වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

වන සිවුපාවුන්ට ආදරය කළ මු. අරුක්ගොඩ

සිංහල සිනමාවට දැනෙන වෙනසක් ඇති කළ චිත්‍රපට රැසක් තිළිණ කළ අධ්‍යක්ෂවරයෙකි මූ. අරුක්ගොඩ. වනයට සතා සීපාවට බෙහෙවින් ආදරය කළ ඔහු සිය චිත්‍රපටවල කථා තේමාවට වන සම්පත විනාශ කිරීමේ පල විපාකය කදිමට පෙන්වා දී ජනතාවට ආදර්ශයක් ද ලබා දුන්නේය. ඔහුගේ 'අරලිය මල්' චිත්‍රපටය ඊට කදිම නිදසුනකි. 'නීතියයි රූමතියයි', 'තාත්තයි පුතයි' ආදී චිත්‍රපට පෝලිමක් එක දිගට රසික ජනතාවට තිළිණ කරමින් සිටියදී ඔහු සේවය කළ වනය සම්බන්ධ රැකියාවේ නියැළී සිටියදී රුදුරු ත්‍රස්තවාදීන්ට හසුව අතුරුදන් විය.


ඉන්ද්‍රාණි අමතක කළාද?

'අමතක වුණාද?' චිත්‍රපටයේ රඟපෑ රංගන ශිල්පිනී ඉන්ද්‍රාණි ජයවර්ධන ගැන අපේ මතකයෙන් ගිලිහී ගොසිනි. ඇය දක්ෂ නිළියක්. එහෙත් මෑතක සිට ඇයගේ රංගනයන් අපේ ප්‍රේ්ක්ෂකයන්ටත් අමතකව ගිහින් ඇතැයි මා සිතනවා. ඇය ගැන පාඨකයන්ට සරසවියෙන් නැවත අලුත් පන්නරයක් ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තුවෙන් සිටිමු.


‘ඉදුකාලම්’ හැදුවාට තුති

ස්විට්සර්ලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයකු වූ කුනපති කන්දස්වාමි නම් ද්‍රවිඩ ජාතිකයකු විසින් ස්විට්සර්ලන්තයේ කදිම දර්ශන ඇතුළත් කර රූගන්වමින් 'ඉදුකාලම්' නමැති ද්‍රවිඩ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම ගැන එම අධ්‍යක්ෂවරයාට අපගේ සතුට සමඟ ස්තූතිය මින්.


අයිරාංගනී අගයන්න කාලය ඇවිත්

සිනමාවේ සේම ටෙලි තිරයේත් අමරණීය සේවයක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණී අයිරාංගනී සේරසිංහ අගය කළ යුතු කාලය පැමිණ ඇතැයි සිතමි. ඔබට තවත් කාලයක් සිනමා ක්ෂේත්‍රයේ බැබළීමට වරම් ලැබේවායි පතමි.


‘සිහිනයකි රෑ’ හොඳ නිර්මාණයක්

ජාතික රූපවාහිනියේ ඉරිදා රාත්‍රී 10.20 ට විකාශය වන මහේෂ් නිශ්ශංක ඉදිරිපත් කරන 'සිහිනයකි රෑ' විශිෂ්ට ගණයේ ප්‍රමුඛත්වයක් ගෙන එන සංගීතමය වැඩ සටහනකි.

අප සංගීත වැඩසටහන් කොතෙක් නැරැඹුවත් 'සිහිනයකි රෑ' මඟින් සිදු වන්නේ ගීත ඇසීම පමණක් නොව සංගීතය පිළිබඳව ගී තෝරන ආරාධිත විද්වතුන් එම ගීතයේ අර්ථය අප නොදන්නා දේත් කැටිකර එම ගීතය අපේ හදවත්වලට කා වදින අන්දමින් විග්‍රහ කිරිම 'සිහිනයකි රූ' තුළින් පෙන්වාදීම අති විශිෂ්ටය.
ඊට අමතරව එම ගීත ගායනය සඳහා ආරාධනා ලැබ පැමිණෙන ගායක / ගායිකාවන් නොවන එහෙත් සංගීතය හදාරා ඇති ශිල්පීන් එම ගීත එම අයුරින් ගැයීමත් ඊට උචිත දේශීය වාදක මණ්ඩලයේ සංගීත අධ්‍යක්ෂණයත් 'සිහිනයකි රෑ' විචිත්‍රවත් කිරීමට සමත් වීම ද ඉතාම වැදගත්ය. 'සිහිනයකි රෑ' තව කාලයක් ගෙන ඒමට ජාතික රූපවාහිනියට මගේ ශුභපැතුම්.


