වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




සිසු සිසුවියන්ගේ දක්ෂතා කලඑළියට ගේනවා

මම කවමදාවත් ජනප්‍රිය රැල්ල පසුපස යමින් කටයුතු කරපු කෙනෙක් නොවෙයි

සිසු සිසුවියන්ගේ දක්ෂතා කලඑළියට ගේනවා

ගී තෙර ප්‍රසංගය සමඟ නිර්මලා

ඈ නිර්මලා රණතුංගය. ඇයව හඳුන්වන්නට එපමණක්ම ඇති. ලාංකේය ගී කෙත සුපෝෂිත කළ අපූරු කටහඬක හිමිකාරිණිය. මතකය හුඟක් ඈතට දිව යනවා. 70 - 80 දශකයේ ගුවන් විදුලියෙන් ඇසුණු බොහෝ සරල ගීත මතක් වෙනවා. විශේෂත්වය වෙන්නේ දශක ගණනාවක් ගෙවුණත් ඒ ගීත තවමත් අපේ සවන්පත්වලට ගීත මාධූර්යයේ අසිරිය කැඳවීමයි.

‘ඔබ මට තරුවකි - ගණඳුරු රැයකදි

දිදුලන සඳවට - ගුවන අරා . . .

ඈ ගැයුවේ ලක්ෂ්මන් විජේසේකර සමඟ. ඇගේ බොහෝ ගීතයන්ට පදනම වුණේ ආදරය, ප්‍රේමය, විරහව. අර්ථාන්විත පද රචනයත් සමඟ කැටිවුණු ඇගේ ප්‍රේමණීය හඬ ශ්‍රාවකයින්ගේ සිත් සතන්වලට ද ප්‍රේමයේ අසිරිය රැගෙන ආවා. හද රිදවා ගලා යන විරහ වේදනාවේ කම්පනය දැනෙව්වා.

මේ කෲර ලෝකයෙන් මිදී

ඔබ වෙතට පලා එන්නම් . . . .

හදේ තෙතක් නෑ - දයා දියක් නෑ

බැලූ බැලූ අත කිසි පිළිසරණක් නෑ

මුළු ලොවම රවා ඔරවා බලන වේලේ

ඔබ වෙතට පලා එන්නම් . . .

නිර්මලා මෙරට සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සිය පවුලේ උරුමයක් ලෙසින්. දරුවන් හය දෙනෙකුගෙන් යුතු පවුලක තුන් වැන්නියව උපන් නිර්මලාට සංගීත ලෝකයේ ගමන් මඟට පූර්වාදර්ශය වූයේ සිය වැඩිමල් සහෝදරිය වූ මල්කාන්ති නන්දසිරි. මල්කාන්ති කලා ලොවේ ඉදිරියට යද්දී ඇගේ පසුපසින් නැගණියන් දෙදෙනා වන නිර්මලාත්, නිරංජලාත් මෙන්ම බාල සොයුරු මනෝජ් ද පිවිසුණා. නිර්මලා සිය සංගීත දිවියේ ආරම්භය සනිටුහන් කරන්නේ කරුණාරත්න අබේසේකරයන්ගේ ළමා පිටියෙන්. මල්කාන්ති ඇය ළමා පිටියට කැඳවාගෙන යන විට දස හැවිරිදි දැරියක්. මේ හඳුන්වාදීමෙන් පසු නිර්මලා දිගින් දිගටම සංගීතයට පෙම් බඳිමින් ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක් දක්වා සිය ගමන් මඟ මෙහෙයවා ගත්තා. එසේම ඇය බී. වික්ටර් පෙරේරා, පී. වී. නන්දසිරි වැනි ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨයින් හමුවේ ශාස්ත්‍රීය සංගීතයේ ශිල්ප ඥානය ලබා ගත්තා.

