වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




කනාමැදිරි රාත්‍රියට මිනිස්සු ආසයි

කනාමැදිරි රාත්‍රියට මිනිස්සු ආසයි

මානි ප්‍රනාන්දු

ඉකුත් දිනවලදී අප මේ පිටුවට කැඳෙව්වේ පුංචි තිිරයෙන් ඔබට සමීප වන නිවේදක නිවේදිකාවන්. ඔවුන්ගේ හඬ මෙන්ම රුව ද ඔබට ළෙංගතුයි. මෙවර අප ඒ සම්ප්‍රදායෙන් මිදෙන්නට හිතුණා. හඬ ඇසූ පමණින් හඳුනන කෙනෙකුයි ඒ හින්දා අද මෙතැනට ගොඩ වන්නේ. ඇගේ නම සඳහන් කළොත් මානි ප්‍රනාන්දු. ශ්‍රී ගුවන් විදුලිය අසන ඔබට මේ ඇගේ හඬ අමතක වන්නට විදිහක් නැහැ. දශකයකටත් අධික කාලයක් මානි ශ්‍රී ගුවන් විදුලියේ වැඩසටහන් රැසක් මෙහෙය වූවා.

* මානි, ඔබ ශ්‍රී ගුවන් විදුලියට ආවේ කොයි කාලේද?

දෙදහස් පහේ විතර, පුහුණු නිවේදිකාවක ලෙසිනුයි ආවේ. අද වන විට ප්‍රධාන නිවේදිකාවක ලෙසින් සේවය කරනවා.

* ඔබ මෙහෙය වූ වැඩසටහන් පෙළ මතක් කළොත්?

උදෑසන නවයේ සිට එකොළහ දක්වා ප්‍රචාරය වූ පින්ක් ඇවනිව්, රෝස මාවත, මද්දහනට ශ්‍රී, කනාමැදිරි රාත්‍රිය. අද වන විට මා ඉදිරිපත් කරන්නේ කනා මැදිරි රාත්‍රිය පමණයි. එය සෙනසුරාදා හැර අනෙක් දිනවල රාත්‍රී හතේ සිට දහය දක්වා ප්‍රචාරය වෙනවා.

* ආසාව තිබුණේ නිවේදිකාවක් වන්නටද?

නැහැ. හඬ කැවිම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙන්නට හිතාගෙන හිටියේ. එහෙම හිතාගෙන ගුවන් විදුලි වැඩසටහන්වලට නිතර සවන් දුන්නා. කෙසේ වෙතත් කට හඬින්ම කරන්න පුළුවන් වෘත්තියකයි මට නියැළෙන්න සිදු වුණේ.

* කනාමැදිරි රාත්‍රිය ශ්‍රී නාලිකාවේ තිබෙන ජනප්‍රියතම වැඩ සටහනක්?

ඔව්. ඒක ගොඩක් රේටින්ග්ස් තියෙන වැඩසටහනක්. ඒ නිසාම මගේ හඬ තවත් ජනප්‍රිය වෙලා. අනික සත්‍ය සිදුවීම් ඇසුරෙනුයි එහි පිටපත සකස්වන්නේ. කොහාමත් ඒ වගේ කතා අහන්න මිනිස්සු ආසයිනේ.

* නිවේදිකාවක් විදිහට අපහසුවෙන්ම නිවේදන කටයුතු කළ අවස්ථාවක් මතක් කළොත්?

මගේ ඥාති සොහෙයුරෙක් නැති වුණා. මං වැඩසටහන මෙහෙයවමින් සිටින අතරතරදීයි මට පණිවුඩය ලැබුණේ. මට ඒ වෙලාවේ මහත් වූ කම්පනයක් ඇතිවුණා. ඒත් ඒ බව ශ්‍රාවකයන්ට හඟවන්න බැහැනෙ. සියලු දෝමනස්ස සඟවාගෙන මුකුත් නොවුණු ගාණට වැඩසටහන මෙහෙය වූවා.

* මං දැන් ඔබෙන් අහන්නේ උදේ හයයි හවස හයයි පැටලුණ අවස්ථාව ගැනයි?

