වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




ගොටුවට මස් අපට කටු

ගොටුවට මස් අපට කටු

හරිඳු වරුණ පෙරේරා

හරිඳු වරුණ පෙරේරා මෙතුවක් ප්‍රසිද්ධව සිටින්නේ රංගන ශිල්පියෙකු හැටියටයි. එමෙන්ම කොණ්ඩ සැකසුම් කලාවේද ඔහු ප්‍රවීණයෙක්. ඔහු ගැන අලුත් ආරංචියකි මේ. ඒ ඔහු ගායකයකු, ගීත රචකයකු හා පිටපත් රචකයකු වීමයි.

* කොහොමද හරිඳු කලා ජීවිතයේ අලුත් තොරතුරු?

හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ කොළඹ සන්නිය රිටන්ස් චිත්‍රපටයේ මම හැරී කියන ලන්සි චරිතයක් රඟපෑවා. මේ වන විට චිත්‍රපට කීපයකටත් ටෙලි නාට්‍ය කිහිපයකටත් මට ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව ච්.ඍ.ච්. චිත්‍රපට කීපයක් සඳහාම පිටපත් කීපයක් ලිව්වා. ඇමැතිට බයිපාස් ච්.ඍ.ච්. චිත්‍රපටයේ පිටපත ලිව්වෙත් මම.

* ටෙලි නාට්‍ය හා චිත්‍රපට පිටපතක් ඔබ අතින් ලියවුණා නේද මිට කලකට පෙර?

ඔව් ලිව්වා. අද සමාජයට ගැළපෙන උපහාසාත්මක චිත්‍රපටයක් වෙනුවෙන් මම පිටපතක් ලිව්වා. ටෙලි නාට්‍ය කීපයක් සඳහාත් මම පිටපත් කීපයක් ලිව්වා. අවශ්‍ය නිෂ්පාදකයෙක් අධ්‍යක්ෂවරයෙක් ඉන්නව නම් මම ඒ දේ ලබා දෙන්න කැමැතියි.

* ඔබේ පිටපත නිර්මාණයක් ලෙස එළිදකින්න නිෂ්පාදකයෙක්, අධ්‍යක්ෂවරයෙක් හමු නොවුණොත්?

එහෙම වුණොත් බොහෝ විට මගේම අධ්‍යක්ෂණයක්, නිෂ්පාදනයක් ලෙසින් මගේම පිටපත නිර්මාණයක් වෙත යොමු වෙයි.

* දිගු කාලක පටන් ඔබ පිටපත් රචනයේ නියැලෙන පුද්ගලයෙක්?

89' දී තමයි මම මුලින්ම පිටපත් රචනයට මුල පිරුවේ. වේදිකා නාට්‍ය කීපයක්ම මම මේ වන විට පිටපත් රචනය කරලා තියෙනවා. ජයවේ ඩාන්සර් මගේ පළමු වේදිකා නාට්‍ය රංගනය.

* ටෙලි නාට්‍ය වගේම චිත්‍රපටවලත් ඔබ රංග ශිල්පියෙකු ලෙසින් දිගු ගමනක් පැමිණියා නොවේද?

මේ වෙන කොට ටෙලි නාට්‍ය පනහකට වැඩි ප්‍රමාණයක් මම රඟපාලා තිියෙනවා. ගැහැනු ළමයි මගේ මුල්ම ටෙලි නාට්‍යය. චිත්‍රපට වුණත් දොළහක විතර රඟපාලා තියෙනවා. මගේ මුල්ම චිත්‍රපට රංගනය වූ ඇසල සඳ සමඟ ගිය වසරට පමණක් ටෙලි නාට්‍ය 17 ක මම රඟපෑවා.

* ටෙලි නිර්මාණ අතරින් ඔබ ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වුණේ අමා ටෙලි නාට්‍යයේ වරා චරිතයෙන්. රංගනය සඳහා චරිත ලැබීමේ ක්‍රමවේදය සඳහා ඔබ මනාපද?

ඒ ගැන නම් කවර කතාද? බැනුම් අහගෙන කට්ට කාගෙන අවංකව නිර්මාණය වෙනුවෙන් කැප වෙන අය තමයි අපි. ඒත් අපිට තමයි බැනුම් ගෙරවිලි. අපිව අගයන් නෑ. ප්‍රධාන නළුවා, නිළිය තමයි අගයන්නේ. ඔය වගේ කෙනහිලිකම් මැද්දේ තමයි අපි රඟපාන්නේ.

