වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවිතයෙන් සමුගත් ‘සරසවිය’ මිතුරියගේ මව එනම් ‘ගොළු හදවතේ’ ඇත්ත දම්මි
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

ජීවිතයෙන් සමුගත් ‘සරසවිය’ මිතුරියගේ මව එනම් ‘ගොළු හදවතේ’ ඇත්ත දම්මි

ශ්‍යාමා ගුණරත්න ‘සරසවිය’ පුවත්පතේ පාඨකාවියකි. ඇය ‘සරසවිය’ට හා එහි ඇත්තන්ගේ සමීපතම මිතුරියකි. ප්‍රකට හා ජනප්‍රිය නළු නිළියන්ගේ හිතවතියකි. යෙහෙළියකි. මිතුරියකි. නිතමානී, හෘදයාංගම, සංග්‍රහශීලී ගති පැවතුම්වලින් යුතු ඈ ජීවිතයේ තනිකඩව කලාව හා විවාහව සිටින්නීය. මසකට වරක්වත් ඇය හිතවතුන්ට දුරකතනයෙන් කතා කොට දුක් සැප විමසන්නිය. විපතකදී පිහිටට එන්නීය. උපන් දිනය දී සුබ පතන්නීය.

ඇය මෙන්ම ඇග් මව ද නිහතමානී, සංග්‍රහශීලී, සමාජශීලී කාන්තාවකි. ඇය ද කලාවට ආදරය කළාය. ඇය ද කලාවට ආදරය කළාය. ශ්‍යාමා මට මුලින්ම හමු වන්නේ 1990 වසරේදි කොළඹ රීගල් සිනමාහලේ සරසවිය චිත්‍රපට සම්මාන උලෙළේ චිත්‍රපට සතියේ මුල් දිනයේ චිත්‍රපටයක් නැරඹීමට පැමිණ සිටි අවස්ථාවේය. කකුලක ආබාධයක් තිබූ ඇය චිත්‍රපටයට සහභාගි වූ නළු නිළියන්ගේ අත්සන තම සමරු පොතට එකතු කිරීමට යන අසීරු බව තේරුම් ගත් එවකට ලේක්හවුස් හි සභාපති අධිනීතිඥ සුනිල් කේ. රුද්‍රිගෝ මහතා මට මෙසේ කීය.

‘අර ගෑනු ළමයා නළු නිළියන්ට ගොඩක් ආදරෙයි වගේ. අපි එයාට බැල්කනි ආසනයක් දෙමු. එතකොට එයාට සමරු පොත්වලට අත්සන ගන්න ලෙහෙසි වේවි.’

එවකට ‘සරසවිය’ පත්‍රයේ කතුවරය මම වීමි.

මම ඇයව බැල්කනියට ගෙන ගියෙමි. එතැන් සිට ඇය ‘අයියා’ යයි මා ඇමතීය. සරසවිය කර්තෘ මණ්ඩලයේ සමීපතම මිතුරිය හා යෙහෙළිය ඇය වූවාය. අදත් එය නොකඩවා ගෙන යාමට ඇය නිහතමානී වූවාය.

ශ්‍යමා තම මව වූ පද්මා ලාලනී මහත්මිය මට හඳුන්වා දුන්නාය. ඇය ද දියණිය මෙන්ම කාරුණිකය. නිහතමානීය. මිත්‍රශීලීය. විනෝදශීලීය. දිනක් සම්භාෂණයක දී පත්මා මහත්මිය මට කුතුහලයක් මතු කරමින් මෙසේ ඇසුවාය.

‘රංජිත් ඔයා ගොළු හදවත නව කතාවේ ඇත්ත දමයන්ති දැකලා තියෙනවාද?’

‘කවුද? අනුලා කරුණාතිලකද?’ මම පුදුමයෙන් ඇසුවෙමි.

‘නැහැ නැහැ. ජයලත් තක්ෂිලාවේදී ඇත්තටම ආදරය කළ දමයන්ති’.

‘කෝ කෝ එයා ඇවිත් ඉන්නවද?’ මම වටපිට බැලීමි.

‘එයා ඉන්නේ ඔයා ඉස්සරහ. එයා එක්ක කතා කර කර’

‘මිසිස් ගුණරත්න’

‘ඔව්’

මම ඇය දෙස බලා සිටියෙමි. යාන්තම් මැකී යන සුන්දරත්වය ඇගේ මුහුණේ රැඳී තිබුණි. ඇය තම අතීත කතාව මට නොසඟවා පැවසීය. එහෙත් එය ලිවීම එවකට මිය ගොස් සිටි කරුණාසේන ජයලත් මගේ හිතවතාණන් හෝ ජයලත් පවුලේ අයට අවමානයක් වෙතැයි මෙන්ම එවකට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි මා වැඩිහිටි මිත්‍ර කලා විචාරක, ලේඛක ඩී. බී. කුරුප්පු මහතාට අපහාසයක් වේය යන සිතුවිල්ල නිසා මඬනා ලද්දේය.

