වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




හැරී-මෙගන් ගැන චිත්‍රපටයක්

හැරී-මෙගන් ගැන චිත්‍රපටයක්

හොලිවුඩ් නිළි මේගන් මාර්කල් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සමඟින් විවාහය වසර ගණනකට ඉහත බ්‍රිතාන්‍ය රජ පවුලේ සිදු වූ චාර්ල්ස් - ඩයනා විවාහය තරමටම ඉහළ ප්‍රසිද්ධියක් ලද විවාහ උත්සවයක් බවට පත් වුණා. කුඩා වියේ පටන් විවිධාකාර දඟකාරකම් සමඟින් ලොව අවධානය දිනා ගත් රාජකීය කුමරෙකු ලෙසින් ද හැරී කුමරු ප්‍රසිද්ධියට පත් වුණා. පසුගිය 2016 වසරේදී බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හොලිවුඩ් නිළි මේගන් මාර්කල් සමඟින් වන විවාහය පිළිබඳ නිල නිවේදනය නිකුත් කිරීම සුවිශේෂිවීමට හේතු කිහිපයක් මුල් වී තිබුණා.

මේගන් වරක් විවාහ වී දික්කසාද වී තිබීම, හැරි කුමරුට වඩා අවුරුදු තුනකින් ඇය වැඩිමහල් වීම, අප්‍රිකානු සම්බවයක් සහිත අමෙරිකානු ජාතික නිළියක් වීම ඒ අතර මූලික වුණා. රාජකීය නීති හමුවේ මෙම සියලු බාධක ඉවත දැමූ හැරි කුමරු එළිසබෙත් මහරැජනගේ ආශිර්වාදය ද සමඟින් පසුගිය 19 වැනිදා වින්ඩ්සර් මන්දිරයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී මේගන් මාර්කල් විවාහකර ගත්තා. 2016 වසරේදී මිතුරෙකු මඟින් හඳුනාගත් හැරී සහ මේගන් ආදර කතාව මාධ්‍ය මඟින් හෙළිදරව් කළේ එම වසරේ ඔක්තෝබර් මාසයේදීයි. ලොස් ඇන්ජලීස්හි උපත ලද මේගන් මාර්කල්ගේ මව ඩෝරියා රිග්ලන්ඩ් සමාජ සේවිකාවක මෙන්ම යෝගා උපදේශකවරියකද වෙනවා. පියා තෝමස් මාර්කල් මේගන්ගේ මව ගෙන් වෙන්වන විට මේගන්ගේ වයස අවුරුදු 6ක්. අමෙරිකානු රූපවාහිනි නාට්‍ය මාලාවක් වූ General Hospital ඔස්සේ 2002 වසරේදී රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය 2005 වසරේදී සිනමාවට පිවිසියේ A Lot like Love  චිත්‍රපටයෙන්. Remember Me, Horrible Bosses, Random Encounters වැනි චිත්‍රපටවලට දායක වූ ඇය අවසන් වරට රංගනයෙන් දායක වූයේ 2015 වසරේ තිරගත කෙරුණු Anti-Social චිත්‍රපටයට යි. සිනමාවට වඩා ඇයගේ වැඩි දායකතවය ලැබී ඇත්තේ රූපවාහිනි ක්ෂේත්‍රයට යි. Century City, Cuts, Deal or No Deal, Knight Rider (2008), Without a Trace වැනි නිර්මාණ ඒ අතරට ඇතුලත්.

