වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් ෆිල්ම් එකට අලුත් විලන් කෙනෙක්

අලුත් ෆිල්ම් එකට අලුත් විලන් කෙනෙක්

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි.

අද එතැන් සිට...

‘සුදු නෝනේ ඇත්තටම අපිට ලක්ෂ පහක් හොයා ගන්ඩ බැරි වෙයිද ?’

ඩික්සන් ඇසුවේය.බිනරි ඇඳ ට ඉහළින් මදුරු දැල ට එහා සිවිලිමේ බඳීන මකුළු දැලක් දුටුවාය.

‘කඩල ඉවර වෙච්ච ගමන් ආයේම හදනවා’

ඈ කෝපයෙන් හිතුවාය.

‘ඈ සුදු නෝනේ’

ඩික්සන් යළිත් විතාළාය.

‘ඩික්සන්ට පිස්සුද මන්දා’

ඇය පැවසුවාය.

‘පිස්සු නෙමේ සුදු නෝනේ.බලන්ඩකෝ අර දර්ශණ මහත්තයාලා කියන විධියට චිත්‍රපට ඉස්සර වගේ නෙවේ නේ.අපිට හොඳ ගාණක් හොයා ගන්ඩ පුළුවන්’

බිනරි කිසිත් නොකිව්වාය.කලකට ඉහත චිත්‍රපටයක රඟපාන්නට වරම් සොයා ගිය ගමන ඇයට සිහිපත් විය.

‘අපි කොහෙන්ද ලක්ෂ පහක් හොයන්නේ.මේ දවස්වල ගේ හැදුවා.අර කඩේ මිනිස්සු ගියාම අලුතින් කරන්ඩ ඕනෑ’

ඩික්සන්ට ළඟ දී ත්‍රිවිලරයක් අරන් දුන් වග බිනරි සිහිපත් නොකළාය.හැමදාම වැඩ කටයතු නිසා උදෑසනින් යා යුතුය.ගෝලයන් ද දමා ගෙන බඩු බාහිරය ද දමා ගෙන බස් රථයක යෑම ද පහසු නැත.ඩික්සන් හැමදාම ආඩපාලි කිව්වේ උදෑසන යන ගමනේ අපහසුව ගැනය.හවසට එන ගමන ගැනය.

‘අපිට ත්‍රිවිලර් එකක් තිබ්බා නම් වැඩේ ලේසියි.වැඩ නැති දවස් වෙලාවට හයර් එකක් ගියත් ගාණක් හොයා ගත්තෑකිනේ.ෆිනෑන්ස් කරලා ගන්ඩ පුළුවන් නේ’

ඩික්සන් කිහිප වරක්ම බිනරිට පැවසුවේය.කතාවේ හැටියට ඒ කාරණය ද ඇත්තය.බිනරි වැඩි කතා බහකින් තොරවම එයට අවනත වූයේ එබැවිනි.

‘මම හිතන්නේ අපි කඩේ ආපහු ගන්ඩ නෙවේ තියෙන්නේ.ආයේ බද්ද වැඩි කරන්ඩ‘

ඩික්සන් යෝජනා කළේය.

‘මොකද ඒක ලේසියි.දැන් කාලේ කඩ කෙරුවාව හිතන තරම් ලේසි නෑ.’

දර්ශන ගෙදරට ආවේ ඒ වෙලාවේය.බිනරි කතාව නතර කළාය.

‘දන්නවද බිනරි මම අපේ අලුත් ෆිල්ම් එකට අලුත් විලන් කෙනෙක් හොයා ගත්තා’

දර්ශන උස් හඩින් පැවසුවේ තවත් වෙලාවක් ගත කළ පසුය.දර්ශන එන විට සංග්‍රහ කරන අන්දම දැන් ඩික්සන්ට පුරුදුය.ඩික්සන් ගැන දර්ශණගේ වර්ණනාව ඉතා ඉහළය.

අඩක් හිස් කළ බෝතලය දෙස බැලූ ඩික්සන්ට එයින් තවත් කොටසක් නිමා කරන්නට වුවමනාව තිබිණ.

‘බිනරි අපේ ෆිල්ම් එකට අලුත් විලන් කෙනෙක් හොයා ගත්තා’

දර්ශන යළිත් කෑගැසුවේය.ඔහුගේ හඬ බෝතලය හිස් වන්නට වන්නට උස් වීම බිනරි පසුගිය දින කිහිපය ඇතුළත කිහිප වතාවක්ම අත් දැක්කේය. එවිට ඔහු එකම කාරණය කිහිප වරක්ම කියවයි

‘බිනරි ඒ ගැන හිතන්නේ මොකක්ද ?’

බිනරි ගෙනා දීසියේ තිබුණ මස් කැබැල්ලක් අතට ගත් දර්ශණ යළිත් ඇසුවේය.

