වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




මට නපුරු වුණේ ඇයි දයාවියේ

මට නපුරු වුණේ ඇයි දයාවියේ

ධර්මරත්න පෙරේරා

ලිහිණින් රෑණ සමඟ

ඔහු අපේ රැහේ එකෙකි. එනම් පත්තරකාරයෙකි. එහෙත් මේ ඔහුගේ පත්‍ර කලා දිවිය පිළිබඳ කතා කරන්නට කාලය නොවේ. නමුත් දශක කිහිපයකට ඉහත මේ රටේ සුවහසක් යෞවනියන්ගේ හදවතට ආමන්ත්‍රණය කිරීමේ සුවිශේෂී කලාව හඳුනාගත් ඔහු මගේ හදවතේ තැන්පත් වූයේ එවකට 'කුමරි' පුවත්පතේ ප්‍රධාන කතුවරයා ලෙසනි. ඔහු ධර්මරත්න පෙරේරාය. ඉන් පසු කලෙක ඔහුගේ ගීපද වෙනුවෙන් මා සිත සංවේදී වූ අයුරු අදටත් මතකය.

'නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී ගියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මේ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ . . .'

සංගීත් නිපුන් සනත් නන්දසිරි ගායනා කළ ඒ ගීතය එවකට මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ කාගේත් කතාබහට ලක් විය. සරල පද රචනාවකින් කියු ප්‍රේමය පිළිබඳ සංකල්පයන් ඉතා ඉක්මනින් ජනගත විය. ඉදින් දශක ගණනාවක් පුරා ඔහු මෙරට ගීත ක්ෂේත්‍රයට ජනප්‍රිය ගීත රැසක් තිළිණ කළේය. මේ එළැඹෙන්නේ එකී ගීත ඇගයෙන සොඳුරු සුයාමයකි.

මාර්තු 23 වැනි දින සවස 4.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී දිග හැරෙන්නේ ඒ සොඳුරු මොහොතය. ධර්මරත්න පෙරේරා විසින් ලියන ලද ජනප්‍රිය ගීත රැසකට වර්ණනා ලියැවෙන 'ලිහිනින් රෑන' ගේය කාව්‍ය වර්ණනා ග්‍රන්ථය මෙදින එළි දකින්නේය. ග්‍රන්ථය සංස්කරණය කරනුයේ ධර්මරත්න පෙරේරාගේම දයාබර දියණිය වන මේධාවිනි පෙරේරා සහ ලේළිය වන තාරකා අතාවුදහෙට්ටි විසිනි. එදින මූලාසනය හොබ වනුයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරිය.

මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර හා විශාරද එඩ්වඩ් ජයකොඩි දෙසුම් පවත්වති. ධර්මරත්න විසින් රචනා කරන ලද ජනප්‍රිය ගීත රැසක් ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් විසින් එදින ගායනා කරනු ලබයි. සංගීත් නිපුන් සනත් නන්දසිරි, විශාරද එඩ්වඩ් ජයකොඩි, මල්කාන්ති නන්දසිරි, විශාරද චරිතා ප්‍රියදර්ශනී, විශාරද සමිතා මුදුන්කොටුව, නාමල් උඩුගම, ප්‍රියා සූරියසේන, ටී. එම්. ජයරත්න, කීර්ති පැස්කුවල්, ලක්ෂ්මන් හේවාවිතාරණ ඇතුළු පිරිසක් ඒ වෙනුවෙන් සහභාගි වෙති. සංගීත අධ්‍යක්ෂණය මහින්ද බණ්ඩාරගෙනි. ඉදිරිපත් කිරීම සමන් අතාවුදහෙට්ටි විසිනි. ධර්මරත්න විසින් රචිත ජනපි‍්‍රය ගීත ඇතුළත් 'නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ' නම් සංයුක්ත තැටියද එදින දොරට වඩී.

