වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




සැලීගේ ජීවිතය රැක ගන්න මානුෂික මෙහෙයුමක් ‘හොරා අන්කල්’

සැලීගේ ජීවිතය රැක ගන්න මානුෂික මෙහෙයුමක් ‘හොරා අන්කල්’

හොරෙක් වුණත් හිතක් තිබේ

බින්දු සහ පසිඳු සහෝදරයෝය. තවමත් පාසල් වියෙහි දිවි ගෙවන ඔවුන්ගේ පියා වූ නලින්ද ඉහළ විධායක නිලධාරියකි. ඔහුගේ බිරිය චම්පාය. මේ පවුල ජීවත් වන්නේ නවීන පන්නයේ නිවසකය. මිල මුදල් යහමින් ඇති ඔවුන් ගත කරන්නේ සුඛෝපභෝගී දිවියකි.

මේ කතාව ඇරැඹෙන්නේ නලින්දගේ නිවසට සොරකු ඇතුළුවීමත් සමඟය. ඔහුගේ අඩි ශබ්දය පළමුව ඇසෙන්නේ බින්දු සහ පසිඳුටය. වෙනම කාමරයක නිදා සිටින ඔවුන් බියට පත්ව තැති ගනිද්දී සොරුට හසුවෙති. මේ සොරාගේ නම රංජිත්ය.

වෘත්තීය හොරකු වන ඔහු සොරකම් කරන්නේ අවාසනාවන්ත රෝගී තත්ත්වයකට ගොදුරු වී සිටින තම දියණියගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීිමටය. ඒ ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ තිහක් පමණ වැයවන ශල්‍යකර්මයක් කළ යුතුව ඇත.

මේ වන විට විවිධ මාර්ගවලින් රංජිත්ට යම් මුදලක් එකතු වී තිබේ. එහෙත් තව ලක්ෂ පහ හයක් අඩුය. එය සොයා ගැනීමට කිසි මාර්ගයක් නොමැතිකමින් රංජිත් සොරකමට පෙලඹෙයි. ඔහු නලින්දගේ නිවසට ඇතුළු වන්නේ ඒ නිසාය. තමා අසු වු බව දැනගන්නා රංජිත් මේ මොහොතේ උපක්‍රමයක් කල්පනා කරයි. බින්දුව සහ පසිඳුව මිතුරු කරගතහොත් බේරෙන්නට හැකි බව සිතයි.

ඒ සිතිවිල්ල ඔස්සේ රංජිත් දරු දෙදෙනා අතර මිතුරු සබඳතාවක් ඇති කර ගැනීමට උත්සාහ කරයි. දැඩි ලෙස අසනීපව සිටින සඳලි ගැන බින්දු සහ පසිඳුට පවසයි. සඳලි යනු කලින් ඉතා දක්ෂ ධාවන සූරියකි. නමුත් සියලු සිහින බිඳ දමමින් ඇය මේ වන විට රෝද පුටුවකට සීමා වූ ජීවිතයක් ගත කරන්නීය.

සොරාගේ අනුවේදනීය කතාව අසන බින්දු සහ පසිඳු තුළ ඔහු ගැනත් සඳලි ගැනත් ඇතිවන්නේ මහත් වූ දුකකි. ඔවුනට උදවු කිරීමට සිතා අනුකම්පා බරිත සිතින් පසිඳුත් බින්දුත් නිවසේ සල්ලි තිබෙන තැන රංජිත්ට පෙන්වීමට එකඟවේ.

එහෙත් කතාව වෙනස් මඟකට යන්නේ නලින්ද අවදිවීමත් සමඟය. මේ බව දැනගන්නා සහෝදරයින් දෙදෙනා රංජිත්ව සඟවයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ සඳලිගේ ජිවිතය බේරා ගැනීමටය. ඒ අව්‍යාජ සිතිවිල්ලෙන් මානුෂීය මෙහෙයුමක් අරඹන බින්දු සහ පසිඳු එතැන් පටන් ගැටලු රැසකට මුහුණ දෙයි. මේ හොරා අංකල් සිනමාපටයේ දිගහැරුමයි. හර්ෂණ වික්‍රමසිංහගේ කුලුඳුල් සිනමා නිමැවුම වන මෙය නිහාල් පීරිස්ගේ තිර රචනයකි.

 

හොරා අංකල් සිනමාපටයේ නළු නිළියන්

මහේන්ද්‍ර පෙරේරා, දුලානි අනුරාධා, ජනක කුඹුකගේ, කුමාර තිරිමාදුර, උමයංගනා වික්‍රමසිංහ, අනුරුද්ධිකා පාදුක්කගේ, රයන් වැන්ඩබෝල්, රාජසිංහ ලෝලුවාගොඩ, කුලසිරි මල්ලිකාරච්චි, සමන් ධර්මවංශ, අශිකා මතසිංහ, ජයරත්න ගලගෙදර, උපුල් ගුණවර්ධන, සම්පත් හේවාපැලැන්දගේ, සෙනුල්යා දන්තනාරායන, දෙවුමි සතිශ්කා, නෙත්ප්‍රිය මනුභාෂිත

නිෂ්පාදනය - සමන් ධර්මවංශ

සම නිෂ්පාදනය - නිශාන් සේනාරත්න

කැමරා අධ්‍යක්ෂණය - සුරේෂ් ධම්මික

කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත

ඇඳුම් නිර්මාණය - ප්‍රියාන් අනුර ශ්‍රී

සහාය අධ්‍යක්ෂණය - තරිඳු ඉලංගකෝන්, අමිල සඳුන්

නර්තන අධ්‍යක්ෂණය - නිලාන් මලිගැස්ප

නර්තන සහය - හේෂිකා අබේවර්ධන

නිෂ්පාදන කළමනාකරණය - හේෂිකා අබේවර්ධන

සංගීතය - නවරත්න ගමගේ

සංස්කරණය - ශාන් අල්විස්

ගීත ගායනා - ලක්ෂ්මන් විජේසේකර, පාරමි ආලෝකා

ගීත රචනය - බන්දුල නානායක්කාරවසම්, හර්ෂණ වික්‍රමසිංහ

නිශ්චල ඡායාරූප - සීතන් ගුණවර්ධන