වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් මම වැඩිපුර කියවන්නේ බෞද්ධ පොතපත

දැන් මම වැඩිපුර කියවන්නේ බෞද්ධ පොතපත

දිගු කලකට පසු සබීතා පෙරේරා

මා නේදෝ සබීතා . . . ‘සබීතා’ චිත්‍රපටයේ රඟපාමින් ඈ ගැනම ගැයූ හැටි මට මතක් වෙනවා. ඒ මීට දශක ගණනාවකට ඉහතදී. ඒ වෙනකොටත් ඇය පාසල් ශිෂ්‍යාවක්. මේ ඉන්නෙත් ඒ සබීතාම තමයි. ඒත් ඈ දැනුමින්, අත්දැකීමෙන්, වයසින් සියල්ලෙන් මුහුකුරා ගිය සොඳුරු ගැහැනියක් ලෙසින් ජීවිතේ ගැන පෙර නොවූවිරූ විසල් අවබෝධයක් ඇති තැනැත්තියක් ලෙසින්. හැබැයි ඒ තුළ පෙරදා අපි ආදරය කළ සුරූපිණිය, නිරූපණ ශිල්පිණිය, සිනමා තාරකාව නොසිඳෙන ලෙසින් ආදරයෙන් ආරක්ෂා කර ගනිමින්.

සබීතාට වාසනාව ගෙනාවේ ‘සබීතා’ම තමයි. ඒ ඇගේ පළවෙනි චිත්‍රපටය. සුවිසල් සිනමා ගමනක ඇරඹුම එතැනයි.

‘මගේ ජීවිතේ හුඟක් කුඩා කාලෙදි වෙච්ච දෙයක් වුණත් මට හීනයක් වගේ තාමත් ඒවා මතකයි. මට අවුරුදු තුනේදී විතර මිදුලේ සෙල්ලම් කරමින් ඉන්නකොට තාත්තා ඇවිත් කතා කළා පුතේ අපි ගමනක් යමු කියලා. මමත් ලෑස්ති වෙලා ගියා. තාත්තා කියන කියන විදියට මමත් හිටියා. එක සැරයක් තාත්තගේ දුව විදියට. තව සැරයක් අම්මගෙ දුව විදියට. ඒක තමයි පළවෙනි සිනමා අත්දැකීම. මට ප්‍රධාන චරිතයක් ලැබුණ පලවෙනි චිත්‍රපටය ‘සබීතා’. ඒක මගේ නමින්ම හැදුණු හැටි ගැන අදත් මට පුදුමයි.’

සබිතාට පුදුම වෙන්න දෙයකුත් නෑ. ඒක ඇගේ දෛවයේ ලියවිලා තියෙන්න ඇති. ඈට උරුම සිනමාව පමණක්ම වෙන්න ඇති. අම්මා තාත්තා දෙන්නම සිනමා නළු නිළියෝ වුණාට සබීතාටත් හැකියාවක්, දක්ෂතාවයක් නොවුණා නම් සිනමාවේ මෙපමණ දුරක් ආ හැකිද? ගෙවුණු දශක ගණනාව පුරාම ඈ ඒක ඕනවටත් වඩා ඔප්පු කොට තිබෙනවා. ඉතා සරල චිත්‍රපටයකින් පටන් අරගෙන සිනමාව තුළ විවිධ චරිත නිරුපණයේලා ඈ පෑ දක්ෂතාවය අපමණයි. කලාත්මක සිනමාව ගත්තත්, වාණිජ සිනමාව ගත්තත්, මැද මාවත ගත්තත් මේ සියල්ලේ ඇග් නම තිබෙනවා.

‘මම සිනමාවට ආවේ සිනමාවේ ස්වර්ණමය යුගයක. ඒ කාලේ විවිධ ගණයේ චිත්‍රපට ඕන තරම් හැදුණා. මට ඉතාම හොඳ අධ්‍යක්ෂවරු ලැබුණා. ‘සබීතා’ චිත්‍රපටය ඒ ගමන එන්න අඩිතාලම දැම්මා. ඊට පස්සේ මම ‘හස්ති වියරුව‘ ‘ඇර සොයිසා’ වගේ චිත්‍රපට දෙක තුනක් කළාට සිනමාවේ මගේ දෙවැනි උපත සිදු වුණේ ‘දෙවැනි ගමන’ චිත්‍රපටයෙන්.’

ඈ අතීත මතක අතරට යනවා. දෙවැනි ගමන අදටත් අපේ ආදරය රැඳුණ චිත්‍රපටයක්. ඒ කාලයේ හැටියට චිත්‍රපටයකින් කතා නොකළ වැඩිහිටි තේමාවක් වුණු ස්ත්‍රියකගේ කන්‍යාභාවය ප්‍රස්තුත කරගත්තක්. සිනමා පේ‍්‍රක්ෂකයන් අතර සබීතා පෙරේරා නම් නිළිය කෙරෙහි ආකර්ෂණීය පසුබිමක් නිර්මාණය වෙන්නේ ඒ හරහා.