ඇගේ ගායන දිවියටත්, පෞද්ගලික දිවියටත් සුවිශේෂ සන්ධිස්ථානයක් බවට පත් වුණේ ඇගේ විවාහය. ඒ 1972 දී ඇය ප්‍රවීණ තබ්ලා වාදන ශිල්පී විජේරත්න රණතුංගයන් සමඟ විවාහ වීම. ඇගේ ඉදිරි කලා දිවිය ගොඩ නැඟෙන්නේ මේ සුසංයෝගයත් සමඟ. නිවැරදි සංගීත ඥානයත්, හරවත් රසිකත්වයත් සමඟ ඇගෙන් නිර්මාණය වුණු බොහෝ ගීත මෙරට ගී කෙත පෝෂණය කළ නිර්මාණ බවට පත් වුණා.

‘අකලට වට මහ වරුසාවක් සේ

අසුබ දිනක ආ සුබ පැතුමක් සේ

මා හැර ගිය ඔබ නොසිතූ විලසින්

ඇයිදෝ යළි ආවේ . . .’

මෙරට ශ්‍රාවක සිත් සතන් වෙත ගීයක සාහිත්‍ය රස සේම සංගීත රසය, ගායන රසය යන ත්‍රිවිධ රසයන් අත්විඳීමේ සන්තුෂ්ඨිය මේ ගීත හරහා ලබා දෙන්නට ඇය සමත් වුණා.

මේ උයන් තෙරේ - මේ තුරු සෙවණේ

ඔබේ කතා මට තවම ඇසේ

මේ නදී තෙරේ - මේ අඩි පාරේ

ඔබේ සිනා මට තවම පෙනේ . . .

මේ සුගායනීය ගී එකතුව සමඟින් නිර්මලා සිය ශාස්ත්‍ර ඥානය සුවහසක් දූ දරුවන් වෙත තිළිණ කරන ආදරණීය ගුරුවරියක බවට ද පත් වුණා. පුරා වසර ගණනාවක සිට ගෝල බාලයන් රැසක් බිහි කළ ඇය අදටත් සිය ජීවිතයේ තෘප්තිය රඳා පවතින්නේ ගුරු වෘත්තීය තුළ බව විශ්වාස කරනවා.

මේ විශ්වාසයත් සමඟ අද දින ඈ එළඹ සිටින්නේ තමන්ගෙන් ශිල්ප ශාස්ත්‍රය හදාරන අලුත් පිරිසකගේ දක්ෂතා එළි දැක්වීමේ සුවිශේෂ කාර්ය භාරයකට. ඇය පවත්වාගෙන යන ‘ගී තෙර’ සෞන්දර්ය ආයතනයේ ශිල්ප ලබන සිසු සිසුවියන්ගේ ශිල්ප දැක්ම එළඹෙන 24 වැනි දින බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේදී සවස 6.00 ට දිග හැරෙනවා. ‘මගේ ‘ගී තෙර’ කලායතනයේ විවිධ වයස් කාණ්ඩවලට අයත් සිසු සිසුවියන් ඉගෙනුම ලබනවා. ඒ වගේම මේ සෞන්දර්ය ආයතනයෙන් විවිධ සංගීත විභාගයන්ට වගේම, කටහඬ පුහුණුව, රස වින්දනය වැනි විෂයනුත් ඉගැන්වෙනවා. මේ අතරින් ‘ගී තෙර’ ප්‍රසංගයට වැඩි වශයෙන් සහභාගි වෙන්නේ වැඩිහිටි සිසු සිසුවියන්. මේ පන්තියේ අවුරුදු 75 දක්වා වයස් සීමාවේ අයත් ඉන්නවා. ඔවුන් බොහෝ දෙනෙක් විවිධ වෘත්තීන් හි නියැලෙන අය. එහෙම නැත්නම් විශ්‍රාමිකයෝ. මේ අය අතර වෛද්‍යවරු, ඉංජිනේරුවෝ ඇතුළු ඉහළ ගණයේ වෘත්තීන් හි නියැලෙන සහ ඉන් විශ්‍රාම ගත් අය ඉන්නවා. මේ අය අතරට ළමයින් කිහිප දෙනෙකුත් යොදගෙන තමයි මේ ප්‍රසංගය කරන්නේ. මම කුඩා දරුවන්ට සංගීතය උගන්නලා තෘප්තියක් ලබනවා වගේම මේ වැඩිහිටියන්ට උගන්නලා ඊටත් වඩා සතුටක් ලබනවා. ඔවුන් කුමන තරාතිරමක අය වුණත් කලාවට ඉතාම කැමති අය. පන්තිය කරගෙන යනකොට මම ඔවුන්ට පොරොන්දු වුණා හොඳට සින්දු කියන්න ඉගෙන ගත්තොත් මම ඒ ගොල්ලන්ව ප්‍රසංග වේදිකාවට ගේනවා කියලා. මෙතන ඉන්න සමහරු පුංචි කාලේ ඉඳලම ප්‍රසිද්ධ වේදිකාවක සින්දුවක් කියන්න ආසවෙන් ඉඳලා අවස්ථාව නොලැබුණ අය. වයස 75 දී හරි දැන් ඔවුන් ඒ ආසාව ඉෂ්ට කර ගන්නවා. ඒක ඔවුන්ට සතුටක් වගේම, ඒ සතුට ඔවුන්ට ලබා දෙන්න පුළුවන් වුණු එක ගැන මට සතුටුයි.’