ඔය සිදුවීම වුණෙත් මං උදැසන ලයිව් එක කරද්දී. මං හවසක නිදාගෙන ඉඳලා ඇහැරුණා. වටපිට බලද්දී හරි අමුතුයි. හරියට උදෑසනක වගෙයි. මං වෙලාව බලපුවාම හය වගේ දැක්කා. මං හිතුවා උදේ කියලා. මං ඒ දවස්වල උසේ හයට ඔෆීස් ඉන්න ඕන. මං දඩි බිඩි ගාලා නැගිට්ටා. මූඛ කට හෝදගෙන ලැහැස්ති වෙලා ගෙදරින් එළියට බහිද්දී අසල්වැසියෙක් ඇහැව්වා අද රෑ වැඩ ද කියලා. ඒ වෙලෙයි දැනගත්තේ මේ උදේ හය නෙවෙයි හවස හය කියලා. ෂේප් එකේ අයේ ගෙදර ආවා. පසුකාලීනව ඕක අපේ චැනල් එකට ආරංචි වෙලා කාලයක් මාව බයිට් කළා.

* ඔබ හිතනවද ඔබේ හඬ ජනප්‍රියයි කියලා?

ශ්‍රී අහන ශ්‍රාවකයන් නම් මාව හොඳට දන්නවා. අපි ඔය චැනල් එක මඟින් සංවිධානය කරන සංගීත ප්‍රසංගවලට එහෙම යනවනෙ. ඒවාට ගියාම මිනිස්සු ඇවිත් අපිත් එක්ක කතා කරනවා. මගේ හඬ ඇහෙද්දී ඇතැම් අය අහනවා මේ අහවලා නේද කියලා. එතකොට ඉතින් පුංචි සතුටක් දැනෙනවා.

* මේ වන විට ඔබ දෘශ්‍ය මාධ්‍යයටත් ඇවිත්. ඒ ගැනත් කියමු?

ස්වර්ණවාහිනියේ නිම්සර කියන වැඩසටහන මෙහෙයවනවා. ඒකට මේ වන විට ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

* ඔබේ ගම් පළාත එහෙම මතක් කළොත්?

මගේ ගම වැලිමඩ. වර්තමාන පදිංචිය මහරගම.

* ඉගෙන ගත් පාසල?

වැලිමඩ ජාතික පාසල සහ බණ්ඩාරවෙල විශාකා විදුහල.

* කටහඬ සුරක්ෂිත කරගන්න මොනවාද කරන්නේ?

වසර ගණනාවක් තිස්සේ මං සීතල දේවල් කන බොනඑක නවත්වලයි තියෙන්නේ. ඊට අමතරව වැල්මී ආහාරයට ගන්නවා.

* එෆ් එම්වල වැඩ කරන නිවේදක නිවේදිකාවන්ව ගිරවුන්ට සමාන කරනවා. ඇයි ඒ?

ඒක වෙන්නේ මෙහෙමයි. එක්තරා නිවේදක නිවේදිකාවන් කණ්ඩායමක් ඉන්නවා තොරතෝංචියක් නැතුව කියවන. ඒ හින්දා ඒ ලේබල් එක නිකම්ම වදිනවා. ඒ අය ඕන දේ එපා දේ මොකක්ද කියලා හඳුනාගන්න බැරුව ඔහේ කියවනවා. ඒකයි එතන තියෙන අවුල. මේ නිසා සමස්ත ගුවන් විදුලි නිවේදක නිවේදිකාවන්ම ඔය මිම්මෙන් මනිනවා. අපටත් ඒක හානියක්.

* ඔබ නාළිකාවේ යම් වාරණයක් තියෙනවාද?

ඔව්. අපට ඔහේ කියන්නං වාලේ කියවන්න බැහැ. හැම වචනයක්ම ගුවන් විදුලියට හරි යන්නෙත් නැහැනෙ. අත්‍යවශ්‍යම කාරණා පමණයි නිවේදිකාවෝ විදිහට අප භාවිත කරන්නේ. මේ වෙලාවේ අප නාළිකාවේ ප්‍රධානි විධායක නිලධාරී මහේන් පෙරේරාවත් මතක් කරනවා. ඔහුගේ අනුදැනුම ඒ සියල්ලන්ට ලැබෙනවා.