‘දෙවැනි ගමන මගේ සිනමා ජීවිතෙත් දෙවැනි ගමන වුණා. මං හිතන්නේ ඒ චිත්‍රපටය මුළු ලංකාවම බැලුවා. ගිය සතියේ දවසක රූපවාහිනී නාළිකාවකින් ආයෙත් විකාශය වෙනවා දැක්කා. මට හිතුණා මේක තවත් බලන් ඉන්න පුළුවන් නේද කියලා. චිත්‍රපටය ඉවර වෙනකම් බලන්න මට ආසාවක් තිබුණත් හදිස්සියේ එළියට යන්න වුණා.’

ඈ කියන්නේ හිතේ උපන් කනගාටුවකින්. සිනමාව වෙනුවෙන් ජීවිතෙන් හරි අඩකටත් වඩා කැප කළ සිනමා නිළියකට නිර්මාණ තරම් සැනසුමක්, ආශ්වාදයක් තවත් නැති බව ඈ පසක් කරනවා. අද ඈ ගෙවන්නේ සිනමාව නිසා කාර්යබහුල නොවන ජීවිතයක්. තමන්ට ගැළපෙන තෝර බේරා ගත් නිර්මාණයක පහසුවෙන් රඟපෑම ප්‍රතික්ෂේප නොකරන්නේ ඈ සිනමාවෙන් උපන් නිළියක් නිසා. ඈ රඟපෑ අවසන් චිත්‍රපටය වුණේ ජැක්සන් ඇන්තනීගේ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටය. ඒක තිරගතවීත් දැන් වසර හතර පහකට වැඩියි.

‘මගේ සිනමා ජීවිතේ පටන් ගත්ත දවසේ ඉඳලා මම කාර්යබහුල වුණා. කොටින්ම කිවුවොත් මට පෞද්ගලික ජීවිතයක් ගැන ඒ කාලේ හිතන්නවත් වෙලාවක් තිබුණේ නෑ. ඒ තරමට මම සිනමාව වෙනුවෙන් කැප වුණා. මට විවිධ වර්ගයේ ඉතාම හොඳ නිර්මාණ ලැබුණා. විවිධ අධ්‍යක්ෂවරු යටතේ රංගනයට ඉඩ සැලසුණා. ඒ චිත්‍රපට නිසා අති විශාල ජනතා ප්‍රසාදයක් හිමි වුණා. මිනිස්සුන්ගේ ආදරේ මට නොඅඩුව ලැබුණා. බෞද්ධ කෙනෙක් විදියට මම විශ්වාස කරනවා මේ දේවල් ලබන්න මම ගොඩාක් පින් කරලා තියෙනවා කියලා. මාව සිනමාව තුළ ජීවත් කෙරෙව්වේ ඒ ආදරය.

මෑත භාගයේ වුණත් මට චිත්‍රපටවලට ආරාධනා නොලැබුණා නොවෙයි. නමුත් විවිධ හේතු මත තෝරා බේරාගෙන රඟපාන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් මගේ ජීවිතේ ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ ගෙදරට. බිරිඳක්, මවක් විදියට මට ඉටු කරන්න සහ පැවරෙන සුවිශේෂී වගකීම් තියෙනවා. ගෘහණියක් විදියට ඉටු කළ යුතු යුතුකම් තියෙනවා. ඒවට බාධාවක් නොවන අයුරින් රංගනය කිරීම මගේත් යුතුකම වෙනවා.

සබීතා පෙර දින සිනමාව වෙනුවෙන් නොපිරිහෙළා යුතුකම් ඉටු කළ කැප කිරීම් කළ නිළියක්. එහෙත් ඈ අද දින නිළි ජීවිතය පසුපසින් දැවැන්තව නැඟී සිටින ගෘහණියක, බිරිඳක, මවක යන භූමිකාවන් තුළ ජීවත්වන ගැහැනියක්. ඒ තුළ ඈ කාර්ය බහුලයි.

