රස්නෙට පවන් සලමින්, කල රගපෑම නම් අදත් ප්‍රේක්ෂකයාට මතක තිබේ. එයට සමගාමිව, ඇයගේ බර්ගර් සැමියා, වෙරි මර ගාතේ තවත් බෝතලයක් කිහිලි ගසාගෙන, නිවසට එන දර්ශනයත්, එහිදි ප්‍රියන්තව දැක මත්පැන් බීමට කරන ආරාධනාවත් , සුවිශේෂිත ලෙස එඩ්මන් විජේසිංහ විසින් රගපෑවේය.

විටෙන ගිනියම් වෙන,තවත් විටෙක සිසිල් වෙන, විටෙක කෙළිලොල්වූ, තවත් විටෙක, තැන්පත්වූ එවන් ලක්ෂණ රාශියකින් සපිරූ, නවීන මෝස්තරයන්ට ඇදුම් හා කොන්ඩ සැකසුම් කරමින් සුපිරි ජීවිතයක් ගත කරන තරංගනී ගේ චරිතයට මාලනී ෆොන්සේකා ඇතුලු වූයේ කිසිදු අපහසුවකින් තොරය.

සැහැල්ලුවෙන් ජීවත් වන ප්‍රියන්තගේ දෙවනි පෙම්වතිය වූ බර්ගර්ජාතික ඉරෝමි වූ ෆරිනා, එය කදිමට පණ පෙවිය. එතෙක් නැටුමට පමණක් සීමාවී සිටි ෆරීනා විශිෂ්ට නිළියකවීමේ ලකුණු පළ කළ මෙමඟින්ය.

⁣ඛේදවාචකයකින් අවසන් වන "සැණකෙළිය" චිත්‍රපටය තුලින් එක්වර දෙදෙනෙකුට පෙම් කිරීම, ජීවිතය සැහැල්ලුවට ගැනීම, හා තමන්ට නියමිත පන්තියට වඩා ඉහල පන්තියක් තුලට යෑමේ ආදිනත්වය මොනවට කියා පාන්නට විය.

සිගරට් බීම, හා මත් පැන් බීමේ දර්ශන දැඩිව අඩංගු මෙහි, ලංකා දුම්කොල සමාගමේ ප්‍රචාරක චිත්‍රපටයක්ද කියා විටෙක සිතේ.ගාමිණි,නවනන්දන,විජය, ඇලෙක්ස්, කොස්තා, ජී.බී.එල්, අතර නිතරම සිගරට්ටුව නම් ගැවසුනි.

එම් ඒ හේමපාලගේ කැමරාවෙනුත්, සුමිත්‍රා පීරිස්ගේ සංස්කරණ අධික්ෂනයෙනුත්, පැට්‍රික් දෙනිපිටියගේ සංගීතයෙනුත්, කරුණාරත්න අබේසේකර, කේ.ඩී.කේ. ධර්මරත්න, ප්‍රේමකීර්තිද අල්විස්ගේ, ගී පද රචනයෙනුත්, ඉහත දැක්වූ ප්‍රධාන නළුනිලියන්ට අමතරව, නවනන්දන විජේසිංහ,ශ්‍රියානි පෙරේරා,ජී.බී.එල් ගුණසේකර, මැණික් කුරුකුලසූරිය, මාජි මන්ත්‍රිනායක, හා පර්සි ප්‍රනාන්දු ගේ සෙසු රංගනයෙනුත් "සැණකෙළිය" විචිත්‍රවත් විය.

චිත්‍රකථාවෙන් මැවූ යොවුන් තරුණ තරුණියන් දෙදෙනාට, නවක නළුනිලියන් නොයොදවා, එයට ගාමිණි ෆොන්සේකා, මාලනී ෆොන්සේකාව යෙදවීම මොනතරම් නිවැරදි තේරීමක්දැයි සිතෙන්නේ "සැණකෙළිය" චිත්‍රපටය නැරඹු පසුවය.

ශෝන් මැක්ස්මස් දිසානායක

(ලබන සතියේ තවත් චිත්‍රපටයක්)