වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




මට පෙම්වතා වීමට කොහෙත්ම ආශාවක් තිබුණේ නැහැ

මට පෙම්වතා වීමට කොහෙත්ම ආශාවක් තිබුණේ නැහැ

වසන්ත කුමාරවිල

සිනමාවේ වීරයා, වීරයකු බවට පත්වන්නේ දුෂ්ටයාගේ පසබැසීම හමුවේය. දුෂ්ටයා පරාජය කොට වීරයා ප්‍රේක්ෂක ආකර්ෂණයට නතු වෙයි. සම්ප්‍රදාය නම් එතැන් පටන් වීරයාට සිනමාලෝලීන්ගේ ආදරය හිමිවීමය. දුෂ්ටයාට එලෙස වන්නේ නැත. සැමදා ඔහුට කැමරාව ඉදරියේ පසුබැසීමට සිදු වන්නේය. සිනමාවේ වීරයින් වීමට බොහෝ දෙනෙකු කැමැති වුව ද දුෂ්ටයා වීමට සිදු වන්නේ අතළොස්සකටය.

වසන්ත කුමාරවිල ද ඒ අතරින් කෙනෙකි. සිනමාවේ ප්‍රතිවීර චරිතය ඔහු කෙතරම් තාත්ත්විකව කළා ද කිවහොත් දිගින් දිගටම වසන්තට ලැබුණේ එවන් වූ චරිතය. නළුවෙකු ලෙසට එලෙස චාරිකාවේ නියැළෙද්දී සටන් අධ්‍යක්ෂවරයකුගේ භූමිකාවට ද පණ පොවයි. මෑතකාලිනව වසන්ත වඩාත් කාර්යබහුල වුණේ එම වෘත්තියටය. සිනමාවේ ඒ අන්දමින් කාලය ගෙවා දැමුව ද පුංචි තිරය ඔස්සේ වසන්ත ඔබට සමීප වුණේ චරිතාංග රංගන ශිල්පියකු පරිද්දෙනි. මේ දිනවල ඔහු රඟපෑ තවත් ටෙලි සිතුවමක් විකාශය වේ. ඒ සමන් කුමාර ලියනගේ ගේ නේත්‍රාය.

වසන්ත 'නේත්‍රා' කතාවට ප්‍රවේශවීමට හොඳයි?

නේත්‍රා කියන්නේ මං රඟපෑ පස්වැනි හෝ හයවැනි ටෙලි නාට්‍යය. මං වැඩිය ටෙලි නාට්‍ය රඟපාන්නේ නැහැ. හිතලම නෙවෙයි ඒ සීමාව තියාගත්තේ. නැත්නම් හිතයි වසන්ත කුමාරවිල නාට්‍ය කරන්නේ නැහැ කියලා. හරි දැන් අපි නේත්‍රා ගැන කතා කරමුකො. මං ඒකේ චරිතයක් කරනවා කියලා මට දැනෙනවා. කෙටියෙන්ම කිව්වොත් මං මේකෙ රඟපානවා. අනෙක් නිර්මාණවල රඟ නොපෑවා කියලා නෙවෙයි එයින් අදහස් කළේ. නේත්‍රා නාට්‍යයේ මං රිටිගල රාල. මාව මේ චරිතයට සුදුසුයි කියලා යෝජනා කරලා තියෙන්නේ නිෂ්පාදක රංජිත් මහත්මයා. අධ්‍යක්ෂවරයාට මා කෙරෙහි විශ්වාසයක් තිබිලා නැහැ. ඒ ඔහු මා සමඟ වැඩ කරලා නැති නිසා. නිෂ්පාදකවරයාගේ විශ්වාසය මත අධ්‍යක්ෂවරයා පිටපත මට දුන්නා. සතියකට පස්සේ ඔහු මට කතා කරලා ඇහැව්වා හෝම්වර්ක් කළාද කියලා. ඔහු ඉන් අදහස් කරලා තියෙන්නේ චරිතයට අවශ්‍ය දේ මං හදාගෙන ද කියලා බලන්න. මං කොහොමත් චරිතයක් රඟපාන්නේ හොඳට ස්ටඩි කරලා. මේකත් එහෙමයි. ඔහුගේ ද උපදෙස් මත රඟපෑවේ.

මට දැනෙනවා වෙහෙසකර බවක්. ඒ මා කලින් කිව්වා වගේ මෙහි රඟපානවා දැනෙන නිසා. රිටිගල රාල කියන්නේ අංගම් සම්ප්‍රදායේ එන චරිතයක්. වසර විස්සේ සිට පනහ දක්වා ඒ චරිතය දිග හැරෙනවා. මට ලැබෙන බොහෝ චරිතවල සටන්කාමිත්වය තියෙනවා. මේකෙත් එහෙමයි.

