වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

පාඨක ප්‍රතිචාර ලියන ඔබට

ප්‍රතිචාර තීරයට අදහස් එවන පාඨක ඔබ තමන්ගේ අදහස ඉතා කෙටියෙන් පැහැදිලිව තැපැල්පත්වල පමණක් ලියා ප්‍රතිචාර තීරයට යොමු කරන්න. ඔබ කියන්නට අදහස් කරන දේ සරල අයුරින් ඉදිරිපත් කර ඇත්නම් පමණක් එම ප්‍රතිචාරයට ඉඩකඩ වෙන්කරලීමට අපි කටයුතු කරමු.

ගීතයක අයිතිය ඇත්තේ කාටද?

ගීතයක අයිතිය ඇත්තේ කාටද යන ගැටලුවේදී සංගීතඥයා, ගායකයා, රචකයා යන තුන් දෙනාගේම අයිතිය ගැන කාලයක සිටම කියැවෙයි. මගේ මතය නම් ගීතයක වැඩි අයිතිය ඇත්තේ ගායකයාට බවයි. මන්ද ගීතයක් අපේ හදවත් තුළට ගෙන යන්නේ ගායකයා නිසයි.

මත්තේගොඩ
අජිත් ජෝතිය කරසිංහ


අපේම යැයි හැඟෙන ශ්‍රී දේවිය

අතිශය ජනප්‍රිය බොලිවුඩ් නිළි ශ්‍රී දේවියගේ හදිසි අභාවය ගැන අපි සරසවිය පාඨකයින් වශයෙන් මෙසේ ශෝකය පළ කර සිටිමු.

'නාගීතා' සිතුවම්පටයෙහි නාගයෙකුගේ වෙස් ගෙන ඇය කළ රංගනය කිසිදා අප මතකයෙන් මැකී නොයයි.

එම රංගනය පසුගිය වසරේ පැවති දෙරණ ඩ්‍රීම් ස්ටාර් තුළින් අපගේ නවක නිළි රශි ප්‍රභා දුව විසින් රඟ දැක් වු අයුරු අතිශය දැකුම්කළුය. එම දුවගේ ඒ රංගනය ශ්‍රී දේවිය නමට උපහාරයක්ම වේවා!

එස්. ඒ. පේමලතා
බණ්ඩාරගම


එදා ළමා ගී අද කෝ?

70 දශකයේ ළමා ශිල්පීන් ලෙස දොරට වැඩි ශිරෝමි ප්‍රනාන්දු, ශිරෝමාලා ප්‍රනාන්දු, පේෂලා මෙන්ඩිස්, දමයන්ති ඒකනායක, ලිලන්ති කරුණානායක යන අය ගැයූ 'කොන්ද නමාගෙන',' සකලබුජන්', 'හිංචි පිංචි හාවා', 'මිදුලේ වැලි මාලිගාවේ, 'ටක් ගානවා ටික් ගානවා', 'අම්මාගේ උකුලේ නැල වී', ' උදේ සුපිපුණු මලක්', 'කියන්න සුළඟේ' වැනි ගීත එදත් අදත් ළමා සහ වැඩිහිටි කා අතරත් ජනප්‍රිය ළමා ගීත වේ. එවන් ළමා ගීත අද කෝ?

ජයන්ත අමරතුංග
පොළොන්නරුව


ඉන්දියාවේ අය රඟපාන කොට අපිට?

ඉන්දියානු ටෙලි නාට්‍යය නිසා අපේ සිනමාවට ටෙලි නාට්‍යවලට ඉල්ලුමක් නැති බව හැමදාම අසන්න ලබෙනවා. එය එසේ නම් ඉන්දියානු නළු නිළියන් ගෙන්වා මෙහි රඟපෑමට ගැනීමෙන් අපේ කලාකරුවන්ට සිදු වන්නේ පාඩුවකි.

කිෂා කිෂාන්ති
දළුවකොටුව


තුෂිනිට ආසිරි

කෝටියෝපතියෝ ටෙලි නාට්‍යය තුළින් රසික හදවත් දිනාගත් (අංජලි) තුෂිනි ප්‍රනාන්දුට කලා ලෝකයේ දිගු ගමනකට ආසිරි පතන මා

එච්. එම්. ආරියවංශ
පිළියන්දල
යූ. ජී. පාලිත කුමාරසිංහ
ගඩලාදෙණිය


අඩ නිරුවත සුදුසුද?

සඳුදා සිට සිකුරාදා දක්වා රූපවාහිනී නාළිකාවල විකාශය වන ලස්සන ටෙලි නාට්‍ය තිබුණත් ඒවායේ නළු නිළියන් අඳින අඩ නිරුවත් ඇඳුම් නිසාවෙන් ඒ නිර්මාණ හරියට කිරි බාල්දියට ගොම මුසු කළා වගෙයි කියලයි මට හිතෙන්නේ.

ආරියදාස පිංදෙණිය
පාදුක්ක


රියැලිටි අද කොයිබටද?

