වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




උඹ දවසක අමාරුවේ වැටෙයි කියලා මට බයයි’

උඹ දවසක අමාරුවේ වැටෙයි කියලා මට බයයි’

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි. බිනරිගේ පැරැණි මිතුරෙකු වූ දර්ශන චිත්‍රපටයක් නිපදවීම ඩික්සන් පොලොඹවා ගැනීමට උත්සහා කරයි. එහි දුෂ්ටයා වනුයේ ඩික්සන්ය. නිෂ්පාදිකාව බිනරි. චිත්‍රපටය නිපදවා මුදල් හිඟවන බිනරිට උපකාර කරන්නේ විනෝද්ය.

අද එතැන් සිට...

‍මොකද අනේ මේ හොඳට තිබුණ ටයිල් අලුතින් දාලා

බිනරි ඇසුවේ ඩික්සන් ගෙනි.ඇය කාමරයේ ඒ මේ අත ඇවිදමින් යමිනි.විනෝද් පසෙකට වී එදෙස බලා සිටියේය.විනෝද් තම නිදන කාමරයේ කුමක් කරන්නේදැයි බිනරි ඇසුවේ නැත.බිනරි උදෑසන ගියේ අම්මා දකින්නටය.මාමා ළඟ අම්මා සතුටින් සිටින්නේ යැයි ඇය ට වැටහිණ.අම්මා ඩික්සන්ට කොහොමටත් කැමති නැත.එබැවින් බිනරි අම්මා බලන්නට ගියේ තනිවමය.මේ ගමනට ඇය පොලඹවාලූයේ විනෝද්ය.දිගු කලකින් අම්මාගේ තොරතුරු නොවිමසීම නිසාම ඇයට මුහුණ දෙනන්නට නොහැකියැයි ඇයගේම සිත දොස් කියන්නට පටන් ගෙන ඇත..

‘සුදු නෝනා විනෝද් මහත්තයා එක්ක යාලු වෙලා හිටියද ?’

කලින් දවසක රාත්‍රියේ ඩික්සන් දෙවෙනි වතාවටත් විමසුවාය.

‘මොකෝ ඩික්සන් එහෙම ඇහැව්වේ.නිකං ඊරිෂියාවක් හැදුණ ද?.ඒ මිනිහා මෙහෙ ඇවිල්ලා කතා කළාම. ඩික්සන් මම විනොද්ව දන්නේ අද ඊයේ නෙවේ.’

බිනරි කියා ගෙන කියා ගෙන ගියාය.කුප්පවූ විට බිනරි ආතක් පාතක් නැති ගැහැනියක් බව ඩික්සන් පසුගිය දවස් වල වටහා ගෙන සිටියි.

‘අනික මම ඩික්සන්ගේ වගතුග අද වෙනකන් හොයලා බැලුවේ නෑනේ.ඔහේ මොන පටලැවිල්ලක හිටියාද කියලා කවුද දන්නේ’

බිනරි බෝම්බයක් අතැරියාක් මෙන් කියා සිටියාය.

ඩික්සන් මොහොතක් නිහඩව සිටියේය.අදුරෙහි ඇස් කියැවිය හැකි නම් ඒ මොහොතේ බොහෝ දේ පෙන්වා දෙනු ඇත.එහෙත් අඳුර ඒ සියල්ල වසා ගෙන සිටියි.ඩික්සන් උන් තැනින් නැගිට්ටේය.බිනරි තවත් කිසිත් නොකිව්වාය.තව ස්වල්පයකින් කාමරයේ දොර ඇරෙන අයුරුත් ඩික්සන් ගෙයි බැල්කනියට යන අයුරුත් බිනරි බලා සිටියාය.බැල්කනියට මහ පාරේ ඇති විදුලි පහනේ ආලෝකය වැටෙයි.බිනරි කිසිත් නොදන්නා මෙන් ඇදේ අනිත් පැත්තට හැරුණාය.

