වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




2018 උසස් පෙළ සඳහා සැරසෙමු

2018 උසස් පෙළ සඳහා සැරසෙමු

අත්තක පිපි මලක් ලෙසේ

පෙත්තක ඇඳි ඉරක් ලෙසේ

අද රටයකුම හෙවත් රිද්දි යාගය ඉගෙනිමු

රට යකුම පවත්වන ප්‍රදේශ අනුව සම්ප්‍රදායන් දෙකකට බෙදා දක්වයි.

1. බෙන්තර සම්ප්‍රදාය - බෙන්තර, ගාල්ල, බද්දේගම, අම්බලන්ගොඩ (නාට්‍යමය ලක්ෂණ බහුලව දක්නට ලැබෙන්නේ මෙම සම්ප්‍රදායේය.)

2. මාතර සම්ප්‍රදාය - වැලිගම, මාතර (මෙම සම්ප්‍රදායේදී රටයකුම රිද්දි යාගය ලෙස ද හැඳින්වේ)

රට යකුම පැවැත්වීමට හේතු වූ කාරණ ත්‍රිත්වයක් හඳුනා ගත හැකිය.

1. දරුවන් නොමැති කාන්තාවන්ට දරු සම්පත් ලබා ගැනීමට

2. ගර්භනී මාතාවන්ගේ ආරක්ෂාව උදෙසා

3. දරුවන් ලද මව්වරුන්ගේ ආරක්ෂාව උදෙසා (දරුවාගේ ද ආරක්ෂාවට)

මෙහිදී රිද්දි බිසව්වරු නැතහොත් වස බිසව් සත් දෙනා මූලික කර ගනී. මෙහිදී කළු කුමාරයා ද පූජාවට ලක් කෙරෙන බැවින් රටයකුම 'කළු කුමාර සමයම' ලෙස ද හඳුන්වයි.

පුරා කථාව

මුදුන් මාලා, ධර්ම මාලා, ගිරිමේඛලා, ඕංකාරා, එර්දි, රණකපාල, කොණ්ඩමාල යන බිසව්වරුන් දරුවන් නොමැති සොවින් පසු වූහ. එම නිසා ඔවුන් වඳ බිසව් සත්කට්ටුව නමින් හැඳින් වීය. ඔවුන් කපු හේනක් වපුරා, කපු නෙලා, කපු නූල්වලින් සළුවක් වියා දීපංකර බුදුන්ට පූජා කර ඒ ආනිශංසය හේතු කොටගෙන දරු සම්පත් ලැබගත්හ.

රට යකුමේ නාට්‍යමය අවස්ථා

රට යකුමේ ප්‍රධාන නාට්‍යමය අවස්ථා ද්විත්වයකි.

1. නානුමුරය (දොළහ පෙළපාලිය)

2. කපු යක්කාරිය

නානුමුරය

යකැදුරන් තිදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් ස්ත්‍රී වෙස්ගෙන යාග මඬලට පැමිණෙති. මොවුහු පියයුරු නෙරා සිටින ලෙස සැරසී සිටිති. ගොක් කොළවලින් සකසන ලද දිග කොණ්ඩයකින් සහ ගොක් කොළවලින් සකසන ලද මාලා, වළලු, මුදු ආදියෙන් සැරසී සිටිති.

ස්ත්‍රී වෙස්ගත් යකැදුරා සහ ගුරුන්නාන්සේ අතර සංවාදයෙන් පෙළපාලියේ (සෑම පෙළපාලියකටම කලින්) අර්ථය පැහැදිලි කරයි. මේ අනුව පසුබිමින් බෙර වාදනයට අනුව රිද්මයානුකූලව පෙලපාලි 12 ක් අනුරූපණය කරයි. එම පෙලපාලි 12 මෙසේය.

