වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




නිදහසේ පියා පූර්ව ප්‍රචාරක පටය එළි දකී

නිදහසේ පියා පූර්ව ප්‍රචාරක පටය එළි දකී

හැත්තෑ වැනි නිදහස් දිනට සමගාමීව නිදහසේ පියා ඩී. එස්. සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ තේමා ගීත එළි දැක්වීමට කටයුතු සූදානම් කොට තිබේ. මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ මෙහි ගීත රචනා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි. විශාරද අමරසිරි පීරිස් සහ සමන්ත පෙරේරා ගී ගැයුමෙන් දායක වූ මෙහි රංගනය ලක්ෂ්මන් මෙන්ඩිස්, තුමිදු දොඩම්තැන්න, පාලිත පෙරේරා, බුද්ධදාස විතානාරච්චි, සාරංග දිසාසේකර, හේමසිරි ලියනගේ ඇතුළු පිරිසගෙනි. සුනෙත් මාලිංග ලොකුහේවා නිදහසේ පියා ඩී. එස්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබේ.


ප්‍රවීණ, සම්මානනීය කැමරා අධ්‍යක්ෂ එම්. ඩී. මහින්දපාල විසින් සිංහලයට පරිවර්තනය කරන ලද හොලිවුඩ් නළු මාලන් බ්‍රැන්ඩෝගේ ස්වයං චරිතාපදානය "අම්මා මට කියා දුන් ගී" පොත දොරට වැඩුම පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්විණි. එහි ප්‍රධාන දෙසුම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ පවත්වන ලදී. මේ එහි විශේෂ අවස්ථා කිහිපයක් සරසවිය කැමරා කාචයේ සටහන් කරගත් අයුරුයි.


‘නෑහුණා වගේ’ ගී එකතුව දොරට වඩී

නව පරපුරේ ගායන ශිල්පී රොෂාන් බුද්ධිකගේ නෑහුණා වගේ සංයුක්ත තැටිය නිකුත් වීමේ උත්සවය පසුගියදා නාමෙල් මාලනී පුංචි තියටර් හි පැවැත්විණි. එහි පද රචනා සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ආනන්ද පද්මසිරි, කැලුම් ශ්‍රීමාල්, නදුන් රත්නායක, රොහාන් රූපසිංහ සහ රචිතා වාකිෂ්ට ගෙනි. සංගීත නිර්මාණයන් සරත් අල්විස්, සුනෙත් කැලුම්, තිළිණ රුහුණගේ සහ නදුන් රත්නායක විසින් නිම කොට ඇත.


විජය ගී තරුව මෙවරත්

මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංගයන්ගේ 30 වැනි ගුණ සමරුව නිමිති කර ගනිමින් එළඹෙන පෙබරවාරි මාසයේදී විජය ගී තරුව පස් වැනි අදියර සහ එම සම්මාන උලෙළ පැවැත්වීමට නියමිතය. විජය ගී ජනගත කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම තරගය සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවනු ලැබේ.

ජනවාරි 25 ට ප්‍රථම සභාපති අනුර ශ්‍රීනාත්, විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා සංසදය, 207/4 බී, 'සරසි' ඉහළ බියංවිල, කඩවත ලිපිනයට අයැදුම්පත යොමු කිරීමෙන් නවක ගායක ගායිකාවන්ට සහභාගී විය හැකිය.


දීපාල් මියගොස් අවුරුද්දයි

ගායක දීපාල් සිල්වා මිය ගොස් මෙම මස 14 වැනිදාට වසරක් සපිරෙයි. ඒ නිමිත්තෙන් පහන් පූජාවක් සහ බෝධි පූජාවක් මෙම මස 12 වැනිදා සවස කිරුළපන බලපොකුණ විහාරස්ථානයේදී සිදු කරනු ලැබේ. මේ අවස්ථාව සංවිධානය කරනුයේ දීපාල් අවසන් වතාවට රඟපෑ සිකියුරිටි සින්නතම්බි නාට්‍යයේ නිෂ්පාදක අසෝක සෙනරත් මුදලිගේ විසිනි.


‘අහසම ඉල්ලා’ වැඩි ඉල්ලුමක්

කසුන් ගන්ධාර ගයන 'අහසම ඉල්ලා' ගීතය මේ දවස්වල මුහුණුපොතේ හා යූ-ටියුබ් හරහා බොහෝ දෙනා අතර ජනප්‍රිය ගීතයකි. ඒ ගීතයට නිර්මාණය කරන ලද රූප රචනය සමඟින් නරඹන්නන් අතර ජනප්‍රිය වී ඇති 'අහසම ඉල්ලා' කසුන්ගේ තෙවැනි ගීතයයි. ඔහුගේ ගීත අතර නවතම ගීතය ලෙස ගැනෙන 'අහසම ඉල්ලා' දින කිහිපයක් ඇතුළත වැඩිම නරඹන්නන් සංඛ්‍යාවක් නරඹන වීඩියෝව බවට පත්ව තිබේ. එහි සංගීතය ලියෝන් විජේසිංහයි. පද රචනය නවීන් පෙරේරායි. රූප රචනය කසුන් කාවින්දයි. ඔහු ගයන ලද අනෙක් ගීත වන්නේ 'හිතට මගේ', 'දැනෙනවා ද මාගේ' යන ගීතයි.


ශිරාන් ලියූ ලංකාවේ ජන නාටකය එළිදකී

ශිරාන් පොල්ගම්පළ විසින් විරචිත ලංකාවේ ජන නාටකය යන ග්‍රන්ථය සහ මහෝෂධ පඬිතුමාගේ රසවත් ළමා කතන්දර සංගත තැටිය මෙම මස 12 නිට්ටඹුව අත්තනගල්ල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේදී එළි දැක්වේ. මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල සහ රෝහණ බැද්දගේ මෙහිදී මුලසුන හොබවනු ලබයි.