වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ජෙනීට ලැබෙන ප්‍රතිචාර ගැන කියල වැඩක් නැහැ

ජෙනීට ලැබෙන ප්‍රතිචාර ගැන කියල වැඩක් නැහැ

- තේජා නදීශානි

තේජා නදීශානිගේ රුව අපට මේ දිනවලදී නෙතු ගැටෙන්නේ ඔන්න ඔහෙ මෙන්න මෙහෙ ටෙලි සිතුවමෙන්. එහි ජෙනී ලෙස ඇය අපූරු රංගනයක යෙදෙනවා. මේ හින්දම කලකට පසු තේජව මෙලෙස කතාබහකට එකතු කර ගත්තා. ඇය ගැන තවත් අලුත් ආරංචියකුත් තියෙනවලු. ඒ ගැනත් තේජා පවසන්නට අමතක කළේ නැහැ.

* තේජා ඔන්න ඔහෙද ඉන්නෙ මෙන්න මෙහෙද ඉන්නෙ?

ඔය වචන හතරම එකතු කරපුවාම ඔන්න ඔහෙ මෙන්න මෙහෙ. එතැන තමයි මේ දිනවල මං ඉන්නේ.

* කොහොමද ජෙනීට ලැබෙන ප්‍රතිචාර?

ඉතාමත් ඉහළයි. හිතුවෙවත් නැති ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම පුංචි ළමයින්ගෙන්.

* යස් බොස් නාට්‍යයේ සේමිණි ඉද්දමල්ගොඩ කළ චරිතයේ හි යම් සමානකමක් තියෙනවා නේද ජෙනීට?

එහෙමම කියන්නත් බැහැ. ඊට වැඩිය හාත්පසින්ම වෙනස් කියන්නත් බැහැ. අතර මැදක මං ඉන්නේ. මේ චරිතය මට ලැබුණු වෙනස්ම චරිතයක් කියලා කියන්නට පුළුවන්.

* හේමන්ත ඊරියගම එක්ක රඟපාන්නට ලැබීම ගැන මොකද කියන්න තියෙන්නේ?

හරිම විනෝදයි. කාලෙකට පසුව විනෝදයෙන් රඟපෑවා කියලා කියන්න පුළුවන්.

* තේජා අලුත් වැඩකට අත ගැහැව්වා නේද?

ඔව්. මං මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තා.

* ඒ මොකක්ද?

සැලෝන් එකක්.

* රඟපාලා ලැබෙන මුදල් ජීවත් වෙන්නට ප්‍රමාණවත් නැති නිසාද ව්‍යාපාර පැත්තට යොමු වුණේ?

කොහොමත් මං ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු වෙලා හිටපු කෙනෙක්. ඒ හින්දා මේක මට අමුතු දෙයක් නෙවෙයි. රඟපාන වැඩ කටයුතු හැමදාම නැහැනෙ.

* ඒත් ඔබ රංගනයෙන්නේ ජනප්‍රිය වුණේ?

ඔව්. ඒක හරි. නමුත් මං රංගනය අත හරින්නේ නැහැ. රංගනයෙන් ලැබුණු ජනප්‍රියත්වය ව්‍යාපාරයට මං ආභරණයක් කර ගන්නවා. ඒකයි කියන්න තියෙන්නේ.

* බොහෝ දෙනෙකු හිතයි තේජා ව්‍යාපාරවලට යොමු වුණාම වැඩිය රංගනයේ යෙදෙන එකක් නැහැ කියලා?

අපේ අය කරන දෙයක් ගැන තමයි ඔබ කිව්වේ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මෙහෙම ව්‍යාපාර පටන් ගත්තට පස්සේ රංගනය අතහරිනවා කියලා. එහෙම හිතලා වැඩවලට කතා කරන්නේ නැහැ. මටත් එහෙම වුණා. නමුත් මට කියන්න තියෙන්නේ සුපුරුදු පරිදි රංගන වැඩ කයුතු කරගෙන යනවා කියන එක.

* තේජා දැන් රඟපාන්න ඇවිත් කොපමණ කල්ද?

අවුරුදු තුනක් පමණ.

* මෙතුවක් කල් රඟපෑ නිර්මාණ පෙළ ගැන කතා කළොත්?

මිණිමහිම තමයි මගේ පළමු නාට්‍යය. ඊට පසු ඇසිඩ්, උතුම් පැතුම්, මීදුමෙන් එහා, හංස පිහාටු, කලු කුරුල්ලා, නූරියා.

* කලු කුරුල්ලා නාට්‍යයෙන් නේද ඔබ වඩාත්ම ජනප්‍රිය වුණේ?

ඔව්. ඒකෙ චරිතයේ නම බබී. ගොඩ දෙනෙක් බබී කිව්වම ඒ දවස්වල හඳුනනවා. මේ වෙලාව් එහි අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ නිෂ්පාදක චාමර සමරවික්‍රම යන මහත්වරුන්ව මතක් කළ යුතුමයි.

* ඔබ සිවගුරුනාදන්ගේ නාට්‍ය බොහොමයක රඟපෑවා. නමුත් ළඟදී විකාශය වූ ඔහුගේ නාට්‍යවල ඔබව දුටුවේ නැහැ?

මට අවස්ථා කිහිපයක්ම ලැබුණා ඔහුගේ නාට්‍ය සඳහා. නමුත් මගේ අවාසනාවට ඒවා සියල්ලම මිස් වුණා. ආසයි සිවා අයියගේ නාට්‍යයක රඟපාන්න.

* මෙතුවක් කල් රඟපාලා ලැබුණු ජනප්‍රියත්වය ගැන මොකද කියන්න තියෙන්නේ?

අපෝ හොඳටම ඇති.

* ඔබේ සැලුන් එක තිබෙන තැන ගැන දැනගන්න ප්‍රිය ඇති ඔබේ රසික රසිකාවන්?

දෙහිවල ගුවන් පාලම ගාව සිට ගල්කිස්ස පැත්තට මීටර් දෙසීයක් විතර ගියාම අංක 205 දරන ස්ථානයේ සලොන් එක තියෙනවා.