වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




රාණි HICHKI සමඟ යළි තිරයට

රාණි HICHKI සමඟ යළි තිරයට

ස්නායු ආබාධයෙන් පෙළෙන ගුරුවරියකගේ කතා පුවතක්

උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ගුරුවරියක ලෙසින් සේවය කිරීමට ඉල්ලුම් කළ මූලික පාසල් 24කින් ප්‍රතික්ෂේප වූ පසුව ද තම බලාපොරොත්තු අත් නොහළ බ්‍රැඩ් ජෝර්ජියාවේ පාසලක දී තම අරමුණ සාර්ථක කරගැනීමට සමත් වුණා.

රාණි මුඛර්ජි බොලිවුඩ් සිනමාවේ ඉහළ ජනප්‍රියත්වයක් ලබාගත් නිළියක බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ. චිත්‍රපට නිෂ්පාදක ආදිත්‍ය චොප්රා සමඟ විවාහයෙන් පසුව ඇය කෙටි කාලයකට සිනමාවට සමු දුන්නේ දියණිය ආදිරාගේ උපතත් සමඟින් සිය පෞද්ගලික දිවියට වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණැතිවයි. අවසන් වරට ඇයගේ රංගනයක් දැන ගන්නට ලැබුණේ නිර්භීත පොලිස් නිලධාරිණියක ලෙසින්. ඒ 2014 වසරේ තිරගත කෙරුණු Mardaani චිත්‍රපටයෙන්. එයින් සිව්වසරකට පසු නැවතත් ඇය රිදී තිරයට පැමිණෙන්න සුදානම්. ඒ සිද්ධාර්ත් පී. මල්හෝත්‍රා අධ්‍යක්ෂණය කළ Hichki චිත්‍රපටයෙන්. Hichki හෙට (මාර්තු 23) සිට ලොවපුරා තිරගත කිරීමට නියමිතයි.

Tourette Syndrome නම් ස්නායු ආබාධයෙන් පෙළෙන ගුරුවරියකගේ කතා පුවතක් රැගෙන එන Hichki, 2008 වසරේ තිරගත කෙරුණු පීටර් වොනර් අධ්‍යක්ෂණය කළ Front of the class චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය වූවක්. Front of the class චිත්‍රපටයට පාදක වී ඇත්තේ අමෙරිකානු නවකතා රචක බ්‍රැඩ් කොහෙන්ගේ Front of the Class: How Tourette Syndrome Made Me the Teacher I Never Had කෘතිය යි. එය බ්‍රැඩ්ගේ සැබෑ ජීවිතය සමඟින බැඳී පවතින්නක්. නිවැරදි ලෙසින් වචන උච්ඡාරණය කළ නොහැකි ස්නායු ආබාධයකින් පෙළුණු පුද්ගලයකු වූ ඔහු තම ජීවිතයේ එකම අරමුණ වූ ගුරුවරියක බවට පත් වීම සැබෑකර ගන්නට කළ සටන එහි දැක්වෙනවා. උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ගුරුවයකු ලෙසින් සේවය කිරීමට ඉල්ලුම් කළ මූලික පාසල් 24කින් ප්‍රතික්ෂේප වූ පසුව ද තම බලාපොරොත්තු අත් නොහළ බ්‍රැඩ් ජෝර්ජියාවේ පාසලක දී තම අරමුණ සාර්ථක කරගැනීමට සමත් වුණා.