* ප්‍රධන නළුවා නිළිය මොනවා කළත් බැනුම් ගෙරවිලි නෑ කියල ද ඔබ කියන්නේ?

යථාර්ථය ගැන කතා කළොත් එහෙමයි. වෙලාවට ලොකේෂන් එන්නැති පොලු තියන අය ගැන වගක් නැති අධ්‍යක්ෂවරු තමන්ට ගොටු අල්ලන එකාට මස් රාත්තලම දීලා අපි වගේ පොඩි උන්ට මස් කට්ට දෙනවා. ඕකයි තිත්ත ඇත්ත.

* ප්‍රධාන චරිතයක් රඟපෑමේ සිහිනය තවම ඔබට සැබෑ වෙලා නැහැ නොවේද?

අතුරු චරිත තමයි ලැබෙන්නේ. බොහෝ විට අපිට මේන් කැරැක්ටර් කරන්න පුළුවන් වුණාට ඒවා අපිට නොදෙන එකනේ ප්‍රශ්නය.

* අද වෙන කොට ඔබ ප්‍රසංග වේදිකාවේත් ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා?

උඩුගම් බලා පීනන කෙනෙක් තමයි මේ හරිඳු. අර්ථාන්විත හොඳ සිංදු කොච්චර ලිව්වත් කොච්චර ගායනා කළත් අද සමාජයට ඒවා එළි දක්වන්න ලොකු සටනක් කරන්න වෙලා තියෙනවා. මම ලියලා ගායනා කරන විල්පත්තු වන විනාශය ගැන කියන ගීතය සමාජගත කරන්න මට ලොකු සටනක් කරන්න සිද්ධ වුණා.

* ඔබ කියන්නේ අද හොඳ දේට මාකට් එකක් නෑ කියලද?

තිත්ත ඇත්ත ඔව්. අක්ක පැනල ගියා, නංගි පැනල ගියා, ඩිවෝස් ෆයිල් කළා, ලව් පෙරෙනවා කියන සිංදුවලට තමයි අද මාධ්‍යයෙන් වුණත් ප්‍රචාරය කරන්නේ. ඉස්සර තමයි අම්මා බුදු වේවා කියලා සිංදු හැදුණේ. අද අම්මලා බුදු වෙන්නේ නෑ. ඕකයි අද සමාජ තත්ත්වය. මේ තැනට අපේ ගීත කලාව ඇද වැටීම ගැන මාධ්‍ය වුණත් වග කියන්න ඕනේ.

* ඔබ කලාවට බැන බැන කලාව කරන කෙනෙක්ද?

කලාවට නෙමේ බනින්නේ. කලාව කියලා මේක විනාශ කරන එකටයි බනින්නේ. සල්ලි කියන දේ මත අද කලාව බලු වෙලා. සමාජයේ හොඳ දේට වඩා නරක දේ තමයි අද විශාල වශයෙන් සමාජගත වන්නේ. අද ඕනෑම කෙනෙකුට ඕනෑම මලජරාවක් සල්ලි තියෙනවා නම් හරිම සිම්පල් සමාජගත කරන්න. සල්ලි කුට්ටියක් අතමිට මෙලවපුවහම රේඩියෝ රූපවාහිනී චැනල් පැල් බැඳගෙන ජහජරාව මිනිස්සුන්ට බලෙන්ම ලබා දෙයි.

* අද ඔබ ගායකයෙක් ලෙස ස්වාධීන ගමනක් යන පුද්ගලයෙක්ද?

ඔව්. මම මගේම ගීත, මගේම පදමාලා තමයි ගායනා කරන්නේ. මම අනුන්ගේ දේවල් මගේ කරගන්න උත්සාහ කරන පුද්ගලයෙක් නොවෙයි. තාත්තාගේ දෙයක් වුණත් (ඇල්. ඇම්. පෙරේරා) මගේ දෙයක් කර ගන්න මම කැමැති නැහැ. මේ වෙන කොට මම සිංදු තිහක් විතර කරලා තියෙනවා 89' ඉඳල මේ වෙන කොට සිංදු දෙදහසක් විතර ලියලා තියෙනවා.

* ප්‍රසංග වේදිකාවේ අද ඔබට තියෙන ඉල්ලුම කොහොමද?

