වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




නිධානය ගිල්ල රටේ චිත්‍රපට හොර පාරෙන් යන හැටි

නිධානය ගිල්ල රටේ චිත්‍රපට හොර පාරෙන් යන හැටි

ප්‍රවිණ චිත්‍රපට විචාරක අජිත් ගලප්පත්තිගේ හෙළිදරව්ව

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිය ජීවිත කාලය තුළ ඡන්දයෙන් බලගතු වූ පාලකයින්ගෙන් ගෙයක් ඉල්ලා සිටියේය. ඒ තමාට නොව තමාගේ චිත්‍රපට 30 (කෙටි චිත්‍රපට ද ඇතුළුව) ද සමඟ මෙරට තැනුණු චිත්‍රපට 1300 ම සුරක්ෂිතව තබන්නටය. එම නිවස ඔහු ඉල්ලා සිටියේ පනස් ගණන්වල සිටය. කුලී නිවැසියකු වූ ඔහු තමාට ගෙයක් දෙන්නැයි ශ්‍රී ලංකාවාසී දේශපාලකයින් කිසිවකු ඉදිරියේ බැගෑපත් වී ඇතැයි අප අසා නැත. අන් කලාකරුවන් පාලකයින් පසුපස යද්දී ඔහු එම පාලකයින් තම කුලී නිවසට ගෙන්වා ගැනීමට තරම් නිවහල් අභිමන් මිනිසකු විය. අන් කලාකරකුවන් පාලකයින් තම ජනතාවගේ මනාපය හිඟා කන තාවකාලික වේදිකාවල නිවි නිවී පත්තු වන බල්බ් වැලක් වන විට ලෙස්්ටර් තම කුලී නිවසට වී තම ඊළඟ චිත්‍රපටය ගැන සිතුවේය. කෙසේ වුව ද ඔහු ඉල්ලා සිටි ගෙදර ඔහුට සහ සිනමාවට නොලැබිණි. සිය වසක් ආසන්නව ජීවත් වී අවසන් හුස්ම පොද අහසට එකතු වන තත්පරයේද ද ඔහුගේ ශ්‍රී නාමය මෙරට සිනමා ශාලා තුළ ප්‍රක්ෂේපනය වෙමින් තිබිණි. ඒ දැනට තිරගත වන වෛෂ්ණාවී චිත්‍රපටයේ කතා සංකල්පය ඔහුගේ වන නිසාය. රටට සහ ලෝකයට බොහෝ දෑ දායාද කළ ඔහු ඉල්ලා සිටි නිවහන දීගන්නට බැරි අසමත් ජාතියක් වන අප තවමත් ඔහුගේ ශ්‍රී දේහය උර මත තබාගෙන කිඹුල් කඳුළු හෙලන්නෙමු. ඔහු කළ කී දෑ සොය සොයා ගුණ වයමින් අප නොකළ හා කළ යුතුම තිබුණු දෑ හෘදය සාක්ෂිය පතුලේ සඟවමින් අපි මැරි මැරී උපදින්නෙමු.

ජීවිත කාලය පුරාවටම දේශපාලයින් ළඟ දනින් වැටී නිවසක් ඉල්ලා නැති ඔහුගේ දේහය තබාගෙන අපි දේශපාලකයින් ඉදිරියේ හඬා වැටුණෙමු. කුලී නිවැසියකු වූ ඔහුගේ නමින් එම නිවස තබන්නැයි ජනාධිපතිතුමාගෙන් බයාදු ලෙස අපි ආයාචනා කළෙමු. රජයෙන් ඔහුට දුන් දීමනා සිය බිරිඳට දෙන්නැයි බැගෑපත් වීමු.