Hichk චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ මනීෂ් ශර්මා සමඟින් ආදිත්‍ය චොප්රා. චිත්‍රපටය බෙදා හරිනු ලබන්නේ යෂ්රාජ් ෆිල්ම්ස් සමාගම විසින්. මෙහි සංගීත අධ්‍යක්ෂණය ජසිලීන් රෝයල් සහ හිතේෂ් සොනික් විසින් සිදුකර ඇති අතර අර්ජිත් සිං, හර්ෂ්දීප් කෞර්, ශිල්පා රාඕ ඇතුලු පිරිසක් ගායනයෙන් දායක වී ඇත. අධ්‍යක්ෂ මල්හෝත්‍රා සහ අන්කූර් චෞද්‍රිගේ කතාවට අනුව තිරරචනය වෙනුවෙන් අන්කූර් සමඟින් අම්බාර් හදාප් සහ ගනේෂ් පණ්ඩිත් දායක වී තිබෙනවා. නමුත් මෙහි ප්‍රචාරණ කටයුතු සමඟින් තිරරචනය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුවී තිබෙන බව බොලිවුඩයෙන් ආරංචි වෙනවා. මෙහි පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත්වීම සමඟින් ලේඛක නිශාන්ත් කෞෂික් චෝදනා කර සිටින්නේ තම තිරරචනයක් මෙලෙසින් Hichk චිත්‍රපටයට යොදා ගෙන ඇති බවයි. අධ්‍යක්ෂ මල්හෝත්‍රා තමන්ගේ පිටපත ලබා ගත්ත ද එයින් චිත්‍රපටයක් නිර්මාණය වී ඇති බව දැන ගත්තේ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමෙන් පසු බව ඔහු පවසනවා. අධ්‍යක්ෂ මල්හෝත්‍රා පවසන්නේ මෙය අභූත චෝදනාවක් බවයි. චිත්‍රපටය වෙනුවෙන් තිරරචනය පිළිබඳ මූලික සාකච්ඡා සඳහා තවත් තිරරචකයන් කිහිප දෙනෙකු සමඟින් නිශාන්ත් ද පැමිණිය ද චිත්‍රපටයේ තිරරචනයට දායක වූවන්ගේ නම් පමණක් මෙහි සඳහන් කරන්නට තමන් වගබලා ගත් බවයි.

මෙහි මුලික රූගත කිරීම් ආරම්භ කෙරුණේ පසුගිය 2017 වසරේ අප්‍රේල් මාසයේදීයි. රංගනයට පෙර රාණි බ්‍රැඩ් විසින් රචිත Front of the Class කෘතිය ඉතා හොඳීන් පරිශීලනය කළ බව අධ්‍යක්ෂ මල්හෝත්‍රා පවසනවා. තම රංගන දායකත්වයෙන් පසු චිත්‍රපටයට වන්නේ කුමක් දැයි සොයා නොබලන බොහොමයක් නළු නිළියන් අතරේ සුවිශේෂි පියවරක් ගැනීමට රාණි කටයුතු කර තිබුණා. එනම් Hichki චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රාණි මුඛර්ජි නගරයෙන් නගරයට යාම යි. අහමදාබාද් නගරයෙන් ආරම්භ කර ප්‍රේක්ෂකයින් සහ පාසල් සිසුන් හමුවීමට තමා අදහස් කරන බව වරෙක ඇය පවසා තිබුණා. එම කටයුත්ත බොහෝ දෙනාගේ ප්‍රංසාවට ලක් වූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. එසේම Hichki චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ලේඛක බ්‍රැඩ් කොහෙන් සහ ඔහුගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් වෙනුවෙන් පවත්වන්න ද රාණි කටයුතු යොදන බවත් බොලිවුඩ් පුවත් ගෙන එනවා. එහිදී රාණි මුඛර්ජි ඔහුගේ කතාව තිරයට ගෙන ඒම වෙනුවෙන් උපරිමයෙන් උනන්දු වී ඇති අයුරු බ්‍රැඩ් දකිනු ඇති බවත් එහි සඳහන්.

Hichki යන්නෙහි අර්ථය 'ඉක්කාව' යි. Hichki චිත්‍රපටයේ එන පරිදි, නෙයිනා මාථූර් ගුරුවරියක වීමේ දැඩි බලාපොරොත්තුවෙන් පසුවන කාන්තාවක්. නමුත් ඇයට ගැටළුවක් වන්නේ කුඩාකළ පටන් ඇය පෙළන ස්නායු ආබාධය (Tourette Syndrome)යි. තම ස්නායු ආබාධය ජිවිතයට අභියෝගයක් වුවද නෙයිනා ගුරුවරියක ලෙස සිය ඉගැන්වීම් ආරම්භ කරනුයේ එතරම් පිළිගැනීමක් නැතැයි සැලකෙන පාසලක දඩබ්බර සිසුන් පිරිසක් සිටින පන්තියකිනි. සිය ගුරු වෘත්තියේදී ඇයට මුහුණ දීමට සිදුවූ අභියෝගය බිඳ දමා ජයග්‍රහණය කරා යන අයුරු Hichki චිත්‍රපටයට සමඟින් ගෙන එනවා. බොලිවුඩ් විචාරකයන් අදහස් දක්වමින් පවසා සිටින්නේ, යම් පුද්ගලයකුගේ බාහිර ස්වරූපය හෝ ඇතැම් භෞතික සාධක මත මිනිසුන්ගේ ක්‍රියාවන් පිළිබඳ පූර්ව නිගමනයන්ට එළඹිය හැකිද යන කරුණ මෙම සිනමා නිර්මාණය ඔස්සේ අපූරු ලෙස සංවාදයට ගැනෙන බව යි.