ගමේ පැත්තේ මට ආරාධනා නැති වුණාට රටේ සතර දිග් භාගයෙන්ම මට ෂෝවලට ආරාධනා තියෙනවා. අවුරුද්ද පුරාවට මට මේ වන විටත් ෂෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. පිටරට ෂෝවලටත් දැනටමත් ආරාධනා ලැබිලයි තියෙන්නේ. ගමේ වරක ගමට අගේ නැති වුණාට මේ හරිඳු වරුණ පිට කට්ටියට හොඳට අල්ලල ගිහින් තියෙනවා.

* ප්‍රසංග වේදිකවේ ඔබ වෙනසක් ඇති කළ ශිල්පියෙක්?

ප්‍රසංග වේදිකාවේ මම බයිලා කියනවා. හැබැයි යහපත් බයිලා. සමාජයට පණිවිඩයක් දෙන බයිලා. මටම ආවේනික ප්‍රසංග රංග වින්‍යාසයක් මම අනුගමනය කරනවා. මට කටහඬ කීපයකින් ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා. උචිත තැනට උචිත ලෙස හඬ භාවිතයත් මගේ එක අනන්‍යතාවයක්.

* ඔබ ගීත රචනයත් සමඟ අලුත් සංගීත අධ්‍යක්ෂවරයකුත් ක්ෂේත්‍රයට හඳුන්වා දී තිබෙනවා?

ප්‍රිමාල් සිල්වා මම ක්ෂේත්‍රයට හඳුන්වලා දුන් දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඔහු හැකියාවන් බොහොමයකින් සන්නද්ධ පුද්ගලයෙක්. අලුත් ගායිකාවෝ තිදෙනෙක්, ගායකයෝ දෙදෙනෙක් මම මේ වන විට ක්ෂේත්‍රයට හඳුන්වලා දීලා තියෙනවා.

* ගීතයෙන් විතරක් නොවෙයි ඔබ සමාජයට හරිමඟ එළි පෙහෙලි කරන්නේ?

කායවර්ධනය පැත්තෙනුත් මම සමාජ මෙහෙවරක් කරනවා. මම කායවර්ධන ව්‍යාප්ත උපදේශකවරයෙක් ලෙසත් කටයුතු කරනවා. මස් මාංශවලින් අරක්කු සිගරැට්වලින් සම්පූර්ණයෙන්ම ඈත් වුණු යහපත් සිතුවිලි දහරාවක් තුළ යහපත් සමාජයක් කරා ජන විඥානය පුබුදු කරලීමේ දැක්මක් තමයි මගේ හද තුළ අදත් හෙටත් පවතින්නේ.

* කලාව කියන දේ ඔබ අද වෘත්තීය කරගෙනද?

කලාව වෘත්තීය කරගත්තොත් ජීවත්වීම ගැටලු සහගතයි. අපි සැබෑ කලාකරුවන් නිසාවෙන් හැබැයි ජිල්මාට්වලින් කලාව කරන අයට ඒක ගැටලුවක් නොවෙන්න පුළුවන්. මම ලෝකේ රටවල් එකොළහක ජීවත් වුණා. රූපලාවණ්‍ය ශිල්පියෙක් ලෙස ඒ රටවල රැකියාව කළා. පිටරටවල දේශපාලනඥයන්ගේ, සුල්තාන්වරුන්ගේ, රජවරුන්ගේ රූපලාවණ්‍ය ශිල්පියෙක් ලෙස කටයුතු කළා. ලංකාවේ වුණත් දේශපාලනඥයන් බොහෝ දෙනෙක්ගේ රූපලාවණ්‍ය කටයුතු මගේ අතින් ඉටු කළා. අදටත් වෙනවා. ඒත් මම මගේ කලා වෘත්තියට ඒ අයගේ උදවු වචනයකින්වත් අරන් නෑ. මට ඕනේ මගේ දක්ෂකමින් මගේ දෙපයින් නැගී සිටින්න.

* ඔබ නවකයන්ට අත දෙන්න කැමැතිද?

මම ඕනෑ වෙලාවක කැමැතියි අලුත් පරම්පරාවට අත දෙන්න. අංක 33, බ්‍රිටිස් සැලුන් ඇන්ඩ් පැරිස් කොස්මැටික්, මීගමු පාර, ජාඇල ලිපිනයට ලියුමක් එවුවොත් හෝ 0727300300 අංකයට දුරකථන ඇමතුමක් දුන්නොත් මට පුළුවන් හැටියට කලාකරුවෙක් විදියට උදවු කරන්න මම ඕනෑම වෙලාවක ලෑස්තියි.