රාජකීය විවාහය සමඟින් නිර්මාණය කෙරුණු ටෙලි චිත්‍රපටය ගැනත් කාගේත් අවධානය යොමු වුණා. Harry & Meghan: A Royal Romance නම් වූ එය අධ්‍යක්ෂණය කෙරුණේ බංග්ලාදේශ ජාතික අධ්‍යක්ෂ මෙනාජ් හූදා විසින්. හැරී කුමරුගේ මේගන්ගේ ආදර කතාව ගෙන එන මෙහි ස්කොට්ලන්ත ජාතික නළු මුරේ ෆ්‍රේසර් හැරි කුමරු ලෙසත් ජැමෙයිකානු සම්භවයක් සහිත‍ අමෙරිකානු නිළි පරීසා ෆිට්ස් හෙන්ලේ මේගන් මාර්කල් ලෙසත් චරිත නිරූපණය කරනවා. පැය එකයි මිනිත්තු විසිපහක ධාවන කාලයකින් යුතු Harry & Meghan: A Royal Romance චිත්‍රපටය අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ රූපවාහිනි නාලිකාවල විකාශය කෙරුණා. මෙහි රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ චරිත නිරූපිත අතර දිවියෙන් සමුගෙන ගිය ඩයනා කුමරිය ද නැවත ජීවමාන වී සිටිනවා. එම චරිතයට පණ පොවන්නේ නවසීලන්ත ජාතික නිළි බොනී සෝබර් විසින්.

රාජකීය පවුලට සම්බන්ධ වීමට පෙර අමෙරිකානු කාන්තාවක වන මේගන්හට බ්‍රිතාන්‍ය රාජකීය පාඩම් රැසක් ඉගෙන ගැනීමට ද සිදු වුණා. රාජකීය සිරිත් විරිත්, බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි උච්චාරණය, කෑම මේසයේ පුරුදු, රාජකීය මෝටර් රථයෙන් බසින අයුරු, විදේශීය රාජකීයයන් සමඟ හැසිරෙන්නේ කෙසේ ද වැනි පාඩම් මේ අතරට ඇතුළත් බවයි කියවෙන්නේ. පසුගිය කාලයේ ආරක්ෂක පෙරහුරුවක් වෙනුවෙන් මේගන් මාර්කල් පැහැරගෙන යාමේ පුවතක් ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. රාජකිය පවුලේ සාමාජිකයන්ට මෙම ආරක්ෂක පුහුණුව ලබා දීම අනිවාර්ය වන අතර එහිදී සිදු කෙරෙන්නේ යම් ත්‍රස්‌ත කල්ලියක් විසින් රාජකීය පවුලක සාමාජිකයකු අත්අඩංගුවට ගනු ලැබුවහොත් විශේෂ බළකා සෙබළුන් ඒ වෙනුවෙන් භාවිතා කරන උපක්‍රම ගැන දැනුම ලබාදීමයි.

හැරී - මේගන් රාජකීය විවාහ උත්සයට 1200ක පමණ පිරිසක් ඇරයුම් ලබා තිබූ අතර ඒ අතර ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ද වෙනවා. අසනීප බව දන්වමින් මෙම විවාහයට මනාලියගේ පියා සහභාගි නොවීම හේතුවෙන් මනාලිය අල්තාරය වෙත කැඳවාගෙන යනු ලැබුවේ චාල්ස් කුමරා විසිනි. හැරී කුමරාගේ දෙවන මනමාලයා වූයේ වැඩිමල් සොයුරු විලියම් කුමරා යි. විලියම් කුමරුගේ වැඩිමල් පුතු ජෝර්ජ් කුමරා සහ දියණිය චාලට් කුමරියද මල්කුමර කුමරින් අතරට එක්ව සිටියා. හැරී - මේගන් විවාහයට පෙර හැරී කුමරු සසෙක්ස්හි ආදිපාදවරයා ලෙසින් පිදුම් ලද අතර ඒ අනුව මේගන් මාර්කල් සසෙක්ස්හි ආදිපාදවරිය ලෙසින් හඳුන්වනු ඇති. මෙතැන් පසු මේගන් මාර්කල් ආදිපාදවරියට රාජකීය පවුලේ සාමාජිකයන්ට තහනම් ලෙසින් සැලකෙන සෙල්ෆි ඡායාරූප ගැනීම, සමරු සටහන් ලබාදීම, තනිව ගමන් යාම වැනි දේ අකැප දේවල් බවට පත් වෙනවා.