වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




2018 උසස් පෙළ සඳහා සැරසෙමු

මධුර චාරිකා කරද්දී අපි සිටියේ එකම පවුලක් වගේ

මාදනී මල්වත්තගේ

ලාංකේය සිනමාවට ජනප්‍රිය චිත්‍රපට රැසක් දායාද කළ උදය කාන්ත වර්ණසූරියගේ නවතම චිත්‍රපටය ‘මධුර චාරිකා’ මේ දිනවල ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වෙයි. පැරැණි සිනමා ශිල්පියකු සහ ඔහුගේ මුනුපුරා පිළිබඳ ගෙතී ඇති කතා පුවතකින් සමන්විත මේ චිත්‍රපටයේ කුඩා පුතුගේ මවගේ චරිතයට පණ පොවන්නී ඇයයි. මාදනී මල්වත්තගේයි. වේදිකාව, පුංචිතිරය, රිදී තිරය යන මාධ්‍ය තුන ම ජයගත් මාදනීගේ නවතම රඟපෑම පිළිබඳ ඈ මෙසේ සඳහනක යෙදුණා ය.

* ‘මධුර චාරිකා’ චිත්‍රපටය තිරගත වී තවම ගත වී ඇත්තේ දින කිහිපයක් පමණයි

චිත්‍රපටවලට කැමැත්තක් දක්වන සිනමා ප්‍රේක්ෂකයන්ට ‘මධුර චාරිකා’ නවතම සිනමා අත්දැකීමක් රැගෙන පැමිණේවි. පුංචි ළමයකු හා වැඩිහිටියකු වඩා ගෙතුණු ‘මධුර චාරිකා’ උදය කාන්ත අයියාගේ නිර්මාණය වූ නිර්මාණ අතරින් වෙනස් ම විදියේ චිත්‍රපටයක්. අනෙක් කාරණ නම් මේ චිත්‍රපටය පවුලේ සියලුදෙනාට ම එකට ඉඳගෙන නැරැඹිය හැකි චිත්‍රපටයක් ලෙසයි හැඳීන්විය හැක්කේ.

* ඔබ උදයකාන්ත වර්ණසූරියගේ චිත්‍රපටයක රඟපාන පළමු අවස්ථාව ද?

ඔව්. මුලින් ම ‘මධුර චාරිකා’ චිත්‍රපටයට රංගනයෙන් සම්බන්ධ වීමට ඔහුයි මට ආරාධනා කරන්නේ. උදයකාන්ත වර්ණසූරිය කියන්නේ හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ නිර්මාණයක රඟපෑමට මා කාලයක පටන් සිටියේ බොහොම කැමැත්තෙන්. ඒ කැමත්ත ඉටුවීමයි ‘මධුර චාරිකා’ චිත්‍රපටයට සම්බන්ධ වී වැඩ කිරීමට ලැබීම.

* ‘මධුර චාරිකා’ චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවන්නේ දුෂ්කර පෙදෙසකයි. ඒ ලැබුණු අත්දැකීම් මොන වගේ ද?

මේ චිත්‍රපටයේ සියලු ම රූගත කිරීම් සිදුවුණේ නුවරඑළිය හා කොළඹ ප්‍රදේශයේ. ඒ වගේ ම තරංගනී සිනමා ශාලාවේ. නුවරඑළිය කියන්නේ අප සියලුදෙනා ම යන්න කැමැති පළාතක්. ඒ නිර්මාණයට රංගනයෙන් දායක වීම වගේ ම ලැබුණු නිදහස ඔස්සේ අප බොහොම හොඳට විවේකීව කාලය ගත කළා. මොකද අපගේ ජීවිතය බොහෝ විට ගතවන්නේ අවිවේකයෙන්. ඒ අවිවේකයට බොහොම විවේකයක් මේ නිර්මාණය ඇතුළේ ලැබුණා. ඒ වගේ ම දරා ගන්න නොහැකි සීතල නම් අපව බොහෝ අපහසුතාවට පත්කළා. කට ඇරලා දෙබස් කියන්න බොහොම අපහසු වුණා. ඒත් ඒ සියලු බාධක ජය ගනිමින් චිත්‍රපටයේ රඟපෑම් කටයුතු කරගෙන යෑමට අපට හැකියාව ලැබුණා.

* ඔබත් සමඟ රඟපාන්නේ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙක්. ඔවුන් හා තිබුණු සබැඳීයාව කුමන ආකාරයක් ගත්තේ ද?

