වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




දෑස මානේ මුණගැසුණ හැටි

දෑස මානේ මුණගැසුණ හැටි

 

ශෂිනි ආකාස ගංගාව ඈතට ඇදී යන්න සූදානම්ය. ඒ යශෝ රාවයත්, සියොත් රාවයත් දෙසවන් කන්කලු කළේය. මන බඳන රූ සපුව දුටු දුටුවන් වශී කළේය. නිම්නාද දුන් ස්වර තන්තු නොකියාම අපට යමක් පැවසීය. ඒ රෑ තාරකාවක් සේ ඇවිදින් ආදරයේ උණුසුම විඳින්න කියාලාය. මේ සුන්දර ආදර කතාවේ කතා නායිකාව වුණේ ගුවන්තලයේ සැරිසැරූ රූ රැජනකි. නමින් ශෂිනි සිරිවර්ධනයි.

දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම දක්ෂ ගායිකාවක ලෙස ඇය පසුගිය දින කරළියට පැමිණියේය. ඇයගේ නවතම රංගනය සමඟ ගායනයද මුසු කළ 'දෑස මානේ' ගීත රූප රචනයත් සමඟය. ධනංජය සිවර්ධනගේ දයාබර ප්‍රියම්බිකාව වන්නේ ඇයයි. මේ ගීතයේ පද රචකයා වන්නේ අද කාලයේ ජනප්‍රිය ගායකයෙක් වන උදය ශ්‍රී ය. අති විශාල පිරිවැයක් දරමින් මෙම ගීතය පටිගත කර ඇත. සියලු රූගතකිරීම් දලුගම සරසවි චිත්‍රාගාරයේ සිදු කළත් එහි දර්ශන තලය ප්‍රේක්ෂකයාට ගෙන දෙන්නේ චමත්කාර රූප රටාවකි. ධනංජය සිරිවර්ධනගේ නිෂ්පාදනයක් වන 'දෑස මානේ' ගීතය තාරුණ්‍යයට ගෙන දෙන නවතම ගීතයක් වී හමාරය.

සංසාර සෙවණැල්ලක් සේ ශෂිනිගේ ගීතයට දායක වූ නිෂ්පාදන කණ්ඩායම වුණේ අධ්‍යක්ෂණයෙන් චාමර කාලෝ, කැමරා අධ්‍යක්ෂණය රංග එස්. බණ්ඩාර, අංග රචනය ඉන්දික අල්විස්, කොණ්ඩා සැකසුම් අමිල ලියනගේ, ඇඳුම් නිර්මාණය හිරාන් විජේසේකර, නිල්හාන් කුෂාන් ජයසිංහ, නාමල් බාලචන්ද්‍ර, නර්තන වින්‍යාසය ගයාන් ශ්‍රීමාල්, සංස්කරණය හසිත ජයශංකගෙනි. එදින සන්ධ්‍යා භාගයේ කලාකරුවන් රැසක් පිරිවරා ශෂිනිගේ 'දෑස මානේ' ජනගත වීම සිදු විය. මේ සුන්දර සන්ධ්‍යා යාමයේ ඔවුන් දෙපළගේ ප්‍රයත්නය සරසවිය නෙත ගැටුණේ මෙසේය.