‘මම සිනමාවෙන් ඈත් වුණේ මගේ විවාහයත් සමඟමයි. මුල් යුගයේ සිනමාවට කැප වුණා වගේම මම විවාහ වෙනකොට හිතුවා ඒකටත් මම කැප වෙනවා කියලා. මම ගතකරපු ජීවිතේ හැටියට විවාහ ජීවිතයට හුරුවන එකත් අපහසු කාර්යක් වුණා. ගෙදරක වගකීම්, බිරිඳකගේ වගකීම් පිළිබඳ සිතන්න කාලයක් ඉස්සර මට තිබුණේ නෑ. ජීවිතේ පුරාම කළේ චිත්‍රපට රංගනය විතරක් නිසා. නමුත් මම ඒකට කැප වෙලා ඒ තුළ සාර්ථක ගමනක් ආවා. මේ ජීවිතේ හරියට හදා ගන්න මට ගොඩාක් මහන්සි වෙන්න වුණා. ඒකට මට මගේ සැමියා උපාලි ගොඩක් උදව් කළා. දැන් අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු 20 ක් ගතවුණා. පුතාට දැන් අවුරුදු 18 ක්. මේ කාලය ඇතුළත ගෙදර වගකීම්, පුතාගේ වගකීම් සියල්ලම මගේ අතේ. උපාලිගේ ව්‍යපාරික කටයුතුත් එක්ක එයා කාර්යබහුලයි. ගෙදර දොර කටයුතු පිළිවෙලට පිරිසුදුව, කලට වෙලාවට උපාලි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම ඒකට කැප වුණා.

අපි විවාහ වූ දා සිටම අවුරුදු 20 ක් යනතුරු හිටියේ රාජගිරියේ පිහිටි නිවසේයි. දැනට මාස දෙකකට විතර කලින් අපි නව නිවෙසක් තනාගෙන එහි පදිංචියට ආවා. දැන් අපි ඉන්නේ නො, 66 ඒ වෝඩ් පෙදෙසේයි. අපි තවමත් මේ අලුත් තැනට පුරුදු වෙමින් ඉන්නවා. පසුගිය කාලෙ පුරාම රථවාහන තදබදය නිසා අපි ලොකු අපහසුතාවයකට පත්වෙලා හිටියා. දැන්නම් ටික ටික ඒකෙන් මිදෙමින් ඉන්නවා. පසුගිය ටිකේ අලුත් නිවෙසේ වැඩ කටයුතු වෙනුවෙන් කාර්යබහුල වෙලා හිටියා. අලුත් චිත්‍රපටයක් කරන්න කැමති වෙලා ජනවාරි මාසේ දින දීලත් තිබුණා. ඒත් ඒක කල් ගියා.’

සබිතා කාලෙකින් චිත්‍රපටයක රඟ නොපෑව ද අදටත් ඈ සිනමාව තුළ සජීවීය. සිනමා උත්සව කලාකරුවන්ගේ උත්සව මෙකී නොකී තැන්හි ඇගේ සහභාගිත්වය නිතර දකිනවා. මේ සියල්ල අතරතුර අදටත් ඇගේ ජීවිතයේ ලොකුම විනෝදාංශය චිත්‍රපට නැරඹීමයි. පොත් කියවීම සහ සිංදු ඇසීමත් ඊට සමගාමීව නිතර සිදුවන්නක්.

‘මම චිත්‍රපට නරඹන්න පුරදු වුණේ රංගනයට ආව මුල් කාලය්දීමයි. අදටත් ඒ පුරුද්ද මගෙන් අතහැරිලා නෑ. ඉස්සර තනිකඩව ඉන්න කාලේ නම් අසීමිතව ඒකට ඇබ්බැහිවෙලා හිටියා. ඒත් දැන් ඒක ටිකක් අඩුයි. අපේ පවුලේ තුන්දෙනා පිටරටකට ගියත් අපි වැඩිපුර කරන්නේ චිත්‍රපට බලන එක. පුතයි, උපාලිත් ඒකට කැමතියි. පොත් කියවන පුරුද්දත් මට ඉස්සර ඉඳලම තිබුණා. දැන්නම් වැඩිපුර කියවෙන්නේ බෞද්ධ පොතපත. ඒක මගේ මනස පහසුවෙන් තියාගන්න හරියට උදව් වෙනවා.

සබීතා පෙර පුරුදු ලෙසටම ආගම දහමට වැඩියෙන් නැඹුරු වෙන්නියක්. ඒ වෙනුවෙන් මඟ පෙන්වන, අවස්ථාව සලසා දෙන කළ්‍යාණ මිතුරු සමාජයක් ඈ වටා ඉන්නවා කියලයි ඈ කියන්නේ. උත්සවයකට යනවට වඩා සතුටකින් බණ අහන්න යන්න ඈ සූදානම්.