බිනරි තවත් වෙලාවක් බලා සිටියාය.ඩික්සන් කොයිවෙලේ ඇඳට ආවාදැයි නොදන්නා බිනරි නින්දට වන්නාය.ඇය අවදිවූයේ කිසිවකු උයන හඩ ඇසිමෙනි.ඇය නිදි ගැට පිසිමින් කුස්සියට යන විට ඩික්සන් කුස්සියේ වැඩ කරමින සිටියේය.

‘මම බැලුවේ මොකටද සුදු නෝනේ ට කරදර කරන්නේ කියලා’

ඩික්සන් බිනිරි දෙස බැලුව ද ඇය එය ගණනකට නොගොස් කුස්සියේ ලිප දෙස බැලුවාය.ඔහු ඒ වන විටත් තේ කෝප්පයක් සකසා අවසානය.

දෙන්නා දෙමහල්ලන්ගේ ආරවුලක් සිදුවූයේ නැති ගණනාවට ඊළඟ හෝරා ව කටයුතු යෙදි තිබිණ.ඩික්සන් ගෙයින් පිටව ගියේ තවත් වැඩ කටයුතු කරන්නට ඇතැයි පවසමිනි.ඔහු වෙනදාට වඩා ප්‍රබෝධයෙන් සිටින්නේයැයි බිනරි කල්පනා කළාය.අනතුරුව ඔවුන් ඔවුනොවුන්ගේ වගතුග හාර නොඅවුස්සන්ට නිහඩ ව ගිවිස ගත්තා වැනි විය.

ඩික්සන් නිවසට ගිය පසු බිනරි විනෝද්ට කතා කළාය.

‘මම හිතුවා කතා කරයි කියලා’

විනෝද් පැවසුවේය.

‘ඇයි?’

බිනරි ඔහු වෙහෙස වන්නට සිතුවාය.

‘නෑ නිකං

‘නිකං වෙන්ඩ බෑ’

‘අපිට ආයේ හම්බ වෙන්ඩ් බැරිද බිනරි’

විනෝද් ඇසුවේය.බිනරි එයට එක්වරම උත්තරයක් නොකිව්වාය.

‘ඔයාට ඩික්සන් මොනව හරි කිව්වද ?’

විනෝද් ඇසුවේ බිනරි උත්තරයක් නොදුන් තැනය.

‘නැහැ.එයා මගෙන් ඇහුවා ඔයයි මමයි යාළු වෙලා හිටිය ද කියලා’

විනෝද් හඩ නගා හිනාවෙන අයුරු ඇයට ඇසිණ.

‘ඔයාට හිනා’.

බිනරි පැවසුවේ නොමනාපයෙනි.

‘ඇයි මිනිහාට ඊරිෂියාවක් හිතිලද ?’

‘නැහැ.මිනිහාට දැන ගන්ඩ වුවමනා වෙලා ඇති.

‘වෙච්ච අතීතය කාටවත් වැඩක් නෑ.බිනරි.හෙට වෙන දේ ගැන කවුරුවත් දන්නේ නෑ.ඔයාවත් දන්නවද’

විනෝද් ඇසුවේය.

‘ඇයි ඔයා අම්මාව බලන්ඩ ගියේ නැත්තේ’

විනෝද් ඇසුවේ බිනරි නො සිතූ ප්‍රශ්නයකි.

‘යන්ඩ වෙලාවක් තිබුණේ නෑ.’

‘මට නැන්දාව හම්බ වුණා.නැන්දා මට ගොඩක් දේවල් කිව්වා.බිනරි හෙට නැන්දා ව ගිහින් බලන්ඩ ඕනෑ.මම වාහනයක් එවන්නම්.වරද්දන්ඩ එපා’

විනෝද්ගෙන් ලැබුණේ ඉල්ලීමක් නොවේ.

‘වාහනයක් ඕන නෑ.මම කොහොමටත් මේ දවසක යන්ඩ හිතා ගෙන හිටියේ’

‘ඒ කට කමක් නෑ.මම උදේ දහයට වාහනයක් එවනවා.’