නිර්මලා මේ සිදු කරනුයේ එක්තරා ආකාරයකට පින්කමක්. වෙහෙස කර දිගු ජීවන ගමනක අවසන් භාගයේ සිටින බොහෝ දෙනෙකුට නිර්මලාගේ පන්තිය එක්තරා ආකාරයක සැනසුමක්. සාමාන්‍යයෙන් පැයක කාල වකවානුවකට සීමා වන ඇගේ පන්ති මේ වැඩිහිටියන් වෙනුවෙන් පැය දෙක දක්වා දිගු වෙනවා. ඒ කාලය තුළ සංගීතය ඉගෙන ගන්නවාට අමතරව තම තමන්ගේ ජීවන අත්දැකීම්, තොරතුර හුවමාරු කර ගන්නට ද මේ වැඩිහිටියන්ට අවස්ථාව ලැබෙනවා.

‘ගී තෙර’ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මැතිනියයි. සංගීත අධ්‍යක්ෂණය විශාරද මනෝජ් පීරිස්. ප්‍රසංගය ඉදිරිපත් කරනුයේ ඉන්ද්‍රසිරි සුරවීර විසින්.

‘ඇත්තටම මට මගේ ජීවිතේදී තව ලබන්න දෙයක් නැහැ. මම ගායිකාවක් විදියට ගී ගණනාවක් ගායනා කරලා තියෙනවා. හොඳම ගායිකාව විදියට ස්වර්ණ සංඛ සම්මාන ලබල තියනවා. ඒ වගේම ගුරුවරියක් විදියට මම උගත් ශාස්ත්‍රය හරියාකාරව දූ දරුවන්ට දීලා තියෙනවා. දැන් මම වැඩිහිටියන්ටත් ඒ දැනුම බෙදා දෙනවා. මට මගේ දෙයක් කරනවාට වඩා විශාල තෘප්තියක් මේ දේවල්වලින් ලබනවා. දැන් මට අවශ්‍ය මේ අයට ඒ දේවල් ලබා දෙන්නයි. ගායිකාවක් විදියට වුණත් මම කවමදාවත් ජනප්‍රිය රැල්ල පසුපස යමින් කටයුතු කරපු කෙනෙක් නොවෙයි. බොහොම හෙමින් මගේ නිර්මාණවලට අවංකව වෙහෙස වෙමින් කටයුතු කළ කෙනෙක්. ගීත දහස් ගණනක් නැති වුණත් මේ කියන අතළොස්ස ඇති මට තෘප්තිමත් වෙන්න. දැන් මට ඕන අනිත් අයව තෘප්තිමත් කරන්න.’

නිර්මලාගේ ජීවිතය තුළ වන විවිධ භූමිකා අතර බිරියක්, මවක්, සොයුරියක්, දියණියක් වැනි සංවේදී භූමිකා මේ මොහොතේ අමතක කළ නොහැකියි. ඇය ඉතාම ළාබාල වියේදී විවාහ වූවා. ඒ මේ රටේ ප්‍රවීණ තබ්ලා වාදකයෙකුව සිටි විජේරත්න රණතුංගයන් සමඟ. එහෙත් මේ මොහොත වන විට ඔහු සදහටම ඈ හැර ගොස්. විවිිධ අවස්ථාවල ඇය ඔහු පිළිබඳ අදහස් දක්වත්දී ඔහු ඇගේ ජීවිතයට සුවිශේෂ සවියක් වූ හැටි කියා තිබුණා. ඒ අත්වැල බිඳුණු පසු ද ඈ සිය සිත ශක්තිමත් කොට ගෙන ජීවිතය විඳිනවා.