එහෙත් ජයලත් මහතා මිය ගිය පසු ගුණදාස ලියනගේ විසින් ලියන ලද ‘ගොළු නොවූ හදවත’ නම් කෘතියේ ජයලත් හා පද්මා ලාලනීගේ පේ‍්‍රමය ගැන ජයලත්ගේ දින පොතින් උපුටා දක්වා තිබීම, ජයලත් මහතා හා මා අතර තිබූ 30 වසරක පමණ ඇසුරේදී ඔහු මට පැරණි ප්‍රේම කතාව සරසවිය පුවත්පතට ලියා තිබීම නිසා ද මට මේ කතාව ලිවීමට අවශ්‍ය විය.

මේ අතර ඩී. බී. කුරුප්පු මහතා ඕස්ට්‍රේලියාවේ සිට ලියූ ‘හැන්දෑවට පායන හිරු’ කෘතියෙන් මුල්වරට මේ ත්‍රිකෝණ ප්‍රේමය හෙළි කළේය.

ඊට ටික කලකට පසු පද්මා මහත්මියගෙන් මට පණිවිඩයක් ලැබිණි.

‘අද හෙට ගෙදර දවල් කෑමට එන්න. බෝල්ඩිවිනුත් (ඩී. බී. කුරුප්පු) එනවා’

මම එදා කොල්ලුපිටියේ ශාන්ත මයිකල් පාරේ පද්මා මහත්මියගේ නිවසට ගියෙමි. එදා කුරුප්පු මහතා මෙන්ම ගොළු හදවතේ දම්මි ලෙස රඟපෑ අනුලා කරුණාතිලක ද පැමිණ සිටියාය. අපි බොහෝ දේ කතා කළෙමු. අනුලාගේ සැමියා දයා රණවීර ආනන්දයේ ඉගෙන ගන්නා කාලයේ සිංහල ගුරුවරයා කුරුප්පු මහතා බව ද හෙළි විය. මෙහි පළ වන්නේ පසුගිය 22 වෙනිදා බොරැල්ලේ සුසාන භූමියේ අවසන් ගමන් ගිය පද්මා ලාලනී ගුණරත්න මහත්මිය ගැන අතීතාවර්ජනයකි. එය ඇගේ මෙන්ම ජයලත් හා කුරුප්පුගේ ප්‍රේම වෘතාන්තයයි.

තක්ෂිලාවේ මා ඇතුළු වුණු පන්තියේම දැරියක් මා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළාය. එය පැහැදිලිවම අන්‍යෙන්‍ය ප්‍රේමයක් බවට පරිවර්තනය වූයේ අනුක්‍රමයෙනි. පන්තියේදි හැරෙන්න අප දෙදෙනාට මුණ ගැසෙන්නට අවසරයක් නොවීය.පන්තිය තුළදී වුවත් පෙම් බස් දෙඩීමේ ඉඩකඩ කිසිත් නොතිබිණි. අවම වාචික සන්නිවේදනයක් සහිතව ක්‍රියාත්මක වූ අපගේ බැඳීම අනුක්‍රමයෙක් තහවුරු වන සැටි අපි අවබෝධ කර ගතිමු.

ප්‍රවීණ ලේඛකයකු, කෙටි කතාකරුවකු හා කලා විචාරකකු වූ ඩී. බී කුරුප්පු අලුතින්ම ලියූ ‘හැන්දෑවට පායන හිරු නොහොත් යුගයක අත්දැකිම්’ නම් කෘතියෙන් උපුටා ගත් මේ ඡේදය එන්නේ ‘ගොළු හදවතක කඳුළු’ නම් පරිච්ඡේදයේය. සිංහල නවකථා වංශාවලියේ අමරණීය පෙම් පුවතක් වූ ‘ගොළු හදවත’ ට වස්තු බීජය සැපයූ ත්‍රිකෝණ ප්‍රේමයක එක් චරිතයකි කුරුප්පු.

ගොළු හදවතේ ප්‍රධාන චරිතය දමයන්ති කාරියවසම්. එහෙත් ජයලත්ගේ දොන් කරුණාසේන ජයලත් හා දොන් බෝල්ඩ්වින් කුරුප්පුගේ ත්‍රිකෝණ ප්‍රේමයට මුල් වූ ඇත්ත දමයන්තිගේ නම පද්මා ලාලනී කුරුප්පුය. බෝල්ඩ්වින් කුරුප්පු පවසන අන්දමට පද්මා සමඟ හොරණ තක්ෂිලාවේදී නිදහසේ කතා කරන්නට ඔවුන්ට ඉඩක් ලැබී ඇත්තේ පාසලින් අස්ව යන්නට කලින් දිනයේය. දෙවැනි වතාව එබඳු අවසරයක් ලැබුණේ ඉන් වසර 56 කට පසුවය. සිය මිණිබිරිය බැලීමට පද්මා ඕස්ටේ‍්‍රලියාවේ සිඩ්නි නුවරට ආ විටය. ඩී. බී. කුරුප්පු දැන් පදිංචිව සිටින්නේ ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේය.

