වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




Queen of Katwe

Queen of Katwe

ස්වාධීන රූපවාහිනි සේවයේ සෙනසුරාදා රාත්‍රි 10.30ට විකාශය කෙරෙන සිනමා දැක්මේ ලබන 24 වැනිදා විකාශය කිරීමට නියමිතව ඇත්තේ විශිෂ්ට ඉන්දීය සිනමාවේදිනියක වූ මීරා නායර් විසින් අධ්‍යක්ෂණය කළ Queen ofKatwe චිත්‍රපටය යි.

උගන්ඩාවේ දුගී පැලක උපත ලබා ජාත්‍යන්තර චෙස් ඔලිපියාඩ් තරගාවලිය දක්වා ගියා ෆියෝනා මුටෙසිගේ සත්‍ය ජීවිත කතාව අළලා ටිම් ක්‍රොතර්ස් නම් ලේඛකයා විසින් රචිත The Queen Of Katwe:
Song of Life, Chess and One Extraordinary Girl’s Dream ofBecoming a Grand Masterනම් කෘතිය මෙම චිත්‍රපටයට පාදක වී ඇත.

ෆියෝනා උගන්ඩාවේ අගනුවර වන කම්පාලා නගරයේ ‘කත්වා’නම් ප්‍රදේශයේ වෙසෙන දස වියැති දැරියකි. කත්වාහි වෙසෙන බොහෝ පවුල්වලට සේම, ෆියෝනාගේ පවුලටද ජීවත්වීම යනු සටනකි. මෙවන් පසුබිමකදී ෆියෝනාට මිෂනාරිවරයකු වන රොබට් කතෙන්දේ මුණගැසේ. කතෙන්දේ පාපන්දු පුහුණකරුවෙකු මෙන්ම ළමයින් චෙස් ක්‍රීඩාව කෙරෙහි උනන්දු කරවන්නෙක්ද වේ. චෙස් ක්‍රීඩාව කෙරෙහි කුතුහලයෙන් සිටින ෆියෝනා, ඉක්මනින් එය ඉගෙන ගන්නා අතර කතෙන්දේගේ මඟ පෙන්වීම යටතේ හොඳම චෙස් ක්‍රීඩීකාව බවටද පත් වන්නීය.

ඩේවිඩ් ඔයිලෝවෝ, ලුපිතා නියුන්ගෝ සහ මදීනා නල්වන්ගා යන නළු නිළියන් ප්‍රධාන චරිත රඟදක්වන Queen of Katwe විචාරක පැසසුම් අතින් ඉහළ ප්‍රතිචාර ලද චිත්‍රපටයක් බවට පත් වී ඇත. විශේෂයෙන්ම ලුපිතා නියුන්ගෝ ගේ දක්ෂ රංගනයට බෙහෙවින් ප්‍රශංසා ලැබී ඇති අතර, IMDB දර්ශකයේ ලකුණු 7.2/10ක් ද රොටෙන් ටොමැටෝස්හි ලකුණු සියයට 91ක් සහ මෙටාක්‍රිටික් අඩවියේ ලකුණු සියයට 73ක් ලබා ඇත. රොටන් ටොමැටෝස් හි ප්‍රමුඛ විචාරය පවසන්නේ, මෙය දුලබ සහ හොඳ යමක් සේ දැනෙන චිත්‍රපටයක් වන අතර ලුපිතාගේ රංගනය චිත්‍රපටය ඉහල තලයකට ගෙන යන බවයි.