ඒ සටන්කාමී චරිතවලින් මිදෙන්න අදහසක් නැතිද?

මා තුළ සිටින සටන් අධ්‍යක්ෂවරයා නිසයි ඒ සටන්කාමිත්වය මට චරිත ලබා දෙනවා. එහෙම වුණයි කියලා මට අවාසියක් වුණේ නැහැ. දුෂ්ට නළුවන් බොහෝ දෙනෙකු වගේ මාව මිනිසුන් චරිතවලින් මැනලා නැහැ. කොහොමත් දුස්ටයාට ලැබෙන්නේ වීරයාට හිමිවනවා වගේ සුන්දර ආදරයක් නෙවෙයිනේ. මටත් රසික රසිකාවන්ගෙන් ඒ ආදරය හිමිවෙලා තියෙනවා. කොහොමත් මට රිදී තිරයේ පෙම්වතා වීමට කොහෙත්ම ආසාවක් තිබුණේ නැහැ. වීරයෝ ගොඩක් හිටියට දුෂ්ටයො අඩුයිනේ.

සටන් අධ්‍යක්ෂවරයකු විදියට අද වන වි ඔබ තෘප්තිමත්ද?

අනිවාර්යයෙන්ම. හිරු ගෝල්ඩන් සම්මාන උලෙළකදී මං හොඳම සටන් අධ්‍යක්ෂවරයා හැටියට සම්මාන ගන්නවා. ඒ ඇඩ්ඩ්‍රස් නෑ චිත්‍රපටය වෙනුුවෙන්. ඒ වාගේම මට නිර්මාණ සඳහාත් නිරන්තරයෙන්ම ඇරැයුම් ලැබෙනවා. ප්‍රවේගය සහ මායා යන චිත්‍රපටයන්ට සම්බන්ධ වූ ඉන්දියන් අධ්‍යක්ෂ සරෝව් ඔහුගේ ඊළඟ චිත්‍රපටයට මාවම ඕනෑ කියලත් තියෙනවා. ඒකේ බහුතරයක් ශිල්පියෝ ඉන්දියාවෙන් ගේන්නේ. ඒත් සරොව් මාවම ඉල්ලනවා. අපේ ඇතැම් අය ඔහුට කියනවලු සටන් අධ්‍යක්ෂවරයාත් ඉන්දියාවෙන් ගේන්න කියලා. නමුත් සරොව් ඔහුගේ මතයෙම ඉන්නවා.

ආයෙත් චිත්‍රපට නිෂ්පාදනයට එන්නෙ නැති පාටයි?

චිත්‍රපටයක් නිෂ්පපාදනය කළේ සල්ලි තියෙනවට නෙවෙයි. අර චිත්‍රපට උණක් කියලා දෙයක් තියෙනවානේ. අන්න ඒකටයි චිත්‍රපට හැදුවේ. නමුත් ඉතුරු වුණේ කලකිරීම පමණයි. ඒ තිරගතවිමේදී සිදුවන අකටයුතුකම් නිසා. මොන දේ වුණත් මං සිනමාවට ආසයි. ඒ ඇල්ම තවම එහෙම්මමයි.

මේ කටයුතුවලට අමතරව වසන්ත කුමාරවිල තවත් අලුත් වැඩක් පටන් ගන්නයි හදන්නේ. ඒ සටන් පාසලක් ආරම්භ කිරීමයි. ඒ කර්තව්‍ය ලබන මස කොළඹදී එය විවෘත වනු ඇති. වසන්ත සමඟ ජී ආශිර්වාද මාස්ටර්, සුමුදු අමල්කා සහ කසුන් දුෂ්‍යන්ත යන ආචාර්යවරුන් මෙහි ශිල්ප ඉගැන්වීම සිදු කිරීමට නියමිතයි.

මේ දවස්වල ඒකට ස්ථිර තැනක් හොයනවා. ඒක පටන් ගත්තු ගමන් සරසවියට කියන්නම්. සිනමා සටන් කලාවට ලැදි ඕනෑම අයකුට මගේ ෆයිටිං පාසලට එකතුවීමට පුළුවන්. නවකයින්ට පමණක් නොව දැනට ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යන අයට පවා මේ සඳහා එකතු වන්නට කියා මං ආරාධනා කරනවා.