‘බිනරි ආයේ රගපාන්න අදහසක් නැද්ද ?ඉස්සර බිනරි ෆිල්ම් එකක ඇට් කරන්ඩ කොච්චර ට්‍රයි කළා ද?’

දර්ශණ කියවනවා වැඩියැයි බිනරිට සිතිණ.අතීතය අනවශ්‍යය.එය මෙතැනට කොහොමටත් අනවශ්‍යය.

‘බිනරි මම හිතුවා අපේ ෆිල්ම් එකට ඩික්සන්ට එන්ඩ කියලා.හොඳ හයිට් එක.බලන්ඩකෝ.කොල්ලත් අලුත්..දැන් බලන්ඩකෝ ඉන්න කොල්ලන්.දැන් පෙන්වන පිච්චර් හදලා රටකට වැඩක් තියේ ද ? ඒ හින්දා අලුත්ම වැඩක් දෙන්ඩ ඕනෑ.’

ඩික්සන් ගේ කට පොපියන්නට විය.ඔහු තවත් වරක් දර්ශන ගේ වීදුරුව පුරවන්නට විය. දර්ශන එය වළකන්නට උත්සාහ නොකළේය.

‘මේ පාර මගේ ෆිල්ම් එක ටොප් කතාවක්.අපි ආපහු අපේ හෝල් හවුස්ෆුල් කරවනවා’

දර්ශණ පාරම් බෑවේය.ඔහු ගේ කතාව වචන පටලැවෙන්නට පටන් ගෙන ඇත.

‘මම දෙන්නම් බිනරි ස්ටෝරි එක කියවන්න.නියම් බුලට් ස්ටෝරි එක’

දර්ශන ගේ කතාවට කිසිවකුගෙන් බාධාවක් නැත.ඔහු අනතුරුව කතාව නතර කළේය.

ඔහු මගට ඇරලවන්නට ඩික්සන් ත්‍රිවිලරය පණ ගන්නා ගත්තේය.බිනරි දොරකඩට වී බලා සිටියාය.

‘හැබැයි අපිට ඔය පිල්ම් එක කරන්ඩ පටන් ගත්තා නම්’

ඩික්සන් පැවසුවේ එයින් පසුවය. බිනරි කිසිත් පැවසුවේ නැත.

‘මම සල්ලි තිබ්බ නම් පිච්චර් එක ගහන්නේ සුදු නෝනා ගේ නමින්’

ඩික්සන් පැවසුවේය.

බිනරි උන් තැනින් නැගිට ගියේ කිසිත් නොකියාමය.ඩික්සන් එයින් පසු දවස් ගණනාවක්ම පැවසුවේ චිත්‍රපටයක් කරන එක ගැනය.

‘දර්ශන මහත්තයා මට පෙන්වුවා කොහොමද පිච්චර් එක ගහන්නේ කියලා.ඔක්කොම ආටිස්ට්ලාට ගෙවන්නේ පස්සේ.අපිට තියෙන්නේ කන්ඩ බොන්ඩ දෙන එක විතරයි.පිච්චර් එක කරන්න යන්නේ දවස් හතයි.වැඩිම වුනොත් අටයි.ඊට පස්සේ කෝපරේෂන් එකෙන් ඉතිරි වැඩ වලට අනික අනිවාර්යයෙන් පෙන්වනවලුනේ. පොඩි ලෝක් එකක් ගහනවාලුමිනිහා මට පෙන්නුවා’

ඩික්සන් කට පාමින් කියන්නට විණ.

‘ඇයි ඉතින් දර්ශනට ඒ ගාන හොයා ගන්ඩ බැරිද?’

බිනරි ඇසුවාය.

‘ඒ යකා මේ බිබි ඇවිදිනවා විනා වෙන වගතුවක් කර ගන්නවායැ.’

‘මට පේන්නේ ඔයාත් කරන්නේ ඒකම වගේ’

බිනරි පැවසුවේ ඔලොක්කුවට මෙනි.

‘පිස්සුද සුදු නෝනේ.අපි හැමදාම එක විධියට ඉන්ඩ ඕනැද?. අනිත් අතට අපට පුළුවන් නම් අපි කරන්ඩ බලමු.?’

ඩික්සන් යළිත් පැවසුවේය.බිනරි කිසිත් පැවසුවේ නැත. ටික වේලාවකින් ඩික්සන් ගේ ගෙරවිල්ල ඇයට ඇසිණ.මේ ගෙරවිල්ල ට පෙරාතුව තමාට නින්ද නොගියහොත් ඊළඟට සිදුවන්නේ බොහෝ රාත්‍රියක් වන තුරු නිදිවර්ජිතව සිටින්නටය.

‘ලක්ෂ පහකින් චිත්‍රපටයක් කරන්නට පුළුවන් ද?’

බිනරි සිතන්නට පටන් ගත්තාය.අවම වශයෙන් නින්ද සඳහා හෝ එය ප්‍රමාණවත් වනු ඇත.