ඔහු අවසාන වශයෙන් පැවසුවේය.හරියටම උදේ දහය වන විට බිනරි බලාපොරොත්තු නොවුණ ආකාරයෙන් කුඩා මෝටර් රථයක් එහි පැමිණියේය.ඇය ඩික්සන් දෙස බැලුවේය.

‘විනෝද් මහතත්යාත් කිව්වෙ නම් ගිහින් එක තමා හොඳ

ඩික්සන් පැවසුවේය.අන්තිමට බිනරි වාහනයට ගොඩ වුණාය.ඇය මාමාගේ නිවසට ගියේ දිගු කලකට පසුවය.දිගු කලකට පසු අම්මා හමුවීම ඇයට ඉවසිය නොහැකි කාරණයක් විය.

‘මම උඹ ගැන හොයන්නේ නැතුව ඉන්නවා නෙවේ.ඒත් උඹ දවසක අමාරුවේ වැටෙයි කියලා මට බයයි’

අම්මා පැවසුවාය.දියණියටත් මවටත් කතා කරන්නට ඉඩ හැර මාමාත් නැන්දාත් ඉවතට ගියහ.අම්මාත් තමාත් අතර යළි ළංවිය නොහැකි දුරස් බවක් ඇතිව ඇතැයි බිනරිට සිතිණ.තමා පැමිණියේ මෝඩ ගමනක්යැයි ඇය කල්පනා කළාය.අනතුරුව අම්මා කතා කරන්නට පටන් ගත්තාය.වරක ඉකි බිදිමින් වරක කෝපයෙන් ද ඇය කතා කළාය.

‘මම දැන් උඹට කරදර කරන්නේ නෑ.මල්ලි පුළුවන් හැටියට මාව බලා ගන්නවා.දැන් මෙහෙත් කවුරුවත් නෑ නේ’

බිනරි ආපසු ආවේ දවල් කෑමටත් පසුවය.ඒ වන තුරු මෝටර් රථය එහි නවතා තිබිණ. බිනරි නිවසට එන විට එහි දොර වසා තිබිණ.ඇය තම අත්බෑගය ගෙන එහි වූ යතුරෙන් දොර ඇරියාය.ගේ ඇතුළට යද්දී ඉහළ මාලයෙන් ඇසුණේ කිසිවක් අලුත්වැඩියා කරන සද්දයකි.බිනරි නිසොල්මනේ කාමරයට ගියාය. විනෝද් තම නිදන කාමරයේ අසල තිබූ මෙට්ටයක වාඩි වී සිටියි.තමන් නිදන ඇද පැත්තකට ඇද ඩික්සන් කිසියම් කටයුත්කය.එහෙත් කටයුත්ත නිමා ව ඇත.ඩික්සන් එකවරම තිගැස්සුණි.

බිනරි ගේ සිතේ කිසියම් කුකුසක් ඇතිවිණ.

‘මොකද මේ?’

‘මේ ටයිල් වගයක් කැඩිලා.’

විනෝද් උන් තැනින් නැගිට යමින් පැවසුවේය.

‘ඔය ගොල්ලො මොකද මේ කළේ’

බිනරි ඇසුවේ ඩික්සන් ගෙනි.

‘මේ ටයිල් වගයක් අලුතින් දාන්ඩ තිබුණා.ඒක පටන් ගන්න කොට විනොද් මහත්තයාත් ආවා.’

ඩික්සන් ඇයට උත්තර දුන්නේ කරමින් සිටි කටයුත්ත නිමා කරමිනි.කිසියම් කටයුත්ක ඇය වෙතින් සගවන්නේයැයි බිනරිට සැකයක් ඇතිවිණ.එහෙත් ඒ ගැන විමසන්නට මේ වෙලාව නොවේ ඇයගේ ගැහැණු සිත කියන්නට විය.