කරුණාසේන ජයලත් තම ‘ගොළු හදවත’ට ලැබු අත්දැකිම් විස්තර කරමින් තොරතුරු මා සමඟ පැවසුවේ 1970 වසෙර්ය. ඒ ඇසුරින් මම ‘සරසවිය’ පුවත්පතට විශේෂාංග කිහිපයක් ලියූ අතර 1990 මගේ ආරාධනයෙන් යළිත් ‘ගොළු හදවත මැවුණු හැටි’ මැයෙන් ලිපි පෙළක්ම ඔහු ‘සරසවිය’ට ලියූවත් ඒ අත්දැකිම් විස්තර කරද්දී ‘කියවන විට ලිවීම’ කරන ලද්දේ ම විසිනි. එයට හේතුව ඔහුගේ නොපැහැදිලි කැත අත් අකුරු තම බිරිඳට හැර අන් කිසිවකුට කියවා ගත නොහැකි බව කිවූ නිසාය. එදා බුලත් කහටින් යුතු දත් පෙළ පෙන්නා ඔහු අව්‍යාජව සිනාසුණු අයුරු මට අදත් සිහිපත් කර ගත හැකිය.

කරුණාසේන ජයලත් රූපා අමරසිංහ සමඟ විවාහ වූයේ 1956 අගෛා්ස්තු 12 වෙනිදාය. ඔහු තම බිරිඳ සමඟ හොරණ ඇගේ නිවසට ගිය අවස්ථාවක නාන්නට දොළට ගියේය. එම පෙදෙස පසුබිම් කරගෙන ගෙවුණු ළමා විය හා සම්බන්ධ රසවත් සිද්ධීන් ඔහු රූපාට මතක් කර දුන්නේය. ඊට අවුරුදු තුනකට ඉහත ඉර ඉරා කප කපා නැවත ලියූ නවකතාවක මුල් කොටස රූපාට විස්තර කළේය. කතාවට උනන්දුවක් දැක් වූ රූපා එහි ඉතුරු කොටස ලියන්නැයි බලකර සිටියාය.

ඔහු ඒ අතීත කතාව මට 1976 විස්තර කළේ මෙසේය.

‘මම බිරිඳ රූපා සමඟ නෑ කෙනෙකුගේ මඟුල් ගෙදරකට ගියා. තක්ෂිලාවේ අප සමඟ ඉගෙන ගත් විස්සක් විතර එහි පැමිණ සිටියා. රූපාත් මාත් ඇතුළුව පාසල් වියේදී හාද වී පසුව විවාහ වූ ජෝඩු කිහිපයක්ම එහි හිටියා. මෙහි සිටිය එක් කාන්තාවකගේ ඥාති සොහොයුරියකට වරක් මම ආදරය කළා. මඟුල් ගෙදරදී ඇය දකින ආසාව මා තුළ වැඩුණා. එහෙත් ඇය එදින ආවේ නැහැ. මගේ සිතට බලාපොරොත්තු සුන් වී දුකක් දැනුණා. ඒ වන විට ඇය තක්ෂිලාවෙන් වෙන් වී වෙනත් පාසලකට ගිහින් වසර 12 ක් විතර ඇති. ඉන් පසු කිසි දිනක මම ඇය දැක නැහැ. ඇය දකින තුනී ආසාවක් මගේ සිතට රිංගනවා. කලකට පසු අර මඟුල් ගෙදර මට අමතක වෙනවා. මම නැවත කතාව ලියන්න පටන් ගත්තේ නවසිය පනස් නවයේ අග භාගයේ.

පාසල් වියේ දෙදෙනෙක් පෙම් කරනවා. ඔහු සුගත්, ඇය දම්මි. දිනක් මම කාර්යාලයේ වැඩ නිම කර මෙම අදහස ඔළුවේ තබාගෙන හොරණ බස් එකට ගොඩ වුණා. මම කතාව ගැන දිගටම හිතුවා. බස් රිය කහතුඩුවේ වංගුව පසු කළා.

‘ඇයි දම්මි ඔයා මගේ ජීවිතයත් එක්කලා සෙල්ලම් කළේ’

මම ගෙදර ගිහින් අනිත් අය නින්දට ගිය පසු කතාව ලියන්න පටන් ගත්තා. පාසල පිහිටියේ නගරයේ කඩපෙළ, මහජන පිට්ටනිය අසල රබර් වත්ත පාමුල. සුගත් වාඩි වී සිටින්නේ රබර් වත්ත පැත්තේ මිටි තාප්පය අසල අසුනක.

මේ හොරණ තක්ෂිලාව නොවේද? සුගත් වාඩි වී සිටන්නේ එදා මට අයිතිව තිබුණු අසුණේ නොවේද?

තක්ෂිලාව, ආදරණීය තක්ෂිලාව.

පිට්ටනිය, රබර් වත්ත, වෙරළ තීරය, තානායම, තානායම් වත්තේ ජම්බෝල ගස්, පිට්ටනිය කෙළවර නාගස්, දිය පාර, ඉවුරේ බෝවිටිය සහ බොරුපන් පැදුරු.

දහවල් එකට පාසල් ඇරුණත් බොහෝ විට අපි සවස පහ පමණ වන තෙක් සෙල්ලම් කරනවා.