මෙහි එන 'Oye Hichki'~ƒ 'Madamji Go Easy'ගීත අන්තර්ජාලය ඔස්සේ චිත්‍රපටය ප්‍රදර්ශනයටත් පෙර ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගනිමින් සිටින බව බොලිවුඩයෙන් ආරංචි ගෙන එනවා. මෙම ගුරුතුමිය සිය ආබාධය පවා ජීවිතයට බාධාවක් නොකර ධනාත්මක අයුරින් දායක කර දියුණුව කරා යන අයුරු සේම තම ශිෂ්‍යයන්ට පවා තම තමන්ගේ වටිනාකම් තේරුම් ගන්නා අයුරු කියා දෙමින් ඔවුන් අධ්‍යාපනයට උනන්දු කරවන අයුරුත් ඒ සමඟින් මේ දඟකාර ළමයින් පිරිස උද්‍යෝගයෙන් තම අධ්‍යාපන කටයුතුවල නිරත වන අන්දමත් එහි නිරූපිතයි. ඒ සමඟින් "අරමුණක් තිබේ නම්, ක්‍රමයක් ද ඇත" යන උපදේශයත් එයින් පෙන්වා දී ඇත.

අපූරු තේමාවක් ගෙන එන මෙම චිත්‍රපටය සමඟින් රාණි මුඛර්ජිගේ සිනමාගමනය පිළිබඳවත් කවුරුත් විමසිලිමත් ලෙසින් බලා සිටිනවා. 1996 වසරේදී සිය පියා රාම් මුඛර්ජි විසින් අධ්‍යක්ෂණය කළ බෙංගාලි චිත්‍රපටයක් වූ Biyer Phool චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි රාණි මේ වන විට හොඳම නිළිය සහ හොඳම සහය නිළිය වෙනුවෙන් වූ ෆිල්ම්ෆෙයාර් සම්මාන හතකට හිමිකම් කියනවා. ඇය රංගනයෙන් දායක වූ Chalte Chalte (2003), Yuva (2004), Hum Tum (2004), Veer-Zaara (2004), Black (2005), Bunty Aur Babli (2005), Kabhi Alvida Naa Kehna (2006),Saawariya (2007), No One Killed Jessica (2011), Talaash(2012), Mardaani (2014) වැනි චිත්‍රපට වාණිජ අතින් ඉහළ සාර්ථකත්වක් ලද චිත්‍රපට වේ. Hum Tum සහ Black චිත්‍රපටවල රංගනයන් ඇයට හොඳම නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මාන ද්විත්වය බැගින් (විචාරක සම්මානය ද සමඟින්) ගෙන දුන්නා. සිව් වසරකට පසු රිදී තිරයට පැමිණෙන රාණිගේ දෙවැනි සිනමා ගමන Hichki චිත්‍රපටයෙන් ආරම්භ වන අතර මේ වසරේ අවසායේදි තිරගත කිරීමට නියමිත ආනන්ද් එල්. ආර් විසින් අධ්‍යක්ෂණය කළ ශාරුක් ඛාන්, කත්‍රිනා කායිෆ් සහ අනුෂ්කා ෂර්මා ප්‍රධාන චරිත මවන ඛඥපධ චිත්‍රපටයේද විශේෂ දර්ශනයකින් ද ඔබ හමුවීමට නියමිතයි.