සදා නොමියන බෙග් මාස්ටර්

'සිනහවෙන් හෝ කථාවෙන් බැහැ මනින්නට මිනිසා
සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා'

මෙම සනාතන ගුණ ධර්මය ගැඹුරු හඬින් ගයන බෙග් මාස්ටර් අපව හැර ගොස් බොහෝ කල්ය. නමුත් ඔබතුමා අප මතකයේ අදත් ජීවමානය.
වෙසක් සමයට නැතුවම බැරි කටහඬකි. පන්සලේ කුමන හෝ උත්සවයක් ඇත්ද එතැන 'බෙග් මාස්ටර්' ඇත. 'බුද්ධං සරණං ගච්ඡාමි' එතුමාගේ හඩින් උච්ච ස්වරයෙන් රැව් දෙයි. අන්‍ය ආගම් භක්තිකයකු වුවත් ඔබතුමා ලංකා පුත්‍රයෙකි. අන්‍ය ජාතිකයකු නොව ඔබ සිංහලයෙකි. ලාංකිකයෙකි. මේ මාගේ හැඟීමයි. පියතුමාගේ කටහඬ උරුම කරගත් ඉෂාක් බෙග්ව ද අගයමි.


සංඥා පුවත් සඳහා වැඩි ඉඩක් දෙමු

ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශනයේ සංඥා පුවත් සඳහා වෙන් කර ඇති කොටුව මඳක් ලොකු වූවා නම් මැනවි.


රයිගම් සම්මාන උලෙළ

රයිගම් සම්මාන උලෙළේදී හොඳම සහ ජනප්‍රිය නළුවා යන සම්මාන දිනාගත් මහේන්ද්‍ර පෙරේරාත්, තුමිඳු දොඩම්තැන්න සහ රංගන ශිල්පිනී මල්කාන්ති ජයසිංහ ඇතුළු සම්මානලාභීන් සියලු දෙනාගේම රංගන දිවිය තව තවත් හොඳින් සාර්ථක වේවායි හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරමි.


කලා ලොවේ දිදුලන මොරටු තරු

පණ්ඩිත් අමරදේව, එඩී මාස්ටර්, සී. එල්. ෆොන්සේකා, අබිලිනු මාස්ටර්, ජුලියස් ආතර් ද සිල්වා, ඇලන්සන් මෙන්ඩිස්, තිලක් ද මැල්, ජෙරී ද මැල්, ෆ්‍රෙඩී සිල්වා, සුනිල් පෙරේරා, පියල් පෙරේරා, සමන් ද සිල්වා, ක්‍රිස්ටෝපර් පෝල්, රෝයි ද සිල්වා, සෝමපාල ධර්මප්‍රිය, නිහාල් නෙල්සන්, පුන්සිරි සොයිසා, අසංග ප්‍රියමන්ත පීරිස්, හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස්, පෝල් ප්‍රනාන්දු, ධනපාල උඩවත්ත, එච් ආර්. සොයිසා, මල්කාන්ති පීරිස් (නන්දසිරි), නිරංජලා සරෝජනි, නිර්මලා පීරිස් (රණතුංග), සකුන්තලා පීරිස්, මනෝජ් පීරිස්, හැරිසන් පීරිස්, දමයන්ති ජයසූරිය, ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු, වික්ටර් දළුගම, ජේසන් ද සිල්වා, පර්සි රාජපක්ෂ, ටී. ඩී. ගුණතිලක, ෂෙල්ටන් සිල්වා, බැසිල් හෙන්රි, ඒසිර ප්‍රනාන්දු, බයිලා හෙන්රි, වින්සන් ද පෝල් පීරිස්, චන්ද්‍රා දේවදිත්‍ය, සෝමසිරි ප්‍රනාන්දු, තිලක් විජේදාස, සිරිලාල් මේදිස්, කිංස්ලි ප්‍රනාන්දු, ලෝරන්ස් ප්‍රනාන්දු.


‘කූඹියෝ 2’ පුංචි තිරයට ගේන්න

ලාංකේය පුංචි තිරයෙන් වැඩි ලෙස කතාබහට සහ ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ 'කූඹියෝ' ටෙලි නාට්‍යය අවසන් වූවාත් සමඟ ප්‍රෙක්ෂකයන් විශාල බලාපොරොත්තුවකින් සිටියේ පුංචි තිරයෙන් 'කූඹියෝ 2' දැක බලා ගැනීමටයි. අප හට එය ඉටු කර දෙන ලෙස 'කූඹියෝ' ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂතුමාගෙන් ඉල්ලා සිටිමි.


ඇන්ජලින් ඔබයි දිදුලන තරුව

පනහ දශකයේ සිට මේ දක්වා බිහි වූ සිනමාවේ ගීතයට ජීවය දුන් රිදී සීනුව ලෙස නම් දැරූවේ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලකය. ඇගේ හඬට සම කිරීමට නව පරපුරේ කිසිදු හඬක් බිහි වි නැත. එතරම් මිහිරි හඬ ප්‍රබලයි. වෙනත් ගායන ක්ෂේත්‍රයේ අය ඔබේ ගීත ගැයුවත් ඒ ගීවල නියම මිහිරි රසය ඇත්තේ ඔබේ හඬ තුළයි. ඔබට චිරං ජයතු.


දෙවෙනි ඉනිමේ ලිහිණි හෙට්ටිආරච්චිට

නවක රංග ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණ වී දෙවෙනි ඉනිම තුළින් ඔබ සාර්ථක වී තිබේ. සිනමාවේත්, ටෙලි නාට්‍යයෙත් දිගු ගමනකට ආසිරි.