බෝල්ඩ්වින්, හිල්ටන්, ධර්මදාස, ධර්මසේන, ගුණසෝම, වික්‍රමසිංහ, චන්ද්‍රපාල, ඩේවිඩ්, පද්මා, මියුරි, සෝමා, ගුණවතී, මොනිකා, ජෙනට්, හයිසින්ත් සහ තවත් අය.

කාලයේ කඩතුරාව ඉරාගෙන මොවුන් මගේ මතක තලයට එනවා. යහළු යෙහෙළියන්ගේ ආදරණීය පියකරු මුහුණු.

ඔව්, සුගත්ටත් එවැනිම පිරිසක් විමල්, ජයතිස්ස, සිරිපාල, අනුලා, ප්‍රේමවතී ආදී චරිත බිහි වුණේ ඔය විදිහට.

1947 කරුණාසේන ජයලත් අභ්‍යාස පොතන ලියා ඇති ‘ඊයේ අද සහ හෙට’ නම් සටහනේ ජයලත් මිය ගොස් වසරක් ගතවීම නිමිත්තෙන් ගුණදාස ලියනගේ ලියූ ‘ගොළු නොවූ හදවත’ කරුණාසේන ජයලත් චරිතාපදානයේ මෙසේ සඳහන් වෙයි.

‘මා උන් පන්තියේ කුඩා ළමයින් සහ ගැහැනු ළමයින් අතර කුලුපඟකමක් විය. අපි ඊට සම්බන්ධ නොවීමු. ලොසින්ජර්, ලොවි, වෙරළු ආදිය බෙදාගෙන කෑම ඔවුන්ගේ සිරිත විය. දිනක් දැරියක් කටු ලොවි වගයක් ගෙනවිත් තිිබුණි. මම නිකමට ඒ දෙස බැලීමි. අර මා පෙම්බැඳි කෙල්ල (සම්පූර්ණ නම ලියා ඇත) මටත් ලොවි වගයක් දික් කළාය. එදා පටන් අපි මිත්‍ර වීමු. ඇය මටත් කලින් වෙනත් අයකු පෙම් බැන්දෙන් පසුව මා අත හැරියාය. පසුව වෙනත් දැරියකගේ පෙම්වතා වීමි.’

ඩී. බී. කුරුප්පු මේ ප්‍රේමය ගැන පවසන්නේ තම ප්‍රේමවන්තිය නැවතී සිටියේ ඇගේ පුංචි අම්මාගේ නිවසේ නොහොත් අම්මාගේ මහගෙදර බවය. ඔවුන්ගේ නිවස පසුකොට ඔහු කිහිප වතාවක් බසයෙන් ගොස් ඇතත් එබඳු නිවසකට ගොඩ වදින්නට පවා ඔහු බියක් ඇති වී ඇත. තම පන්තියේ සිටි හොඳම මිතුරා වූ ජයලත්ගෙන් ඇයගේ නිවස ගැන විමසූ බව ද කුරුප්පු කියයි.

‘මගේ නිවස ගැන ඇය විමසූ බව වරක් කරුණාසේන මට කීවේය. අප වාසය කළේ සෑහෙන තරම් ලෙකු නිවසක යැයි තමා කී බව ද සඳහන් කළේය. ඔහු ඇය ඉදිරියේ ලස්සන ගෙයක් මවා පෙන්වන්ට ඇති බව මට විශ්වාසය. කරුණාසේන මගේ ගෙදර සතියකට දින කිහිපයක් මා සමඟ ගත කරන බව දැරිය දැන සිටියාය. මේ විපරමට හේතුව ද කරුණාසේන දත්තේය. මට විපරම දැනුම් දුන්නේ ද ඒ නිසාය. කරුණාසේනගේ ප්‍රතිිචාරය මට එක්තරා සැනසීමක් විය. අපේ පන්තියට අල්ලපු පන්තියට අල්ලපු පන්තියේ සිටි කරුණාසේනට ඇය සමඟ කතාබහ කරන්නට ඉඩකඩ තිබුණේය. අපේ පන්තියේ දැරියන් ඔහුගේ පන්තියේ දරියන් සමඟ මෙසේ නිදැල්ලේ කතාබහ කරන අතර වාරේ කරුණාසේනගේ සිත එක දැරියක කෙරේ ඇදී ගියේය. ඒ මා සිත් බැඳගත් දැරියම බව තබා ඔහු දැරියකට පෙම් බඳින බවක්වත් මම නොදත්තෙමි. ඒ පෙම පටන් ගත්තේ කෙදිනකද යන්නත් මා නොදන්නා රහසක් ලෙසට තබා ගන්න කරුණාසේන සමත් විය. අන් කිසිවකු දැන සිටියාද යන්න ද මට රහසකි. මා මේ සියල්ල දැන ගත්තේ ගහෙන් ගෙඩි එන්නාක් වාගේය.’

එක් නිවාඩු දිනයක හන්දියේ පිහිටි පොත් සාප්පුවට ගොඩ වූ බොල්ඩ්වින් කුරුප්පුට එහි අයිතිකරුට කරුණාසේන දෙන්නට කියා දුන් ලිපියක් ලැබී ඇත. එය කරුණාසේන චිත්ත වේදනාවකින් ලියූ එකකි.