ඔහු සිය 99 වියැති ජීවිතය සහ 69 වියැති සිනමා ජීවිතය පුරා ඉල්ලා සිටි නිවස එනම් අපගේ චිත්‍රපට 1300 සංරක්ෂිතව තැබිය හැකි නිවස ගැන හෙණ හත වදින කතාවක් අපට අසන්නට ලැබිණි. ඔහු ඉල්ලා සිටි චිත්‍රපට සංරක්ෂණාගාරයක් ඉදි කරනු වෙනුවට දැනට ඉතිරිව තිබෙන සිංහල චිත්‍රපට ස්වල්පය ද සංරක්ෂණ ලේබලය අලවාගෙන සිටින චිත්‍රපට තොග වෙළෙන්දන් හට කුණු කොල්ලයට විකුණන ජාවාරමක් ගැන අපට අසන්නට ලැබිණි. එම තුච්ඡ කතාව අසන්නට ලැබුණේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා භූමියෙන් වීම ද වැදිය යුතු හෙණ හත දෙගුණ කරන්නකි.

චිත්‍රපට සංස්ථාව තුළ සිදු වන මෙම සාපරාධී චිත්‍රපට මංකොල්ලය ගැන මා මෙලෙස මාධ්‍යය හරහා ජනතාවට හෙළි කරන්නට පෙර කරුණු විමසා සිටියේ චිත්‍රපට සංස්ථාවෙනි. පළමුව එහි සභාපතිවරයා දැනුවත් කරමින් පසුගිය අප්‍රේල් 27 දා ලිඛිතවම දන්වා සිටියෙමි. එම ලියුම තමාට ලැබුණු බව ඔහු මා හට දන්වන ලද්දේ ලෙස්ටර් මහතාගේ අවමඟුල් උත්සව භූමියේදීය. එම ලියුම විගණකාධිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත්, විගණකාධිපතිවරයා එම පැමිණිල්ල පරීක්ෂා කොට එකී අපරාධය පරීක්ෂණ සඳහා භාර ගන්නේ ද යන්න මැයි 8 දා වන විට තමාට දන්වන බවත් චිත්‍රපට සංස්ථා සභාපතිවරයා මා හට කීවේය.

තම ආයතනය තුළ මහ දවාලේ මහා මංකොල්ලයක් හා ජාතික අපරාධයක් සිද්ධ වන බව අප වගකිව යුතු ලෙස දන්වා සිටියදී චිත්‍රපට සංස්ථාවේ ප්‍රධානියා එම පැමිණිල්ල පිටස්තර තවත් ආයතනයකට පවරනු වෙනුවට ඔහු තම බලතල සීමාව තුළ කුමක් හෝ පියවරක් ගත යුතුව තිබුණ බව මගේ හැඟීමයි. අඩුම තරමින් පරීක්ෂණයක් සිදු කරන තුරු අදාළ වගකිවයුත්තා එතැනින් මඳකටවත් ඉවත් කොට එතැන එවැන්නක් සිදු වනවාද නැද්ද යන්නවත් මූලිකව සොයා බැලිය යුතුව තිබිණි. නරියා කුකුල් කොටුව භාරව සිටින තාක් එම කොටුවේ කුකුලන්ගේ තත්ත්වය ගැන සෙවිය හැකි නොවේ. අහෝ රටේ සිද්ධ වන්නේ එබඳුම වූ නරි රැලකින් යුත් කමිටු පත් කර එම කුකුල් කොටුවල ඇටසැකිලි වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කොට වාර්තා සෑදිම පමණකි. (මේ සිදුවීම් මාලාව ඇරඹෙන්නේ අද ඊයේ නොවේ.)

මෙම ලියුම යවා සති දෙකක් ගත වී ඇත. පිළිතුරු නොලද බැවින් අපි චිත්‍රපට සංස්ථාවේ එයට අදාල නිලධාරියාගෙන් ප්‍රශ්න කළෙමු. ඔහු නිරුත්තර විය. තුෂ්ණිම්භූතව ගොත ගසමින් ඔහු අපට දුන් සමනළ වර්ණ පිළිතුරු පටිගත වී ඇත. අවසානයේ 'සභාපතිතුමා කතා කරනවා' යැයි කියමින් ඔහු පැන ගියේය.