'ලිහිනින් රෑන' ගේය කාව්‍ය වර්ණනා ග්‍රන්ථයට ගේය කාව්‍ය වර්ණනා සපයන්නෝ බොහොමයකි. ධර්මරත්න පෙරේරාගේ ගීපද රචනා අතර ජනප්‍රියත්වයේ ඉහළම තැනක රැඳෙන 'සුවඳ පිරුණු පුංචි කාමරේ' ගීතයට කපිල කුමාර කාලිංග, විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක, යාපා බන්ඩාර සෙනෙවිරත්න වර්ණනා සපයති. 'ඉස්සර වාගේ නෑ' ගීතයට අමරසේන කංකානම්ගේත්, 'මාල හතක්' ගීතයට පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිත්, 'කැලෑ මලේ කොහේ ගියාදෝ' ගීතයට සුනිල් ගුණවර්ධනත්, 'සමනල අත්තටු' ගීතයට මහාචාර්ය සාලිය කුලරත්නත්, 'සුවහසක් තරු මල්' ගීතයට ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරත්, 'මා නෙත නිදි නෑ' ගීතයට ගාමිණී වේරගමත්, ' මියුරු සරින් ගයනා ' ගීතයට ජයන්ත කළුපහනත්, 'සියපතක් පිපුණා' ගීතයට පුෂ්පා ඉලංගන්තිලකත්, 'නිල් පාට හැන්දෑව' ගීතයට වසන්ත රෝහණත්, 'නිදි නැති රෑ' ගීතයට චන්දි කොඩිකාරත්, 'වලාකුලක් නෑ' ගීතයට කුලරත්න ආරියවංශත්, 'පෙම් බස් දොඩමින්' ගීතයට ජයන්තා රුක්මණී සිරිවර්ධනත් 'ගිමනට පවනක්' ගීතයට මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුත්, 'ප්‍රේමය සතියත්' ගීතයට කොත්මලේ සිරිසේනත්, 'තුන් සිංහලයම' ගීතයට කථිකාචාර්ය නන්දන මිල්ලගල හා අනිල් මංජුලත්, 'නගරයේ වලව්වක' ගීතයට උපාලි බණ්ඩාර වීරසේකරත්, 'ළඳේ නුඹ ළඟයි' ගීතයට බුද්ධදාස ගලප්පත්තිත්, 'මීවිත නැතුවට' ගීතයට මලිත් තුසිත ගුණරත්නත්, 'සුරතල් වියේ' ගීතයට අනුල ද සිල්වාත් ගේය කාව්‍ය වර්ණනා සපයති.

වර්තමානය වන විට මෙරට ගී පද රචනා කලාව ගමන් කොට ඇත්තේ වෙනත් දිශාවකටය. අප 70 - 80 දශකයේ මෙන්ම 90 දශකයේ ද අත් විඳි සාහිත්‍ය රසයෙන් අනූන ගේය කාව්‍යය අංශු මාත්‍රයක් හෝ වර්තමාන ගී පදවල දක්නට නොලැබේ. ධර්මරත්න පෙරේරා වැන්නෝ මෙරට ගීපද රචනා කලාවට එක්වන්නේ කවිය ඔස්සේය. ඔහු පළමුව සිය කවි සිතුවිලිවලින් මෙරට පාඨක හද බැඳ ගත්තේය. නව තාක්ෂණයෙන් බහුවිධ මාධ්‍යයන්ගෙන් විනිර්මුක්ත සමාජයක ඔහු සිය ජීවිත අත්වින්දේ සරල අල්පේච්ඡ දිවිය තුළ වන වටිනාකම්ද සමඟය. පරිසරයට ආදරය කරමින් එහි ස්වභා සෞන්දර්ය අත් විඳිමින් පෝෂණය කරගන්නා ලද ජීවිතයක් ඔවුන්ට විය.

ධර්මරත්න පෙරේරා ද කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ ඉපිද හැදී වැඩී පරිසරයේ සුන්දරත්වය, මානුෂීය වටිනාකම් හොඳින් භුක්ති විඳ පොත පත ඇසුරේ සිය දැනුම් සම්භාරය වඩවා ගත්තෙකි. ජීවිතයේ තමන් විඳි බොහෝ සංවේදනා, අත්දැකීම් කවියෙකුට කවියක් වන්නට යන්නේ කෙටි කාලයකි. ධර්මරත්න ද තම කවි සිතුවිලි නිතර පුවත්පත්වලට යොමු කළෙකි. ඔහුගේ කවි ඇස ගැටුණු ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර එහි ගීතවත් බවක් ඇතැයි කියා ඔහුව ගී ලියන්නට පෙලඹෙව්වේය. ධර්මරත්නගේ පළමු ගීතය වූයේ විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කළ 'සුවහසක් තරු මල්' ගීතයයි. ඉන්පසු ඔහු දිගින් දිගට ගී රචනා කලාවේ නිරත විය. 80 දශකයේ එළඹි කැසට් ගීත කලාව නිසා බොහෝ පද රචනයන් හි ගුණාත්මකභාවයට තර්ජනයක් වූයේ යැයි පැවසුව ද ධර්මරත්න පෙරේරාට නම් එය තම ගීකෙත අස්වද්දා ගන්නට අපූරු අස්ථාවක් විය. එවකට කැසට් ගීත ක්ෂේත්‍රයට ආ නවක ගායකයෝ වූ නාමල් උඩුගම වැන්නන්ට ඔහු රචනා කළ ගීත අතිශයින්ම ජනප්‍රිය විය.

බොහෝ විට ඔහුගේ ගීතයන්ට පදනම වූයේ ආදරය, ප්‍රේමය, විරහව ආදියයි. එහෙත් ඒ අතර සමාජ ප්‍රශ්න වස්තු විෂය කොට ගත් අවස්ථා ද නැත්තේ නොවේ. ඒ අතර ඔහු අතින් ලියවුණු පහත ගීතය විශිෂ්ටය.

'කම්හලේ පියස යට කඳුළු මල් පීදුණේ
ඒ කඳුළු මල් තමයි කාසි රුපියල් වුණේ'