‘අපි දෙදෙනාගේම ප්‍රේමයට ලක් වූ දැරියට එය රහසක් නොවීය. තමා සමඟ සුහදව කතාබහ කරන ඇය තුළ ද තමා කෙරෙහි විශේෂ බැඳීමක් ඇතැයි කරුණාසේන අවංකව සිතන්නට ඇත. කෙසේ හෝ දීර්ඝ විස්තරයකින් පසු වේදනාව දරගෙනම ඔහු එක් දෙයක් පැහැදිලි කර තිබුණි. දැරියගේ තීරණය බාර ගන්නා අතරම අප දෙදෙනාට සුබපතන බව ද එහි සඳහන් විය. කටින් කියන්ට බැරි හරිය කියවන්ට කල් දී කරුණාසේන ද පොත් සාප්පුවට ගොඩ වැදුණේය. මා ළඟම එහි වූ බංකුවක හිඳගත් ඔහු එදා හැඬු ඇඬිල්ල මගේ සිතට අදත් මැවී පෙනෙයි. දෑත් මිට මොළවාගෙන ඔහුගේ පිටි අල්ල පුරා තැවරණු කඳුළුවල සුවඳ දැනුත් දැනෙන්නා සේය.’

මේ පිළිබඳ කරුණාසේන ජයලත් 1976 සරසවිය පත්‍රයට මා සමඟ කළ සංවාදය සහිත විශේෂාංගයක් මම 1999 පළ කළ ‘අනුභූතිය හා නිර්මාණය’ කෘතියට ඇතුළත් කළෙමි. එහි මෙසේ සඳහන් වෙයි.

‘අවුරුදු දෙකක් අපි ළඟින් ආශ්‍රය කළා. ඇය මට ආදරේ යයි සිතුවා. වාර අවසානයට කලින්දා මම ඇයට ආදරය කරන බව කියා වාසගම් දෙකකින් යුත් ලිපියක් දුන්නා. තමා කලක් තිස්සේ කෙනෙකුට පෙම් කරන බව ඇය මගේ හොඳම මිතුරා මඟින් මට කිව්වා. ඇයගේ නියම පෙම්වතා වුයේ ද එම පාසලේම උගත් මගේ හොඳම මිත්‍රයායි. නිවාඩු කාලය මූසලකමින් ගත වුණා. ඊළඟ වාරය පටන් ගත්දා වෙනත් පාසලකින් තවත් දැරියක් අප පාසලට ආවා. ඇයට මම පෙම් කළා. අවුරුදු එකොළහකට පස්සේ මම ඇය විවාහ කර ගත්තා. ඒ රූපා අමරසිංහ.

කරුණාසේන ජයලත් හා බෝල්ඩ්වින් කුරුප්පුගේ ප්‍රේමයට මැදි වූ ඒ සැබෑ දමයන්ති කවුද? එක්තරා හවස් යාමයක මට මා මිත්‍ර මහින්ද කුමාර දළුපොතගෙන් දුරකතන පණිවුඩයක් ලැබුණි. කුරුප්පු මහතා ලියූ අලුත්ම පොත ගොඩගේ පොත්හලෙන් මිලදී ගනු දැක්කේය. පොත ගැන කරුණු කතා කළ මහින්ද ගොළු හදවතේ ඇත්ත දම්මි හමුවීමට කැමතිදැයි ඇසීය. මට ඇති වූයේ කුහුලකි. මහින්ද කුරුප්පු මහතාගේ පොත මුද්‍රණය කළ පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් හි නිමල් දිසානායක මහතා ඒ පිළිබඳ තොරතුරු දන්නා බව කිවේය. දිසානායක මහතා ඇමතු විට ඔහු කීවේ සැබෑ දම්මි වසර දහයකටත් වඩා මා හොඳින් හඳුනන කාන්තාවක් බවය. ඇයගේ දියණිය ශ්‍යාමා සිනමා නළු නිළියන්ට ඇලුම් කරන ඔවුන් පෞද්ගලිකව හැඳින සමීප හිතවතියකි. අප කිහිප විටක්ම කොල්ලුපිටියේ ශාන්ත අන්තෝනි මාවතේ නිවසට ගොස් ඇය හා ඇයගේ මව සමඟ අල්ලාප සල්ලාපයෙන් පසුවන අවස්ථා තිබුණි.

තම මව ගොළු හදවතේ සැබෑ දමයන්ති බව ශ්‍යාමා වරක් කියූ බව පැවසුවත් එය මගේ මතකයට ආවේ නැත.

ඇත්ත දම්මිගේ ඇත්ත නම පද්මිය.