ඔවුන් දෙදෙනා සමඟ ම මා මීට පෙර රංගන කටයුතුවල නියැළී තිබෙනවා. හේමසිරි ලියනගේ කියන්නේ අපට වඩා ගොඩක් අත්දැකීම් තිබෙන ඒ වගේ ම හොඳ රංගනයක යෙදෙන, ක්ෂේත්‍රයේ අනෙකුත් අංශවල දැනුමෙක් තිබෙන ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඔහුව කිසිම විටෙකත් අපට සමකළ නොහැකියි. හැරුණත්, බැලුවත්, දෙබසක් කිව්වත් ඒ සෑම තැනකදි ම ඔහුගේ තිබෙන ප්‍රවීණත්වයයි අප දකින්නේ. ඒත් කණ්ඩායමක් විදියට අප සියලුදෙනා ම එකතු වී සාමූහිකව කටයුතු කරද්දී සුහදව අනෙක් ශිල්පීන් සමඟ කටයුතු කිරීමට තරම් ඔහු නිහතමානී ප්‍රවීණ රංගන ශිල්පියකු වීම එහිදි කැපී පෙනුණා. බොහෝ ශිල්පීන් ළඟ නැති ගුණාංග බොහොමයක් ඔහු ළඟ තිබෙන අයුරු මා දුටුවා. අපට පවා ඉගෙන ගන්නට හැකි බොහෝ ගුණාංග මා ඔහුගෙන් දුටුවා.

* ඒ වගේ ම ඔබට රංගනයේ නියැළීමට සිදු වූ අනෙක් රංගන ශිල්පියා වන්නේ නලින් ප්‍රදීප් උඩුවෙලයි

මට රංගනයේ නියැළීමට ලැබුණේ හේමසිරි ලියනගේ හා නලින් අයියා, පුංචි දරුවන් දෙදෙනා සමඟයි. අපි සියලුදෙනා ම පුංචි පවුලක් විදියටයි ඒ දින ටික ගත කළේ. ඒ කාලය බොහොම විනෝදයි. බොහෝවිට නලින් අයියා මට මුණ ගැසෙන්නේ වේදිකාවෙදියි. අප බොහෝ හිතවතුන් විදියට ඒ අප අතර තිබුණු අන්‍යෝන්‍ය අවබෝධය මේ නිර්මාණය සාර්ථක කර ගැනීමට ඉවහල් වූ බවත් කිව යුතුයි.

* ඔබගේ පුතා විදියට රඟපාන ළමා නළුවා නවකයකු නේද?

උදයකාන්ත අයියා ‘මධුර චාරිකා’ චිත්‍රපටයේ ළමා නළුවාගේ චරිතයට තෝරාගෙන තිබුණේ අලුත් ම දරුවෙක්. ඒ නැවුම් බව ඒ දරුවා ළඟ තිබුණා. රංගන ශිල්පියා හා ශිල්පිනිය කියන්නේ මැටි පිඩක් නම් අධ්‍යක්ෂවරයකු කරන්නේ ඒ මැටි පිඩ අවශ්‍ය ආකාරයට හොඳීන් අනලා අවශ්‍ය ආකාරයට ප්‍රයෝජනයට ගැනීමයි. ඒ දරුවා හරහා උදය අයියාත් සිදුකළේ එයමයි. ඒ නිසා උදය අයියාට උවමනා විදියට දරුවාව හසුරුවා ගැනීමට හැකියාව ලැබුණා. ඔහුට අනෙක් අය කියන දේ හොඳට තේරෙනවා. ඒ වගේ ඔහු දඟ දරුවෙක්. මා සිතන්නේ ඔහුගේ දඟකාර බව උදය අයියා බොහෝ ප්‍රයෝජනයට ගත් බවයි.

* ඔහු හා ඔබ අතර තිබුණු සබැඳීයාව කුමන ආකාරයක් ගත්තේ ද?

ඇත්තට ම සබකෝලය ඒ දරුවා ළඟ තිබුණේ ම නැහැ. ඒ නිසයි දරුවාට ඕනෑ ම කෙනෙකු සමඟ මුසුවීමේ හැකියාව තිබුණේ. පාසල් යන දරුවකු විදියට, මවුපියන් ඇසුරේ හැදුණු වැඩුණු කෙනෙකු විදියට ඒ අවශ්‍ය පරිසරය අප අතර චිත්‍රපටයේදී ගොඩනැඟුණා. අම්මා හා දරුවකු අතර තිබිය යුතු ආදරය, සෙනෙහස ආදී සියලු ගුණාංග ඒ චරිත හරහා අප දෙදෙනාට ම ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණු බවත් කිව යුතුයි. ඒ අප දෙදෙනා අතර ගොඩනැඟුණු සුහදත්වයේ ප්‍රතිඵලයක් වශයෙන්.

* ‘මධුර චාරිකා’ චිත්‍රපටයේදී අධ්‍යක්ෂවරයා කතාබහ කරන්නේ කලා ක්ෂේත්‍රයට අදාළ කාරණාවක් පිළිබඳයි. මේ ක්ෂේත්‍රය නියෝජනය කරන රංගන ශිල්පිනියක් විදියට ඔබට ඒ කාරණය දැනෙන්නේ කෙලෙස ද?

