වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




ගෙදර ගියොත්...

ගෙදර ගියොත්...

ජාතික රූපවාහිනියෙන් විශ්‍රාම ගියත් දයාරත්න රටගෙදර උන්නැහේ ගැන නොලියා ඉන්නම බැහැ. ආදරේට අපි කතා කරන රටගෙදරට පසුගියදා ලොකු අලකලංචියක් වෙලා. තව පොඩ්ඩෙන් ගෙදර යන්නත් බැරි වෙනවා. සිද්ධිය මේකයි. අපේ රටගෙදර අරගෙන අලුතින් ෆෝන් එකක්. මේ හින්දා පරණ තිබුණු දුරකතන අංක ඔක්කොම ෆෝන් එකෙන් ඩිලීට් වුණාලු. එන එන ඇමතුම් අනුව කවුද කියලා අහගෙන ෆෝන් එකට සේව් කර ගන්නවලු. ඔන්න ළඟදි දවසක රටේට නොදන්නා අංකයකින් ඇමතුමක් ඇවිල්ලා. ඔහු එය ආන්ස්වර් කළාලු.

හෙලෝ?

එහා අන්තයෙන් ඇහිලා ලස්සන ගැහැනු කටහඬක්. රටගෙදරත් සන්සුන් වෙලා කවුද ඔය කතා කරන්නේ කියලා ඇහැව්වලු.

අයියෝ අඳුනගන්න බැරිද. අද උදෙත් දැක්කනෙ.

රටගෙදර දැන් ඔළුවත් කස කස කල්පනා කරනවලු කවුද මේ කියලා. අනික උදේ දැකපු කෙනෙක්වත් මතක් වෙන්නේ නැතිලු.

අනේ මට ඔයාව අඳුන ගන්න බැහැ. කවුද මේ කතා කරන්නේ කියනවද?

රටගෙදර අහලා.

මෙච්චර අඳුනගන්න බැරිද. මං ඔයාගේ ලොකු දුව කතා කරන්නේ.

එහෙම කියපු ගමන් රටගෙද හිටපු අසුනින් නැගිටුණාලු. එදා ගෙදර ගියාම මොනවා වුණාද කියල නම් රටේ අපත් එක්ක කිව්වෙ නැහැ.