‘මම තක්ෂිලාවේ ඉගෙන ගන්න කාලයේ ටිකක් දඟකාරයි. ටිකක් ආඩම්බරයි. සැරයි. අපි ගැහැනු පිරිමි ළමයි කියලා භේදයකින් තොරව සහයෝගයෙන් අපි කටයුතු කළේ. අපේ පන්තියේ හිටිය බොල්ඩ්වින් කුරුප්පුත්, කරුණාසේන ජයලත්, සෝමා දසනායක, රූපා අමරසිංහ (ජයලත්ගේ බිරිඳ) හා මාත් අතර තිබුණේ පුදුම බැඳීමක්. සිංහල සාහිත්‍ය සංගමය පැවැත්වෙන සිකුරාදා අපේ සතුටුම දවස. අපි කවි කියන්න, කතා පවත්වන්න පුරුදු වෙලා හිටියා. කථිකත්වය අතින් ජයලත් පාසලේ ඉහළම තැනක හිටියේ. ඉගෙනීම අතින් ඉහළ තැනක හිටියේ බෝල්ඩ්වින්. පද්මා ලාලනී කුරුප්පු නම් ගොළු හදවත නවකතාවේ ඇත්ත දම්මි කතාව පටන් ගත්තාය.

ඈ කෙරෙන් තවමත් රූපයෙන් මෙන්ම ආදරයේ සුන්දරත්වය නොමැකී පවතී.

‘හොරණ ඉඳලා හැතැප්ම තුනක් ඈතින් තියනෙ කඳන මම උපන්නේ. මගේ පියා ගමේ විවාහ හා මරණ රෙජිස්ට්‍රාර් . ඒ නිසා මාවත් මට හිටිය එකම සොහොයුරියත් පරෙස්සමින් ආරක්ෂා කළා. ඇය අතීතයට යොමු වුණා.

1932 අප්‍රේල් 04 වැනිදා උපන් කුරුප්පු ආරච්චිලාගේ පද්මා ලාලනී කුරුප්පු ඇගේ සම්පූර්ණ නමයි.

‘බෝල්ඩ්වින් හා ජයලත්ට ඉස්කෝලේ ඉගෙන ගන්න කාලයේ ඉඳලාම සමසමාජ අදහස් තිබුණේ. ඒ කාලේ තක්ෂිලාවේ විදුහල්පති විට්ටච්චි මහතා. ඒ මහතාගේ සොහොයුරු ටාසි විට්ටච්චි මහතාත් (පසුව ප්‍රවීණ පුවත්පත් කලාවේදියා) අපිට ඉගැන්නුවා. ඇත්තම කියනවා නම් මගේ හිතේ ආදරයක් ඇති වුණේ බෝල්ඩ්වින්ට විතරයි. ඒ ආදරය කාටත් හොරා ප්‍රකාශ කරලා තිබුණේ. ඒ කාලේ අපේ පණිවුඩ ගෙන ගියේ ජයලත්. මම ජයලත්ට වගේම අනික් පිරිමි ළමුන්ට හිතවත්ව හිටියේ.

ගොළු හදවතේ දම්මි සුගත්ට වෙරළු දෙන අවස්ථාව අපේ ජීිවිතවලට සම්බන්ධ සිද්ධියකි. දවසක් ජයලත් විවේක අවස්්ථාවේ පොතක් බලමින් හිටියා. අපි යාළුවෝ කටු ලොවි කමින් හිටියේ. මට හිතුණා ජයලත්ට කටු ලොවි ගෙඩි දෙක තුනක් දෙන්න

මම ‘ස් . . ස් . .’ ශබ්දයෙන් ඔහුට කතා කළේ ඔහු කිසියම් වැඩක යෙදී සිටින නිසා.

මා දුටු විගස ඔහු මගෙන් ඉවත් කරගත් බැල්ම, තමාට ශබ්ද කළේ කවුරුන්දැයි සෙවීමට අවට යොමු කළා.

‘ස් . . ස් . . ශබ්දය යළිත් මම නැඟුවා. ඔහු මා දෙස කෙළින්ම බැලුවා.

‘ඕනැද?’ කටුලොවි අතේ තියාගෙන මම ඇසුවා.

‘මොනවද?’ නොඅසාම මා වෙත පැමිණි ඔහු මා වෙත අත්ල පෑවා. මම ඔහුට කටු ලොවි ගෙඩි කිහිපයක්ම දුන්නා. ඔහු අහිංසක සිනාවක්පාමින් නැවත තම පුටුවේ ඉඳගත්තා.

ඊළඟට තිබුණේ චිත්‍ර කර්ම පන්තිය. මගේ පැන්සලේ තුඩ කැඩිලා තිබුණේ. මගේ පැන්සල කපා දෙන්නයි මම ඔහුට කිව්වා. ඔහු එය වුවමනාවෙන් කරලා දුන්නා. එදා පාසල අවසන් වෙලා ගෙදර යන ගමනේ මම ඔහුගෙන් ලොසින්ජර ඉල්ලුවා. මේ සේරම අවුරුදු දහ තුනක කෙල්ලකගේ දඟකාර වැඩ. ගොළු හදවතේ දම්මි කළා වගේම ගස් නැගලා වෙරළු කඩන්න මම අසා කළා’ පත්මා පරණ සිද්ධි මතක් කරමින් කීවාය.