1. නානු ගෑම

2. නෑම

3. හිස පීරීම

4. හිසේ තෙල් ගෑම

5. හවරිය බැඳීම

6. කොණ්ඩෙහි කූරු ගැසීම

7. කන්තෝඩු පැළඳීම

8. තැල්ල බැඳීම

9. වළලු පැළඳීම

10. අඳුන් ගෑම

11. සඳුන් ගෑම

12. කැඩපතකින් මුහුණ බැලීම

කපු යක්කාරිය

මෙහිදී කපු නෙලා ගෙනවිත් රෙද්දක් වියන අයුරු නාට්‍යමය ආකාරයෙන් නිරූපණය කර පෙන්වයි. මෙහිදී ද ගැහැනු වෙස් ගත් ඇදුරා සහ ගුරුන්නාන්සේ අතර ඉදිරියට කරන්නට යන දේ පිළිබඳව සංවාදයක් ඇති වේ. මෙම සංවාදය පහත ජවනිකාවන් අතර සිදුවේ.

* ප්‍රේක්ෂකාගාරයේ වාඩි වී සිටින මිනිසෙක් (කලින් සූදානම් කරගත්) රංග භුමියට කැඳවා ගෙන එන ගැහැනු වෙස් ගත් ඇදුරා ඔහුත් සමඟ පන් ගලවා, මිටි බැඳ, හිස මත තබාගෙන විත් පැදුරක් වියන ආකාරය අනුරූපණය කරයි.

* ඉන් පසුව පැදුර බිම එලා දෙදෙනා මුහුණට මුහුණ ලා වාඩි වී හාස්‍ය ජනක සංවාදයක නිරත වෙයි. මෙහිදී 'මේකා කම්මැලියා' ආදී දෑ කියමින් ගැහැනිය පිරිමියාට බැන වදියි.

* ස්්ත්‍රිය වටයක් ගොස් කපු සොයා ගෙනවිත් සැමියාට දෙයි.

* සැමියා 'හේන කොටන්නට යනවා' යැයි කියමින් යාග මඬල වටේ ගමන් කරයි.

* ස්ත්‍රී වෙස් ගත් ඇදුරා කෙසෙල් බඩවලින් සාදන ලද කපු ගසක් ගෙනවිත් පැදුර මත තබයි.

* කපු නෙලීම, අව්වේ වනා සුද්ධ කිරීම, යන්ත්‍රයෙන් කැපීම, නූල් කැටීම, රෙදි විවීම බෙර වාදනයට අනුව අනුරූපණය කරයි.

* අනතුරුව සුදු සළුවක් ගෙනවිත් බිම දමා දනින් හිඳ කවි කියා සළුව වනයි. මෙමඟින් සළුව බුදුන්ට පූජා කළ බව සංකේතවත් කරයි.

* අවසානයේ භාවිතා කළ භාණ්ඩ වට්ටියකට දමා ආතුරයාගේ හිසට උඩින් අල්ලා සෙත් පතයි.

මොහොතකට පමණ පසු යාගභූමිය පිටුපසින් 'දොයි, දොයි, දොයි' යනුවෙන් දරුවකු නලවන හඬ ඇසෙයි. පසුව ස්ත්‍රී වෙස් ගත් යකැදුරා දරුවෙක් වඩාගෙන පැමිණ දරුවා නලවයි. මෙලෙස දරුවා ලෙස දඬු රුවක් හෝ බෝනික්කෙකු භාවිතා කරයි. දරුවා නලවන කවිය මෙසේය.

අත්තක පිපි මලක් ලෙසේ

පෙත්තක ඇඳි ඉරක් ලෙසේ

සන්තක මගෙ පුතුගෙ යසේ

නෙත් දෙක හැර බලන් මෙසේ

අනතුරුව ආතුර හාමිනේ දරුවා (බෝනික්කා) වඩාගෙන අන් අය ළඟට ගොස් ඔවුන්ගෙන් තෑගි බෝග ලබා ගනියි. සමහර සම්ප්‍රදායන්වල ස්ත්‍රී වෙස් ගත් ඇදුරා දරුවා නාවන බව ද අනුකරණය කරයි.