අප ඔහුගෙන් විමසූ පළමුවැනි ප්‍රශ්නය වූයේ දේශීය චිත්‍රපට සම්බන්ධ බලගතුම රාජ්‍ය ආයතනය වන චිත්‍රපට සංස්ථාවට අයත් චිත්‍රපට ගබඩාවෙහි මේ වන විට ඇති සිංහල චිත්‍රපටවල ලැයිස්තුවක් තිබේද' යන්නයි. දැනට එබඳු චිත්‍රපට ලැයිස්තුවක් නැති බවත්, තව නොබෝ දිනකින් තොග ගණන් බැලීමට අපේක්ෂා කරන බවත්, ඒ වන තෙක් ඇත්තේ මීට වසර හය හතකට උඩදී ගත් ලැයිස්තුවක් බවත් ඔහු කීය. මෙය කෙතරම් තක්කඩි පිළිතුරක්ද? ලැයිස්තු කිසිවක් නැති ගෙවුණු වසර හය හත තුළ අලුත් චිත්‍රපට කොතරම් තැණුනේද? මෙම කාලය තුළ නිසි සංරක්ෂණ පිළිවෙතක් නොමැති මෙන්ම සංරක්ෂණ වෙළෙඳුන් නිතර ගැවසෙන චිත්‍රපට සංස්ථා ගබඩාව තුළ කොතරම් චිත්‍රපට ප්‍රමාණයක් විනාශ වී තිබේද? චිත්‍රපට සංස්ථාව දේශීය චිත්‍රපට විනාශ කරන තරම අපි මෙලෙස හෙළි කරමු.

තම භාරයේ ඇති චිත්‍රපට ගැන අඩුම තරමින් වසරකට වරක්වත් එබඳු ගණන් බැලීමක් නොකරන්නේ මන්දැයි අපි විමසීමු. පිළිතුර 'චිත්‍රපට නිෂ්පාදකවරු විටින් විට තම චිත්‍රපට පිටපත් රැගෙන යන බැවින් ගබඩාවේ ඇති චිත්‍රපට සංඛ්‍යාව අඩු වන බවයි. 2013 වසරේදී සකස් කරන ලද චිත්‍රපට ලැයිස්තුවක් අප සතු බව කී විට ඔහු පවසන්නේ එම ලැයිස්තුව එහි ගෙන ආවොත් ගබඩාවේ දැනට ඇති චිත්‍රපට ලකුණු කර දිය හැකි බවයි. රජයේ වගකිව යුතු චිත්‍රපට ගබඩාවේ සංරක්ෂිත ලැයිස්තුවක් එහි පාලකවරයාගෙන් විමසූ කළ අප සොයා ගත් ලැයිස්තුව ගෙනෙන්නයි කීම චිත්‍රපට භාෂාවෙන්ම විග්‍රහ කරන්නේ නම් 'සිනා සාගරයකි' 'සමනළ වර්ණ ජවනිකාවකි.