ජයලත් කිය වූ ඩබ්ලිව්. ඒ සිල්වා, පියදාස සිරිස්න, ඇන්.ජී. ඒ. විමලනාථ, ඒ. ටී. සී. ජිනදාස, පී. ඩී. ලියනගේ ආදී ලේඛකයන්ගේ නවකතා අපිට ගෙනත් දෙනවා. ඩේවිඩ් කොපර්ෆීල්ඩ්, ජේන් අයර්, සයිලස් මානර් වගේ නවකතාවල කතා සාරංශ අපිට කියලා දෙනවා. අපි ඒ කතා අහන් ඉන්නේ අසාවෙන්. කුතුහලයෙන්.

ජයලත් මා ගැන බලාපොරොත්තුවෙන් ඉන්න බව මම දන්නේ නැහැ. ඔහු ගැන මට තිබුණේ සහෝදර ප්‍රේමයක්. පාසලේ විවිධ ප්‍රසංගයේ පැවැත් වූ නාට්‍යයට පරණ සාරි ගන්න සුගත් හා දමයන්ති, ඇගේ ගෙදර යන අවස්ථාව සත්‍ය එකක්. එදා ජයලත් හා මම පරණ සාරි හොයන්න ගියේ අපේ හොරණ ආච්චිගේ ගෙදර. අපේ පුංචි අම්මාගේ පරණ සාරිත් අරං අපි කැලැ පාරේ කතා කර කර ආවා.

විභාගය අවසන් වෙලා අපි තක්ෂිලාවෙන් සමු ගන්න අවස්ථාව හරිම වේදනාකාරියි. මම ඒ වාරයෙන් පසු කොළඹ විශාඛා විද්‍යාලයට ගියා. බෝල්ඩ්වින් ඉගෙනීමට දක්ෂ නිසා ඩබල් ප්‍රමෝෂන් ලබලා කොළඹ නාලන්දෙට ගියා. ජයලත් තක්ෂිලාවේ තනි වුණා. ඇත්තටම එයා තනි වුණේ නැහැ.

අපේ පංතියේ හිටිය රූපා අමරසිංහගේ හිත දිනා ගත්තා.

තක්ෂිලාවෙන් සමු ගන්න දිනය මට අමතක වෙන්නේ නැහැ. එදා තමයි බෝල්ඩ්වින් එක්ක ටිකක් නිවිහැනහිල්ලේ කතා කරන්න ලැබුණේ.

‘අපි දෙන්නා දිගටම ඉගෙන ගනිමු. මතු බලාපොරොත්තුවෙන් අද අපි වෙන්වෙමු. ඔහු මට කිව්වා.

එදා අපි කතා කරනවා දැකලා ජයලත්ට හොඳටම තරහ ගියා. බොල්ඩ්වින් එක්ක බහින්බස් වුණා. මගේ මිතුරිය ප්‍රබාවතී මට ඉක්මනට ගෙදර යන්න කිව්වා.

මම විශාඛාවටත්, බෝල්ඩ්වින් නාලන්දාවටත් ගියාට පස්සෙත් අපි ලියුම් හුවමාරු කර ගත්තා. බෝල්ඩ්වින් මට ලියුම් එව්වේ එයාගේ නංගී ගුණවතීගේ නමින්. මේ අතරේ බෝල්ඩ්වින් විශ්ව විද්‍යාලයට ගියා. ඒ එක්කම යුද්දේ ඇවිත් තාත්තා මාව ගෙදර එක්කගෙන ගියා. 1948 වනතුරුම අපේ සම්බන්ධය තිබුණා. විවාහයකට වඩා ඔහු ඉගෙනීමට මුල්් තැන දුන්නා. මේ නිසා විවාහය නැමති කෝච්චිය අපිට ප්‍රමාද වුණා.

1954 අපේ‍්‍රල් 28 වෙනිදා පද්මා, ක්ලැරන්ස් ගුණරත්න මහතා සමඟ විවාහ වූවාය. එය යෝජිත විවාහයකි. උප ආහාර පාලකවරයෙකු ලෙස සේවය කළ ගුණරත්න මහතා ද නාලන්දාවේ ආදි ශිෂ්‍යයෙකි. පද්මා - ක්ලැරන්ස් විවාහයේ මනමාලයාගේ මිතුරන් ලෙස මංගල ඡායාරූපයට පෙනී සිටියේ මෙරට සිවිල් සේවයේ ඉහළම තනතුරු හෙබ වූ ලීල් ගුණසේකර හා විමල් අමරසේකර මහතුන්ය. මේ යුවළට දියණියන්ම පස් දෙනකි. චින්තා, ශ්‍යමා, මධුරංගණී, ඉනෝකා හා තනුජා මේ දියණියන්ය. ශ්‍යාමා අවිවාහකව මවගේ තනියට කොල්ලුපිටියේ නිිවසේම සිටින්නීය. 1988 ක්ලැරන්ස් ගුණරත්න මිය ගොස් ඇත.