‘මගේ මහත්තයා මගේ ජීවිතේට ලොකු හයියක්. ඒත් ඒ හයිය දැන් මා ලඟින් ගිහින් ගොඩාක් කල්. මම දන්නේ නෑ මම දිහා මිනිස්සු කොයි විදියට බලනවද කියලා. නමුත් මගේ ඇතුලාන්තය කවුරුත් දකින්නේ නෑ. මම පිටතින් හරිම සැහැල්ලුවෙන්, සතුටෙන් ජීවත් වෙනවා. මගේ ඇතුලාන්තය දන්නේ මමනේ. මගේ පාළුව, තනිකම, මගේ මහත්තයා සිහිවීම. නමුත් මම ඒවා ඔක්කොම හිතෙන් ඈත් කරලා තමයි මේ වෘත්තියට යොමු වෙලා ඉන්නේ. මම මහත්තයා ගැන හිත හිත මළවුන් අතරේ ජීවත් වුණා නම් අද මේ කිසිම දෙයක් කරන්න මට බෑ. එයා ඉන්නකම් මම හොඳින් සැලකුවා. දැන් මම එයා වෙනුවෙන් කරන්න පුළුවන් පින්කම් කරනවා. ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නත් මම කැමැති නෑ. මම ප්‍රසිද්ධියේ කරන දේ තමයි මේ කරන්නේ.

මගේ ජීවිතේ නිදහසේ ගෙවන්න මට මගේ දරුවෝ දෙන්නා ඉඩ දීලා තියෙනවා. මට ඉන්නේ රත්තරං දුවෙක්. තාත්තා නැති වෙලා අවුරුදු 07 ක් වෙනවා. මේ කාලය ඇතුළත මට කිසි දෙයකින් අඩුවක් නැතිව ඇය මාව බලා ගන්නවා. මම හිතනවා මම වාසනාවන්ත අම්ම කෙනෙක් කියලා. ඒ වගේම තමයි දුවටත් මම. අපි දෙන්නා හොඳම හොඳ යාළුවො වගේ. එයා කවදාවත් මට එයාගේ වැඩ කරලා දෙන්න කියලා කියන්නේ නෑ. මම මගේ යුතුකමක් විදියට දවස් 05 ක් මගේ පන්ති කරලා ඉතිරි දවස් දෙක දුවත් එක්ක ගත කරනවා. පුතා බලන්න ගිහින් පුතා එක්කත් ගත කරනවා. මේ දෙන්නගේම මුණුපුරු මිණිපිරියෝ බලන මම සතුටින් ඉන්න වාසනාවන්ත ආච්චි කෙනෙක්. මම මගේ ජීවිතේ ගැන හරිම තෘප්තිමත්.

නව පරපුරකට අත දෙන අතරම ඇගේ ගී හඬත් පුරුදු ශ්‍රාවකයින්ට අසන්න සලස්වන්න ඈ උත්සාහ දරනවා. මේ අතර විවිධ පුද්ගලයින් විසින් ඈ ලවා ගායනා කරන ලද නව නිර්මාණ ගීත එකතුවක් ද ඈ ළඟ තිබෙනවා. ඈ මෙතෙක් වැඩිම යුග ගී ප්‍රමාණයක් ගායනා කර ඇත්තේ ලක්ෂ්මන් විජේසේකර සමඟ. ඉදිරියේදී ඇය, ලක්ෂ්මන් හා එක්ව ප්‍රසංගයක් පැවැත්වීමට ද බලාපොරොත්තු වෙනවා. ඒ ගී හඬ යළි යළිත් නින්නාද වනු අසන්නට අපි ද බලා සිටිනවා.