මා සිතන්නේ අධ්‍යක්ෂවරයා මේ චිත්‍රපටය ඔස්සේ කතාබහට ලක්කරන්නේ කාලීන මාතෘකාවක් පිළිබඳ බවයි. එය එදාටත්, අදටත්, ඉදිරියටත් ගැළපෙන මාතෘකාවක් බවයි අපට හැඟෙන්නේ. ඒ වගේම ඒ චරිතය බොහොම නිර්මාණාත්මකයි. හේමසිරි ලියනගේ මහත්තයා ඒ චරිතය ඉතා සියුම් ව ඉදිරිපත් කිරීමට උත්සාහ දරලා තිබෙනවා. ඒ රඟපෑම ඉතා සාර්ථක බවයි මා සිතන්නේ.

* ‘මධුර චාරිකා’ චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කර වැඩි දවසක් ගත වී නැහැ. ඒ ගැන සිනමා ප්‍රේක්ෂකයන් පවසන්නේ කුමන දේවල් ද?

මේ වනවිට සැලකිය යුතු සිනමා ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ‘මධුර චාරිකා’ චිත්‍රපටය නරඹලා තිබෙනවා. ඒ ගැන එහි රඟපෑම් ගැන ඔවුන් අප සමඟ කතාබහ කරනවා. අප එදිනෙදා එහෙට මෙහෙට යන අවස්ථාවලදි ලැබෙන ප්‍රතිචාර සමඟයි මා එලෙස පවසන්නේ.

* මේ දවස්වල ඔබ බොහෝ නිර්මාණ හරහා ප්‍රෙක්ෂකයන් අතරට පැමිණෙන බවයි අපට පෙනෙන්නේ

ඉදිරියේදී මා රඟපෑ චිත්‍රපට කිහිපයක් ම තිරගත වේවි. ඒ වගේ ම ටෙලිනාට්‍ය කිහිපයකුත් විකාශය වීමට නියමිතයි. සුපුරුදු ලෙස ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වන අතර ම මා වේදිකා නාට්‍ය සමඟත් රටවටා යනවා. මේ දවස්වල සිරස රූපවාහිනියේ විකාශය වන ‘පැහැසරා’ ටෙලි නාට්‍යය ඔස්සේත්, ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘කොන්කළ දෝණි’ ටෙලි නාට්‍යය ඔස්සේත්, ජාතික රූපවාහිනියේ විකාශය වන ‘සඳ දිය සිත්තම්’ ටෙලි නාට්‍යය ඔස්සේත් මගේ රංගනය ආදරණීය රූපවාහිනි නරඹන්නන්ට දැක බලා ගත හැකියි. ඒ වගේ ම ඉදිරියේදී විදේශ සංචාර කිහිපයකටත් ආරාධනා ලැබිලයි තිබෙන්නේ. ඊට සහභාගි වීමටත් අදහස් කරගෙනයි සිටින්නේ.

* ‘කොන්කළ දෝණි’ ටෙලි සිත්තමේ ඔබ ඉදිරිපත් කරන මවගේ චරිතය ඔබ මෙතෙක් ඉදිරිපත් කළ චරිතවලින් වෙනස් වූ චරිත නිරූපණයක් ද?

ඒ ටෙලි නාට්‍යය නරඹන බොහෝ ප්‍රේක්ෂකයන් මගෙන් විමසන්නේ “ඔබ ඒතරම් ම නපුරුද?” කියලයි. ඒ විදියේ චරිත අපට මේ සමාජයේ ඕනෑ තරම් දකින්න ලැබෙනවා. එවැනි චරිතයකුයි මා එහි රඟපාන්නේ.

* ඔබගේ පුතා ඔබගේ රංගනය නරඹා පැවසූයේ කුමක්ද?

මගේ පවුලේ අය සියලුදෙනා ම මේ චිත්‍රපටය නැරැඹුවා. ඒ සඳහා ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර හොඳයි. පුතාත් නිතර ම මගේ නිර්මාණ නරඹනවා. ඒවා නරඹලා මා විචාරයට ලක්කරන්නේ ඔහුයි. මොකද ඔහු පාසලේ නාට්‍ය හා රංග කලාව හදාරන දරුවෙක්. ඒ නිසා ඔහුටත් දැනෙන දේවල් තිබෙනවා. රඟපාන ළමා රංගන ශිල්පියකු විදියටත්, හොඳ නාට්‍ය රසිකයකු විදියටත් ඔහුට දැනෙන දේ මා සමඟ කතාබහ කිරීමට ඔහු මැළි වන්නේ නැහැ.