මගේ මහත්තයා හරිම කරුණාවන්ත කෙනෙක්. ජයලත්ගේ කතාව එයා දන්නවා. දවසක් ජයලත් අපේ ගෙදර ආවා. එයාගේ ගොළු හදවත පිටපතක් ලොකු දුවට දීලා ගියා. එදා මහත්තතයා ජයලත්ව ආදරයෙන් පිළිගත්තා. ජයලත් ගියාට පස්සේ එයා හිනා වෙවී කිව්වා, ලොකු දුවේ අම්මලා ඉස්කොලේ යන දවස්වල කරපු දේවල් ඕකේ තියෙන්නේ’ කියලා. බෝල්ඩ්වින්ගේ කතාව මම මහත්තයාට කියලා නැහැ’

තක්ෂිලාවෙන් සමුගත්තට පස්සේ බෝල්ඩ්වින් හා ජයලත් මට ආපසු හමු වුණේ විද්‍යාලයේ සැණකෙළිය දිනයේ. එතකොට මම විවාහ වෙලා නැහැ. එතකොට ජයලත් හා බෝල්ඩ්වින් හොඳ මිත්‍රයෝ.

‘දැන් ජයලත් අපිත් එක්කලා තරහා නැහැ’ කියලා එදා බෝල්ඩ්වින් කිව්වා මතකයි.

දවසක් මම ගමේ යන්න හොරණ බස් එකට නැග්ගා. බස් එකේ සෙනඟ. ජයලත්, රූපා විවාහ වෙලා එතකොට. දෙන්නම බසයේ වාඩිවෙලා හිටියේ. ජයලත් ඉක්මනට නැගිටලා එයාගේ ආසනය පිරිනැමුවා. රූපයි මමයි පරණ දේවල් කතා කර කර ගියා. මම බසයෙන් බහින්න ළං වෙනකොට රූපා හිනා වේවී කිව්වා ‘අද සේනගේ (රූපා ජයලත්ට කතා කළේ ඒ නමින්) හිත පිරිලා ඉතිරිලා ඇති’ කියලා. 1994 අගෝස්තු මාසයේ ජයලත් මියගිය දිනයේ මම පොකුණුවිට ගෙදරට ගියා. එදා මම රූපා එක්ක හුඟාක් වෙලා කතා කර කර ඉඳලා දවල් බත් කාලා ගෙදර ආවා.’

පද්්මිට බෝල්ඩ්වින් වසර ගණනකට පසු හමු වූයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ඇය මිණිපිරියක් බැලීමට ගිය ගමනේදීය.

‘ගොළු හදවත නවකතාව නිකුත් වී දැන් අවුරුදු හතළිස් හතරක් ගත වී තිබෙනවා. ඒ ඇසුරින් තැනූ චිත්‍රපටය මම බලන්න ගියේ සතුටින්. එහි දම්මි ලෙස රඟපෑ අනුලා කරුණාතිලක මගේ හොඳම මිතුරියක්. දවසක් අනුලා අපේ ගෙදර ආවා. අපි ගොළු හදවත ගැන කතා කර කර හිටියා.

‘අනුලා ඔයා නවකතාවේ ඇත්තම දම්මි ගැන දැනගන්න ආසද?’ මම ඇසුවා.

‘සත්තකින්ම කොහෙද ඉන්නේ. මම ආසයි එයාව දකින්න’ අනුලා කුහුලින් කීවා.

‘මං දිහා බලන් ඉන්න. එතකොට පෙනේවි’ මම කිව්වා.

ඇය මාව වැළඳ ගත්තේ සතුටකින්.

අනුලාගේ සැමියා දයා රණවීර බෝල්ඩ්වින්ගේ ආනන්දේ ගෝලයෙක්.

ඩී. බී. කුරුප්පු නොහොත් දොන් බෝල්ඩ්වින් කුරුප්පු කලක් ආනන්ද මහා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කළේය. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේත්, සිමෙන්ති සංයුක්ත මණ්ඩලයෙත් සේවය කළ ඔහු කලක් කලා විචාරකයෙකු ලෙස ද කටයුතු කළේය. ලේඛකයකු, පරිවර්තකයකු, කෙටිකතා රචකයකු වූ ඔහු ලියූ පොත් අතර මැංචෝසන් චාරිකා, හෝචිමිංග් සිර ගෙයි දින පොත, අසහනය, බක් මහ උලෙළ, සිංගරු සිරිත, විප්ලවය ආවොත්, අන්තිම උපන් දින සාදය, ගෝවින්දන් කන්දසාමි, දඹරාවේ කෘති මෙන්ම ඉංග්‍රීසියෙන් ලියන ලද කෘති කිහිපයක් ද වෙයි.

මෙරට සාහිත්‍යයේ ආදරණීයම නවකතාව වූ ගොළු හදවතේ තුන් ඈදුතු ප්‍රේම වෘතාන්තයේ තිදෙනාම දැන් මෙලොව හැර ගොසිනි. ගොළු හදවත චිත්‍රපට නිර්මාණය කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ද මෙලොව හැර ගියේය. එහෙත් මේ ආදර කතාව සදාකාලික රසයෙන් යුත් නවකතාවක් ලෙසද, සිනමා කෘතියක් ලෙස අප අතර ඉතිරිව ඇත්තේය.