‘බණ භාවනා පැත්තට යොමු වෙන්නේ ජීවිතේ කලකිරිලා නොවෙයි. බණක් අහන්න යන්න තියනවා නම් ඒකට ලොකු උනන්දුවක් තියෙනවා. පාටියකට නොයනවා කියන එක නෙවෙයි. පාටි එකකට යන්න අකමැති නෑ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරනවා. නමුත් අර පැත්තට වැඩි නැඹුරුවක් තියෙනවා. බුදු දහමත් සමඟ ජීවත් වෙන එක ජීවිතේට ලොකු සැනසුමක් කියලා මම දන්නවා. පසුගිය කාලය ඇතුළත ජීවිතය අර්ථවත් කරගන්න ලැබුණු එවැනි අවස්ථා වැඩියි. සමහරු ඉන්නවා කොච්චර සල්ලි තිබුණත් දෙන්න හිතක් ඇති වෙන්නේ නෑ. පන්සල කොච්චර ළඟ තිබුණත් යන්න හිතක් නෑ. එහෙම හිතක් ඇති වෙන්නත් වාසනාවක් තියෙන්න ඕනෑ. මට හිතෙනවා ඒ වාසනාව මට ලැබිලා තියෙනවා කියලා.

සබීතාගේ මේ ආගමට දහමට ළැදි ජීවිතය ඇගේ පුතාට ද බෙහෙවින් බලපාලා. ඔහු ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත්ත ද කුඩා කාලයේ සිටම දහම් පාසල් ගිය අයෙක්. සබීතා කියන්නේ බත්තරමුල්ලේ සුදර්ශනාරාමයේ මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව ඔහු බොදු දරුවෙක් වූ බවයි.

‘පුතා ලබන අවුරුද්දේ තමයි උසස් පෙළ කරන්නේ. පසුගිය කාලය පුරාම එයාගේ අධ්‍යාපන කටයුතු පසුපස්සේ මම හිටියා. එයා උපදින දවසේ සිටම එයා ළඟ මම හිටිය නිසා මම වැඩිය කාර්යබහුල වෙනවට එයා කැමති නෑ. ඒ වුණාට එයා මගේ නිර්මාණ අගය කරනවා. පසුගිය කාලේ කරපු ‘මහරජ අජාසත්’ සහ ‘ඇඩ්‍රස් නෑ’ කියන චිත්‍රපට දෙකම එයා බැලුවා. මම හිතුවේ නෑ එයා කැමති වෙයි කියලා. ඒත් එයා ඒ දෙකටම කැමති වුණා. මම හොඳ දේවල් කරනවට එයා කැමැතියි. දවසක් උත්සවයක නටනව දැකලා කියනවා අම්මි ඔයාට හොඳට නටන්න පුළුවන්නේ කියලා. එයා අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යනවා. වැඩියෙන් ව්‍යාපාර ඥාණය තමයි පිහිටලා තියෙන්නේ කියලා මට හිතෙනවා. ඒ මොනවා වුණත් මට ඕන එයා හොඳ මනුස්ස ගුණධර්ම තිබෙන පුද්ගලයෙක් කරන්නයි. එයාගේ ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් එයා හොඳ දරුවෙක් කියන එක මම කීප වතාවක්ම අහලා තියෙනවා. මගේ ජීවිතේ මම සම්මාන ඕන තරම් අරගෙන තියෙනවා. ඒත් ඒ සම්මානය තරම් වටිනා සම්මානයක් අම්මා කෙනෙක් විදියට මට තවත් නෑ.’

සබිතා පවසනුයේ අසීමිත දරු සෙනෙහසකිනි. ගැහැනියකගේ ජීවිතයේ මවක් වනවා තරම් කිරුළක් තවත් ඇතැයි කිව නොහැකියි. සබීතා නිළියක ලෙස කිරුළු කොපමණ දරන්නට ඇත්ද? එහෙත් මවකවීමේ කිරුළ තරම් කිරුළක් අද ඇයට තවත් නැත.

ඈ සිනමාව තුළ මුද්‍ර‍්‍රා තැබූ ගැහැනියක්. දෙවෙනි ගමන, විරාගය, සිසිල ගිනි ගනී සේම වාණිජ සිනමාවේ නර්තනයෙන්, සටන්කාමීත්වයෙන් සිනමාව හැඩ කළ තැනැත්තියක්. පෞද්ගලික ජීවිතය තුළ කෙතරම් කාර්යබහුල වුණත් කෙතරම් යුතුකම්, වගකීම් පැවරුණත් ඇගේ ආත්මය හා බැඳී පවතින සිනමාවෙන් තොර දිවියක් නොසිතයි.

‘මම මිය ගියත් සබීතයි - සිනමාවයි වෙන් කරන්න බැරි වෙයි. සිනමාවෙන් ඈත් වෙලා හිිටියත් ඈ ජීවත් වෙන්නෙත් සිනමා නිළියක් විදියට. මිය යන්නෙත් සිනමා නිළියක් විදියට. ඒ හින්ද ඉස්සරහටත් ඔයාට මෙහෙ එන්න වෙයි. මටත් මෙහෙම කතා කරන්න වෙයි’ ඇය කිව්වේ සුපුරුදු සෙනෙහසින්මයි.