ශ්‍රී ලංකාවේ මේ වන විට තනා ඇති චිත්‍රපට 1300 ලැයිස්තු ගත කිරිමටවත් සැලැස්මක් නැති රටක කුමන සංරක්ෂණයක්ද? තම ගබඩාවේ ඇති චිත්‍රපට සංඛ්‍යාවවත් නොදන්නා පුද්ගලයන් කෙබඳු දුෂ්ට - විකට නළුවන්ද? ගබඩාවේ චිත්‍රපට නිෂ්පාදකවරු රැගෙන ගිය නිසා එම සංඛ්‍යාව අඩු වී යැයි පිළිතුරු දීම කවර තරමේ වංචනික කතාවක්ද? එසේ නිෂ්පාදකවරු ගෙන ගිය චිත්‍රපටවලට අදාළ ලියකියවිලි සාක්ෂි තිබේදැයි විමසූ කළ සභාපතිතුමාගේ අනුමැතිය යටතේ එම චිත්‍රපට පිටතට රැගෙන යාමට ඉඩ දුන් බවයි. එසේ ගබඩාවෙන් පිට කළ එම චිත්‍රපටවලට කුමක් වීද? අප විමසන්නේ එසේ පිටතට රැගෙන ගිය හා ඉන් පසු ඉතිරි වූ චිත්‍රපට පිළිබඳ නිරවුල් සංඛ්‍යා නාම ලේඛනයි. එබඳු විනිවිද පෙනෙන සත්‍ය සංඛ්‍යා ලේඛනයක් සකස් නොකරයි. ඉතිරි චිත්‍රපට පිටපත් ස්වල්පයත් පිටස්තර ව්‍යාපාරිකයන්ට විකිණීමේ අරමුණ ඇතිව යැයි පවසන්නේ චිත්‍රපට සංස්ථා සේවකයන්මය. එසේ පන්නන ලද චිත්‍රපට මත සංරක්ෂකයින්ගේ නම් කොටා චැනල් හරහා තව නොබෝ දිනකින් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය වනු ඇත. චිත්‍රපට සුරැකීම භාර රාජ්‍ය ආයතනය තුළ සිදුවන සාපරාධී මහා චිත්‍රපට මංකාල්ලය අප ඉදිරියේ ප්‍රක්ෂේපණය වනුයේ 'බඩුත් එක්ක හොරු' චිත්‍රපටයක් ලෙසිනි. එසේ් නැතිනම් 'රෑ දනියෙල් දවල් මිගෙල්' යනුවෙනි. අපේ චිත්‍රපට උරුමය හතර මහ නිධානයක් ලෙස ගෙන ලක්සෙට කොඩි දමන 'ලෝක හොරුන්ගේ' 'කපටිකමට' තවත් ඉඩ දිය යුතුද? සංරක්ෂණයේ 'සූරයන්ගෙත් සූරයෝ' රජයේ චිත්‍රපට ගබඩාවෙන් පැරණි චිත්‍රපට පිටපත් මංකොල්ල කා තම මුලකුරු කොටා චැනල්වලට විකුණන තොග වෙළෙඳුන් නොවේ. එබඳු 'කපටි ආරක්ෂකයින්' 'චණ්ඩියා' වනුයේ රාජ්‍ය සංරක්ෂකයින් 'සල්ලි මල්ලි සල්ලි' කියමින් 'ගරිල්ලා මාකටින්' කරද්දීය. රජයෙන් වැටුප් ලබන 'ලෝක හොරුන්ගෙන්' අප විමසනුයේ රජයේ චිත්‍රපට ගබඩාවේ මීට කලකට ඉහත දී තිබුණු 'බවදුක' 'බවකර්ම' සිටු කුමරියෝ' 'සසර චේතනා' 'ඔහොම හොඳද' වැනි වටිනා පැරැණි සිංහල චිත්‍රපට එම රාක්කවලම තිබේ ද යනුවෙනි. 2013 දී චිත්‍රපට සංස්ථා ගබඩාවේ සහකාර කළමනාකරු විසින් සිය අත් අකුරින්ම ලියන ලද එකී චිත්‍රපට පිටපත් 2000 කින් යුත් ලැයිස්තුවේ අදාළ සිංහල චිත්‍රපටයන්හි පිටපත් ගණන සහ රීල් ගණන පමණක් නොව එම පිටපත තබා ඇති රාක්ක අංකය පවා සඳහන්ය. ගෙවුණු වසර 5 තුළ එම ලැයිස්තුව 'අප්ඩේට්' නොකරනුයේ මන්දැයි චිත්‍රපට සංස්ථාවේ සේවකයින් සමඟ කපටි ආරක්ෂකයෝ ද දනිති.