වර්තමානයේ රූපවාහිනී නාළිකාවල විකාශනය වන විවිධ මාදිලියේ රියැලිටි වැඩ සටහන් එතරම් හොඳ තත්ත්වයක නොපවතී. එමෙන්ම කලා ශිල්පීන් ගෙන්වා තවත් කලා ශිල්පින් ලවා මෙහෙයවන වැඩ සටහන්වලදී සමහර ඒවා මොන්ටිසෝරි වැඩ සටහන් බවට පත් වී ඇත. දැන උගත්කම ඇති වටිනා වැඩ සටහන් මෙහෙය වූ ඇතැම් ශිල්පින් දෙකේ කොළයට වැටී බොළඳ වැඩ සටහන්වල යෙදෙනවා දකින විට සංවේගයක් උපදී.

අයිලින් සෝවිස්
රාගම


තිස්ස අබේසේකර සමරමු

ප්‍රවීණ සිනමාකරුවෙක්, විශිෂ්ට තිර කතා රචකයෙකු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු, සාහිත්‍යධරයකු, කෙටිකතා කරුවෙකු, කථිකයකු, විචාරකයකු හා මාධ්‍යවේදියකු වූ තිස්ස සිංහල ඉංග්‍රීසි ද්වි භාෂාවෙන්ම ඉතා විචිත්‍ර ලෙස අදහස් ප්‍රකාශ කිරීමට සමතෙකි. එතුමාගේ උගත්කම නිසා විශ්ව විද්‍යාලයෙන් එතුමාට ච්ඹ්ඊ ආචාර්ය සම්මාන උපාධිය පිරිනැමුවා. 1998 දී එතුමාගේ කෘතියකට ජාත්‍යන්තර ග්‍රේෂන් සම්මානය ලැබුණා. අභාවයෙන් පසුවත් එතුමාගේ දස්කම් දැක්කේ 2010 ක්ෂේම භූමි 2012 කුසපබා යන චිත්‍රපට දෙකෙහිම දෙබස්, තිර රචනය හා කතාව තිස්සගේය. 2017 දී නිම්නයක හුදකලාව තුළින් රංගනය දුටුවෙමි. එවන් පුරුෂයෙක් රටකට දුර්ලබය. 2009 අප්‍රේල් 18 අප හැර ගිය තිස්සට නිවන් සුව පතමි.

ඩඩ්ලි ගෝමස්
කටුබැද්ද, මොරටුව


ගංගොඩතැන්නට දීර්ඝායුෂ ලැබේවා

මැදි වියේදී රංගනයට පිවිසුණ ද, වයසින් මුහුකුරා ගිය චරිත හා හාස්‍ය උපදන චරිත ඉතා තාත්ත්විකව රඟපාන නාමිකව නිහඬ දක්ෂ නළුවෙකු ද අපට සිටී. ඔහු නමින් ඩී. බී. ගංගොඩ තැන්නය. බහු භාර්යා හා යකඩ පිහාටු චිත්‍රපට හි මන්ද මානසික වියපත් චරිත දෙක එකිනෙක ඔහුට ඔහුවම අභියෝගීව රඟපෑහ. තවද වන්ෂොට්, ලීඩර් වැනි චිත්‍රපටවල හා තවත් ගණනාවක කළ විකට රංගනයන් ද හරි අපූරුවට රඟපා ඇති බව විකට රසය දන්න හැමෝගේම වැටහීමය. ටෙලිවලින් ද අප හමුවන මේ සොඳුරු රංගධරයා මේ දිනවල විකාශය වන බද්දට සහ කුලියට ටෙලියේ වෙනස් චරිතයකින් අප හමු වෙයි. ඔබට දීර්ඝායුෂ.

ජගත් චන්ද්‍රසිරි, පූජා ජගත්සිරි
මීරිගම පාර, පස්යාල


පොලිස් කැරැක්ටරය උදාරිට මරු

උදාරි වර්ණකුලසූරිය ඔබ මෙරට රංගන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන නිළියකි. මේ දක්වා ඔබ නිරූපණය කළ චිත්‍රපට රංගනයන් ඉතාමත් අගෙයි. ඒ සියල්ලටම වඩා 'පෝරිසාදයා' චිත්‍රපටයේ පොලිස් නිලධාරිනියගේ චරිතය ඉතාමත් විශිෂ්ඨයි. ඔබ ඉදිරිපත් කළ සටන් ජවනිකා ඉතාමත් තාත්විකයි. ඔබට සදා ජය.

