වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




දූ අනුරාධා උත්කර්ෂවත් සංගීත සැඳෑව

දූ අනුරාධා උත්කර්ෂවත් සංගීත සැඳෑව

ජගදා නන්දන මහා කාරුණික
සිරසා වන්දන සීල ගුණෝපිත
අනුපමේය වූ එවන් නාමයට
නමස්කාර වේවා//

යන මැයෙන් ගැයුණු ඔහුගේ භාවපූර්ණ වූද, ළයාන්විත වූද, ශබ්ද ස්වරය නෙළුම් පොකුණ රඟහලේ දී දෙසවනට එක් කළ ප්‍රථම ගීතයයි. ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ පබැඳුමක් වන මෙයට කදිම සුසංයෝජනයක් වූ නාද රටාව හා පසුතලය ශ්‍රාවකයන්ගේ දෙසවන් මෝහනයටත්, අමන්දානන්දනයටත් පත් කරන්නට සමත් විය. පසුගිය මාර්තු මස 11 වැනි ශනි දින පස්වරු 7.00 ට ඇරැඹි 'දූ අනුරාධා' ගී ප්‍රසංගයේ ගීත 25 ක් පමණ ගීතවත් විණි.

අනුරාධාගේ ස්වතන්ත්‍ර නිර්මාණයන් හා මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, ප්‍රවීණ ගායනවේදිනී මල්කාන්ති නන්දසිරිගේ ගීත ද ගැයිණි. පියා විසින් ගායනා කළ ගීත කිහිපයක් දියණිය අනුරාධා විසින් ගායනා කළ අතර පියා විසින් තමන් වෙනුවෙන් වසර 44 කට පෙරාතුව ගැයූ ගීතයකට නව අර්ථ කථනයක් එක් කළාය. මවුපියන් ලෙස ගීත ගායනා කරන්න අයිතිය ලබාදීමත් දුව ක්ෂේත්‍රයට හඳුන්වා දීමත් මෙහි මුඛ්‍ය අරමුණ බැව් නෙළුම් පොකුණ රඟහලේදී වරක් ගීත ගයන අතරතුර සනත් නන්දසිරි මහතා ප්‍රකාශ කළේය. එබැවින් මෙදා වේදිකාවේ ප්‍රමුඛතමයා වූයේ අනුරාධාය. සනත් - මල්කාන්ති විසින් ගැයූ ගීත රැසකට අමතරව අනුරාධාගේ ගීතයන් ද ශ්‍රාවක හදවත් සනහාලන්නට එදින සමත් විය.

සංගීත ලෝලීන්ගෙන් නෙළුම් පොකුණ රඟහල මෙදින සැඳෑවේ පිරී ඉතිරී ගිය අතර ඊට ජනප්‍රිය තරු රැසක් ඇතුළු කලාකරුවෝ රැසක් සහභාගී වූහ. මහාචාර්ය සනත් නන්දසිරි පිළිබඳ ලියැවුණු සැමරුම් ග්‍රන්ථය ද මෙදින සන්ධ්‍යාවේ එළිදැක්වුණු අතර ප්‍රසංගය වෙනුවෙන් ආචාර සමාචාර හා සුභශිංසන දසතින් පැමිණෙද්දී සුමියුරු ගීතාවලිය හෝරා කිහිපයකින් නිමාවට පත් විය. ප්‍රසංගයේ බර කරට ගෙන කටයුතු කළ නීතිඥ සුසන්ති මංගලිකා බොතේජු හා විදුර ඩයස් අබේගුණවර්ධන සහ සහන් කසීර වික්‍රමසිංහ හා පවුලේ ඥාතීන් මෙහිදී මතක් කළ යුතුම වේ. මෙහි දැක්වෙන්නේ එදින අප නෙත ගැටුණු සැඟවුණු සොඳුරු දසුන් කිහිපයකි.