නිසි ලේඛන සාක්ෂි නොමැතිව අවුල්ව අරාජිකව තැබූ විට කල් යල් බලා එම වටිනා චිත්‍රපට තොග මිලට පැන්නීම පහසු යැයි සේවකයෝ කියති. මෙම හොර බඩු නවතින්නේ ශී‍්‍ර ලංකාවේ චැනල් ළඟය.

රජයේ චිත්‍රපට ගබඩාවේ ඇති චිත්‍රපටවල ලැයිස්තුවක් නැත්තේ මන්දැයි නැවත නැවතත් අප වෙතින් ප්‍රශ්න කරවන්නට තරම් ඔහුගේ හැසිරීම සැකසහිත විය. නිසි පරිදි වායු සමන පහසුකම්වත් නැති ගබඩාවක ලෙස්ටර්, පතිරාජ, වසන්ත, ධර්මසිරි, සුමිත්‍රා වැනි යෝධ සිනමාකරුවන්ගේ කලා කෘති සුරක්ෂිතව තබා ගත හැකි ද යන සරල ප්‍රශ්නය ඔහුගෙන් ඇසූ කළ ඔහුගේ කෙටි පිළිතුර වූයේ චිත්‍රපටයක් නරක් වුණාම එය අයින් කරන බවයි. රීල් 12 ක පිටපතකින් රීල් 2 - 3 ක් නරක් වූ විට එම චිත්‍රපටයම විනාශ කොට දමන බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අදාල නිලධාරියා වගකීමෙන් යුතුව පවසයි. එසේ විනාශ කිරීම සඳහා තමා විසින් දළුගම චිත්‍රාගාරය වෙත යවන බව ඔහු කියයි. එසේ විනාශ කළ සිංහල චිත්‍රපට ලැයිස්තුවක් අප ඉල්ලා සිටි විටද සංස්ථාවේ පිළිතුර වන්නේ එම ලැයිස්තුව දළුගම චිත්‍රාගාරයේ තිබිය හැකි බවයි. විනාශ කිරීමට එහි යවන චිත්‍රපටවල ලැයිස්තුවක් තබා ගැනීමට තරම්වත් එම චිත්‍රපට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට වටින්නේ නැද්දැයි අප ප්‍රශ්න කළ විට ඔහු තම නිදහසට කාරණාව වෙනතකට හරවනුයේ තමාට කලින් සිටි අදාල නිලධාරියා ළඟ එබඳු විනාශ කළ සිංහල චිත්‍රපට ලැයිස්තුවක් තිබුණු බවයි.

රාජ්‍ය ලේඛනාගාරය තුළ 2014 දී ලෙස්ටර් මහතා අතින් විවෘත කරනලද චිත්‍රපට අධි ලේඛනාගාරයට චිත්‍රපට සංස්ථා ගබඩාවේ ඇති වටිනා චිත්‍රපට ලබා නොදෙන්නේ මන්ද? සංස්ථා ගබඩාව අනාරක්ෂිත යැයි අප පවසන්නේ එහි වායු සමීකරණ පහසුකම් හරියාකාරව නැති නිසා පමණක් නොවේ. අඩුම තරමින් එහි ඇති චිත්‍රපටවල නිරවුල් ලැයිස්තුවක්වත් පවත්වාගෙන නොයන තරමට එහි චිත්‍රපට අනාරක්ෂිත නිසාය.

2013 දී සකස් කළ චිත්‍රපට සංස්ථා ගබඩාවෙහි ඇති චිත්‍රපට ලැයිස්තුවෙහි ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ 'බැද්දේගම', 'දෑස නිසා', 'පිංහාමි', 'වීර පුරන් අප්පු', 'අම්මාවරුනේ', 'වෑකන්ද වලව්ව' වැනි චිත්‍රපට යහමින් සුරැකී තිබිණි. එම චිත්‍රපට එකල සුරක්ෂිතව තබා තිබුණු රාක්ක අංක පවා අප සතුව ඇත. ඉතා කෙටි දිනක් පමණක් තිරගත කෙරුණු 'වෑකන්ද වලව්ව' චිත්‍රපටයේ පමණක් පිටපත් 13 ක් චිත්‍රපට සංස්ථාව භාරයේ තිබී ඇත. 'බැද්දේගම' චිත්‍රපටයේ පිටපත් 3 ක්ද 'පිංහාමි' චිත්‍රපටයේ පිටපත් 2 ක්ද ඉතිරි චිත්‍රපටවල පිටපත බැගින් ද චිත්‍රපට සංස්ථාවේ තිබී ඇත. ලිඛිත සාක්ෂි සහිතව මෙම චිත්‍රපට ගැන අප ප්‍රශ්න කළ විට අදාල නිලධාරියා ගොත ගැසිණි.

ලෙස්ටර්ගේ සම්භාවනීය චිත්‍රපටවලට අමතරව පතිරාජ, සුමිත්‍රා, වසන්ත, ධර්මසිරි වැනි කෘතහස්ථ සිනමාවේදීන්ගේ කෘති ද මේ දිනවල චිත්‍රපට නරක්වීම නිසා අධික දුගඳක් හමන රාජ්‍ය චිත්‍රපට සංස්ථා ගබඩාවෙහි අනාරක්ෂිතව ඇත. 'බඹරු ඇවිත්', 'සොල්දාදු උන්නැහේ', 'ගැහැණු ළමයි', 'දඩයම', 'බව දුක', 'බව කර්ම', 'චංචල රේඛා', 'නිල්ල සොයා', 'විරාගය', 'අහස් ගව්ව' වැනි චිත්‍රපටවල පිටපත් 2000 ක් ඒවා තිබූ රාක්ක අංක ද සහිතව අප සතුව ඇත. එම ලැයිස්තුව ද චිත්‍රපට සංස්ථාවේ වගකිව යුතු නිලධාරීන් විසින් සුපරික්ෂාකාරීව සැකසූ බලගතු ලියැවිල්ලකි. මේ චිත්‍රපට රාජ්‍ය ලේඛනාගාරයේ මීට වසර 4 කට ඉහතදී විවෘත කරන ලද නවීනතම චිත්‍රපට සංරක්ෂණාගාරයට නොදෙන්නේ මන්දැයි විමසුවෙමු. චිත්‍රපට සංස්ථාවේ අපූරු පිළිතුර වනුයේ ඉදිරි කාලයේදී දමිත් ෆොන්සේකා මහතාගේ මෙහෙයවීමෙන් චිත්‍රපට සංස්්ථාවේ සංරක්ෂණාගාරයක් සැලසුම් කරන බැවින් මෙම චිත්‍රපට එහි තැබිය හැකි බවයි. රාජ්‍ය ලේඛනාගාරයේ චිත්‍රපට සංරක්ෂණාගාරය තවමත් සකස් වෙමින් පවතින බැවින් ද තම ගබඩාවේ චිත්‍රපට එහි නොයැවෙන බව සංස්ථා නිලධාරියා කියයි. චිත්‍රපට සංස්ථාවේ දළුගම චිත්‍රාගාරයේ සහ ගබඩාවේ තිබුණු චිත්‍රපට 300 ක් පමණ රාජ්‍ය ලේඛනාගාරය වෙත යවා ඇති බව ද ඔහු හෙළි කරයි. එතැනදී ද නිවැරැදි සංඛ්‍යාවක් කීමට සංස්ථාව අපොහොසත් වෙයි. '300 ක් පමණ' යනු 300 ක් නොවේ. ගබඩාවේ සිංහල චිත්‍රපට කීයක් තිබේදැයි නැවත නැවතත් ප්‍රශ්න කරන විට වගකිව යුතු නිලධාරියාගේ පිළිතුර වනුයේ 'පිටපත් 2000 ක් 3000 ක් විතර' තිබිය හැකි බවයි. පිටපත් එතරම් වුව ද චිත්‍රපට '500 කට වඩා' නැතැයි ඔහු කියයි. 'නිවැරැදිව සංඛ්‍යාවක් කිව නොහැකිදැයි' විමසූ කළ 'තමාට සභාපතිතුමා හදිසියේ එන්න කියනවා' යැයි කියමින් ඔහු මෙම දුරකථන සංවාදය අතරමඟ නවතා දමන්නට තරම් ස්ථාමෝචිත වූයේය.

චිත්‍රපට සංස්ථාවේ ඇති චිත්‍රපට පිටස්තර වෙළෙන්දන්ට තුට්ටු දෙකට විකුණන දූෂිත මංකොල්ලයක් වන බවට සාක්ෂි ඇතැයි අප කී විට සංස්ථා නිලධාරියා සිනාසෙමින් පිළිතුරු දුන්නේ එම චිත්‍රපටවල අයිතිකරුවන්ගෙන් ලියුමක් සභාපතිට යොමු කොට එතුමාගේ අනුමැතිය යටතේ මෙහෙයුම් අංශය ඉල්ලා සිටින චිත්‍රපට මිස ඉන් පිටත කිසිදු පිටපතක් පිටතට නුදුන් බවයි.

නරක් වූ චිත්‍රපට විනාශ කරන්නේ පොලීසිය සහ ගිනි නිවන හමුදාවේ නිලධාරින් සමඟ චිත්‍රපට සංස්ථාවේ ද නිලධාරීන් ඉදිරිපිට දී යැයි ඔහු හෙළි කරයි. මෙසේ පැරැණි චිත්‍රපට විනාශ කිරීම සහ නියම සංරක්ෂණයකට හෝ අඩුම තරමින් නිසි සංගණනයකටවත් ඉඩ නොතබා විනාශ වන්නට ඉඩ හැරීමේ මුවාවෙන් චිත්‍රපට සංස්ථාව තුළ සාපරාධී චිත්‍රපට මංකොල්ලයක් සිදු වන බව අප වත්මන් චිත්‍රපට සංස්ථා සභාපතිට පැවසීමු. ඔහුගේ පිළිතුර වූයේ නරක් වූ චිත්‍රපට විනාශ කිරීමට කිසිවකුට කොයියම් හෝ විටක බලය පවරා නැති පවයි. තවදුරටත් ඔහු අප සමඟ කීවේ සංස්ථාව තුළ ඛ්ඛ්ඊඍ කැමරා සවි කිරීමට සැලසුම් කර ඇති බවයි. ඉන් ව්‍යංගවත් වන්නේ චිත්‍රපට සංස්ථාව තුළ මෙබඳු මංකොල්ලකෑම් සිදු වන බව එහි ප්‍රධානීන් ද දන්නා බව ද?

කළ යුතු වන්නේ අශ්වයා පැන ගිය පසු ඛ්ඛ්ඊඍ කැමරා සවි කිරීම නොව තවමත් මංකොල්ල නොකෑ චිත්‍රපට කිහිපය හෝ සුරක්ෂිතව වෙළෙන්දන්ට ඇතුළු විය නොහැකි රාජ්‍ය ලේඛනාගාරය වෙත වහා යැවීමයි. එසේම 2013 දී චිත්‍රපට සංස්ථාවම සකස් කළ තමා භාරයේ ඇති චිත්‍රපට ලැයිස්තුව දැනට ඉතිරිව ඇති චිත්‍රපට සමඟ සසඳා මංකොල්ලකරුවන් සහ ඔවුන්ගෙන් යැපෙන රාජ්‍ය නිලධාරීන් එකමුතුව සොරා කන ලද චිත්‍රපට කොතරම්ද යන්න තක්සේරු කර බැලීමයි.