කෙනත් පෙරේරා ජාඇල


උරුමයක අරගලය හරිම අගෙයි

දිනපතා හිරු රූපවාහිනියෙන් රාත්‍රී 8.00 - 8.30 දක්වා කාලය තුළ විකාශ කරන 'උරුමයක අරගලය' නම් ඓතිහාසික ටෙලි නාට්‍ය කතා මාලාව ශ්‍රී ලංකාවේ උපන් හැම පුරවැසියෙකුම නැරඹිය යුතු අගනා වටිනා කතා පුවතකි. එකල ඉංග්‍රිසින්ගේ දරදඬු පාලනයට විරුද්ධව රට ගැන කැක්කුමක් ඇති සිහල වීර පුරුෂයින් නොයෙකුත් උපක්‍රම යොදා කැලැ සටන් මැද කන්ද උඩරට රාජ්‍යය බේරා ගැනීමට කළ මහඟු උදාර ක්‍රියාදාම ප්‍රදර්ශනය කළ ටෙලියකි.

කෑගල්ලේ තටාකය පාරේ
මැණීකේ විල්වල සහ තිලකරත්න විල්වල


හදවත් සසල කරන ‘කුසල්’

අර්ජුන් කමලනාත්ගේ සිනමා නිර්මාණයක් වන 'කුසල්' ත්‍රාසය පිරි වැඩිහිටි ළමා පරපුරට එකසේ රස විඳිය හැකි සාර්ථක නිර්මාණයක් ලෙස සඳන් කළ හැකියි. විවිධ සතුන් භාවිත කර ගනිමින් නිර්මාණශීලී තේමාවකින් හැඩ වූ 'කුසල්' චරිතයට පණ දුන් තිවිරු හසිත් දිසානායක, අර්ජුන් කමලනාත්, අමිෂා කාවින්දි, රුවන් චාමිකර යන දක්ෂ රංගනයෙන් දායක වූ සියලු නළු නිළියන්ට අපෙන් උණුසුම් සුබපැතුම් එක් කරමි.

පාලක සමන් පෙරේරා
වත්තල


රසිකයන් පින වූ පිනෙන් ඔබ නිර්වාණයට යන්න

දශක පහකට ආසන්න කාලයක් අර්ථවත් කාලෝචිත ගායනයෙන් මෙරට ගීත ශ්‍රාවකයන්ගේ සවන් පින වූ, ජනප්‍රියත්වය හිමි කරගෙන සිටි ප්‍රවීණ ගායිකා අයිරින් ද අල්විස් මහත්මිය අප අතරන් වෙන්වීම සංගීතයෙන් මනදොල පුරවාගත් රසිකයන්ට ඉමහත් පාඩුවකි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී ගයමින් ගායන දිවියට පා තැබූ අයිරින් ද අල්විස් චිත්‍රපට හා ගුවන් විදුලි ගීත 200 ක් පමණ ගයා ඇති බව නොරහසකි. ප්‍රවීණ ගීත රචක හේම ශ්‍රී ද අල්විස් ඇයගේ ගීතවලට පණ දුන් පණ මෙන් ආදරය කළ සැමියකු බවත් 70, 80, 90 දශකයන්හි ඇය ප්‍රසංග වේදිකාවේ කළ මෙහෙවර කිසිදා අමතක නොවේ. ලංකාවේ ජනප්‍රිය ගායකයන් වූ මොහිදින් බෙග්, මිල්ටන් පෙරේරා, එච්. ආර්. ජෝතිපාල වැනි විශිෂ්ටයන් සමඟ යුග ගී ගැයීමෙන් අප පින වූ අතර දෑස පා සිනා, සඳ වාගේ ලස්සන රූපිකා, සීත වන විල් පෙතේ, පෙම් හසරැලි පාලා, ජිවනයේ මල් පිපුණා යන ගීත අතරින් සැමගේ සිත් සතන් පින වූ ඇය බොහෝ කාලයක් අසරණ බවින් පෙලුණත් ඔබගේ රසිකයන් පින වූ පිනටම ඔබට නිර්වාණ සම්පත්තියම ලැබේවායි බැති සිතින් පතමි.

සෝමරත්න ද සිල්වා
අහුන්ගල්ල


නෙතට කඳුළක්

'දෑස පා සිනා' ගී නාදයෙන් අප සවනට ආ අයිරින් ද අල්විස් ගායිකාවගේ සමු ගැනීම අප හද තුළ ඇති කළේ කඳුළකි. ඇයට නිවන් සුව ප්‍රාර්ථනා ප්‍රතිචාර දක්වන පාඨක සැම සමඟින්.

ආතර් ජයකොඩි
කොළඹ 02


අයිරින්ට නිවන් සුව

දෑස පා සිනා, රන්තරු දෑසේ, හෙල ජාතික පියුම් විලේ, සීත වනවිල් පෙතේ . . . වැනි රසාලිප්ත ගී රැසක් ගායනා කළ කලක් රෝගාතුරව සිට පසුගියදා දැයෙන් සමුගත් ගායන ශිල්පිනී අයිරින් ද අල්විස් මහත්මියනි ඔබට නිවන් සුව.

අතුල රම්‍යසිරි
පානදුර
ලක්ෂ්මන් රණසිංහ
හේකිත්ත
ජේ. ඒ. ලයනල්
මොදරවාන
ජයන්ත අමරතුංග
පොළොන්නරුව