රිදී සීනුව ඇන්ජලින්

ජෝතිපාල, එම්. එස්., ෆ්‍රෙඩී, මිල්ටන් මල්ලවආරච්චි, ග්‍රේෂන්, ටී. එම්. යන ගායකයන් සමඟ වැඩිම යුග ගී ගැයූ ගායිකාව ඔබයි. ඔබ නැති සිංහල සිනමා චිත්‍රපට කුමටද? ඔබ යළි ගයන තුරු රසික අප බලා සිටිමු. ලතා, සුජාතා, ඇන්ජි ඔබ තිදෙනාට චිරං ජයතු!


පැරැණි හින්දි ගී නියමයි

සෑම ඉරිදා දිනයකම රාත්‍රී 8 සිට විකාශනය කරන පැරැණි හින්දි ගී වැඩ සටහන නියමයි. රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනි නාළිකාව හරහා පැරැණි හින්දි සිනමාපටය සමඟ ගීතයේ ගායනය සමඟ රඟපෑ නළු නිළියන් ද හඳුන්වා දේ. අමර් ගීත් නමින් නම් කර ඇති මෙම වැඩසටහන මඟින් දෙනුවන් දෙසවන්වලට ගෙන එන්නේ නියමකාර රසයකි. වෙනත් නාළිකාවල හින්දි වැඩ සටහන් විකාශනය නොවීම කණාගාටුදායකය.


බැද්දෙ කුලවමියට කළ කැප කිරීමට

රයිගම් සම්මාන උලෙළේ හොඳම නළුවාට සහ හොඳම නිළියට පාත්‍ර වූ මහේන්ද්‍ර පෙරේරාට සහ නදී කම්මැල්ලවීරට බැද්දෙ කුලවමිය නාට්‍යයට කරන ලද කැපවීම, සාධාරණය වෙනුවෙන් සුභාශිංසන.


රිදී තිරය වර්ණවත් කළ සබීතාට

සිංහල සිනමාවේ දිදුලන පුෂ්පයක් බඳු සබීතා පෙරේරා රිදී තිරය රංග ප්‍රතිභාවයෙන් වර්ණවක් කළ තාරකාවකි. සබීතා තුළින් සිනමාවට අවතීර්ණ වූ ඇය දෙවැනි ගමන, විරාගය, සිසිල ගිනි ගනී යන කලාත්මක චිත්‍රපට තුළත් මමයි රජා, නැවත හමුවෙමු, සුජාතා, ආත්මා යන වානිජ සිනමාව තුළින් ද සිය රංග ප්‍රතිභාවයන් මනා ලෙස ඉස්මතු කළ රගංන ශිල්පිනියකි. සිය සිනමා ගමන් මඟේ සම්මානනීය වීමට භාග්‍යවන්ත වූ සබීතා දශක ගණනාවක් පුරා රංගනයෙන් රසික සිත් පින වූ රූපණවේදිනියකි. ඔබ අපට සම්පතකි. ඔබගේ කලා දිවියට නිරතුරුව අපි සුබ පතමු.


බොදු චිත්‍රපට නිර්මාණයෙහිලා දායක වූ සැමට පිං

සිනමා කෂේත්‍රයෙහි එදා සිට අඛණ්ඩව බෞද්ධ පසුබිම තේමා කරගත් විශිෂ්්ට ලෙස එම කතා වස්තු ආශ්‍රිතව බෞද්ධ සිනමා කෘතීන් උත්කෘෂ්ඨ ලෙස නිර්මාණය කරන ලද අදියුරුන්, නිෂ්පාදකයින්, නළු නිළියන්, ගායන ශිල්පීන්, සංගීතය ප්‍රධානව සෙසු පසුබිමේ සිට අප්‍රතිහත දායකත්වය චිත්‍රපටය වෙත නතු කරන ලද අද්විතීය කර්තව්‍ය මැනැවින් ඉටු කළ හෙයින් ප්‍රේක්ෂක ජන ප්‍රවාහය එය නරඹන ලද්දේ බොදු බැතිමත් බැව් සිත්හි ධාරණය කර ගනිමින් ප්‍රීති ප්‍රමෝදයෙනි.

එපමණකින්ම, නරඹන්නන් චිත්‍රපටය නරඹන අවස්ථාවෙහිදී ගෞතම බුදුන් වහන්සේ වැඩ සිටි සමය වෙත ඔවුන් ප්‍රේක්ෂක සැම ගෙන ගොස් තිබේ. දුර්ලභ ඝණයේ වූ විදේශයන්හි පිහිටි බෞද්ධ සිද්ධස්ථාන මෙතුළින් අපි දුටුවෙමු.

අසිරිමත් වූ මෙම වෙසක් මංගල්‍යය සමයෙහිදී කැපවීම, පරිශ්‍රමය තුළින් බොදු බැති චිත්‍රපට සාර්ථක ලෙස නිමවා සිනමා රසික ජනතාව වෙත රිදී තිරය මතින් නැරැඹීමට අවකාශ සැලසූ සැම වෙත නිදුක් නිරෝගී සුව සෙත හා ජීවතුන් අතර නොමැති සැමට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි.