වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




තවත් ලාංකික දෙමළ චිත්‍රපටයක් 23 තිරයට

තවත් ලාංකික දෙමළ චිත්‍රපටයක් 23 තිරයට

ඉදු කාලම් සම්පූර්ණයෙන් ස්විට්සර්ලන්තයේ රූ ගැන්වුණු චිත්‍රපටයක්

මෙම මස 23 වැනිදා සිට ස්විට්සර්ලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයකු විසින් නිර්මාණය කරන ලද දෙමළ භාෂිත ශ්‍රී ලංකා සිනමාපටයක් තිරගතවීමට නියමිතය. ඉදුකාලම් නමැති මේ සිනමාපටයේ අධ්‍යක්ෂවරයා කුනපති කන්දස්වාමි හෙවත් බාබාජිය. මෙහි දිනේෂ්, රාජේෂ්, රාණි කුණපති, රාගු ඇතුළු පිරිසක් සිනමාපටයේ රංගනයේ යෙදෙති. රවී ආචුතන් කැමරා අධ්‍යක්ෂවරයාය. ආර්. එම්. වී. බාලාගේ සංස්කරණයකි. ගීපද රචනා එස්. වී. ආර්. පද්මිණී කැස්පර් රාජා සහ සෙල්වා මුහුන්තාන්ගෙනි. සංගීත අධ්‍යක්ෂවරයා ලෙසින් ආර්. එස්. රවි ප්‍රියාන් කටයුතු කරයි.ඉදුකාලම් සිනමාපටයේ කතාව ඩෙන්මාර්ක් සුරේෂ්ගෙනි.අධ්‍යක්ෂණය මෙන්ම නිෂ්පාදනය ද බාබාජිගෙනි.

සයුරු තෙරයි ආදරෙයි වැඩ අරඹයි

අනුර ශ්‍රීනාත්ගේ ප්‍රථම අධ්‍යක්ෂණය වන 'සයුරු තෙරයි ආදරෙයි' සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි.

එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුණේ රාජ්‍ය ආරක්ෂක, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න සහ සාමාන්‍යාධිකාරී නිමල් අබේවර්ධන මහත්වරුන්ය. 'සයුරු තෙරයි ආදරෙයි' චිත්‍රපටයට ක්ලීටස් මෙන්ඩිස්, උදාරි වර්ණකුලසූරිය, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි.

රොඩ්නි වර්ණකුලසූරිය, අනුර මාපිටිගම, අනුර ශ්‍රීනාත්, සමන් අල්මේදා, මනෝහාරි විමලතුංග, බිංදු බෝතලේගම, නෝමන් පලිහවඩන, උදේනි චන්ද්‍රසිරි, ජයතිලක හේරත්, රත්නසිරි රණසිංහ, චන්ද්‍රරත්න මාපිටිගම යන ශිල්පීන් රංගනයෙන් දායක වෙති. තිර රචනය අනුර මාපිටිගමගෙනි.

සංගීත අධ්‍යක්ෂණය සම්පත් හෙට්ටිආරච්චි, ගීතනු නිර්මාණය නවරත්න ගමගේ, විශාරද එඩ්වඩ් ජයකොඩි, බිංදු නිශාන්ත ගෙනි. වේශ නිරූපණය ප්‍රියන්ත රත්නායක, සහය අධ්‍යක්ෂණය නාරද රත්නායක, කලා අධ්‍යක්ෂණය බන්දුල විමලසේකර, සටන් අධ්‍යක්ෂණය වසන්ත කුමාරවිලගෙනි.

එරංගගේ ඉළංදාරියෝ උපන් දිනය

එරංග සේනාරත්නගේ නවතම අධ්‍යක්ෂණය වන ඉළංදාරියෝ ප්‍රාසංගික ටෙලි වෘත්තාන්තයේ මුහුරත් උලෙළ පසුගිය දින නුගේගොඩ සංහිඳ පරිශ්‍රයේදී පැවැත්විණි. 'අවිනිශ්චිත අනාගතයක් ජය ගන්නට වෙර වීරිය දරන අපූරු තරුණයන් හතර දෙනකු වට ගෙතුණු ආදර අන්දරයක් ඉළංදාරියෝ ටෙලි වෘත්තාන්තය වටා දිග හැරේ. සුනන්ද සිල්වාගේ තිර රචනයක් වන අතර විධායක නිෂ්පාදනය ෂෙහාරා ජයවීරගෙනි.

කැමරා අධ්‍යක්ෂණය නිශාන් ප්‍රනාන්දු, කලා අධ්‍යක්ෂණය ප්‍රසාද් වීරප්පෙරුම, අංග රචනය අජිත් දිසානායක, සහය අධ්‍යක්ෂණය ගයාන් මාගලගේ, සංගීතය ලස්සන ජයසේකර වන අතර ගේයපද ඩිනලි රොෂාන්තී.

වසන්ති චතුරාණි, කුසුම් පෙරේරා, හර්ෂන බෙත්මගේ, ජනක කුඹුකගේ, ජයනාත් බණ්ඩාර, ශෂිරංග වික්‍රමසේකර, රජිත හිරාන් චාමිකර, ලාල් කුලරත්න, අයෝධ්‍යා දක්ෂිකා, උපතිස්ස බාලසූරිය, ප්‍රින්සි ප්‍රනාන්දු, සංගීත් ප්‍රභූ, ධනංජි තාරුකා සහ හඳුන්වා දෙන නිලූෂි පවන්යා ඉළංදාරියෝ චරිත නිරූපණය කරයි.

ටෙලි දෙපැය සියතේ

සියත ටී. වී. නව මං පෙත් කරා පියඹා යයි. දේශීය නාට්‍ය කලාවට වැඩි ඉඩකඩක් සලසා දෙමින් නවතම ටෙලි නාට්‍ය මාලාවක් ප්‍රේක්ෂකයන්ට නැරැඹීමේ අවස්ථාව මාර්තු මස 19 වන දින සිට ආරම්භ කර ඇත. සතියේ දිනවල රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.30 දක්වා නවතම ටෙලි නාට්‍ය පෙළ ගැස්වීමක් කර ඇත.

සියත විධායක අධ්‍යක්ෂක අනුර සිරිවර්ධන, අධ්‍යක්ෂක කැළුම් පාලිත මහීරත්න, සුසංයෝගයෙන් සියත හැඩවන ලකුණු පසුගිය දින හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී දැක ගත හැකි විණි. සියතේ සභාපතිත්වය දරන රොෂාන්ත කාරියප්්පෙරුම සහ සංගීතා වීරරත්න විදේශීයන්වලින් ආනයනය කරන නාට්‍යයන්ට තිත තැබීම සහ දේශීය නිර්මාණවේදීන්ට වැඩි ප්‍රමුඛතාවයක් සැලසීම ඔවුන්ගේ ඒකායන අරමුණ වී ඇති බවයි සඳහන් කළේ. වැඩිදුරටත් පැමිණ සිට පිරිස අමතා කැළුම් පාලිත මහීරත්න සඳහන් කළේ දැනට පවුල්් 5000 කට අධික සංඛ්‍යාවක් ටෙලි කර්මාන්තය වෙනුවෙන් තම ජීවන අරගලය කරන බවයි ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ. අනුර සිරිවර්ධන මහතා එහිදී සඳහන් කර සිටියේ දේශීයත්වයට හා එයින් ජීවත් වන කලාකරවන්ට ලාංකේය සංකේතයක් වීමට සියත සැදී පැහැදී සිටින බවයි. එදින එළිදැක් වූ ටෙලි ත්‍රිත්වය වූයේ 'සඳ එළිය, අපේ ආදරේ සහ නේත්‍රා'ය. එලෙසින් සියත නව්‍යමය පියවරක් එස වූ මොහොත හිල්ටන් හෝටලයේදී තරු පිරිවරා ප්‍රේක්ෂකයන්ට උදා කළ මොහොත සරසවියට මෙසේ කියන්නට ඔවුහු අමතක නොකළහ.