වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




රෝහණ තාත්තාගේ කළිඳු පුතා

රෝහණ තාත්තාගේ කළිඳු පුතා

වර්තමානයේ ඉතාම දක්ෂ නව පරපුරක් ඉන්නවා. ඔවුන්ට නිසි මඟ පාදා දෙමින් යහපත් ගීතයක් බිහි කරලීමේ මාර්ගීපදේශනය ලබා දුන්නොත් මේක හොඳ පැත්තට හරවාගන්න පුළුවන් වේවි.

'ඇත්තටම සංගීඥයෙක් විදියට ඉස්සරහට යන්න හෝ ජනප්‍රිය වෙන්න හෝ මට ඕනෑකමක් තිබුණා නම් මීට බොහොම කාලෙකට ඉස්සර මට තාත්තාගේ නම සහ ඔහුට තිබෙන සබඳතා පාවිච්චි කරලා කරගන්න තිබුණා. මගේ අරමුණ ඒ වගේ එකක් නොවෙයි. මට වෙනම වෘත්තීය ජීවිතයක් තියෙනවා. කලාවට කරනු ලබන ආදරය වෙනුවෙන්, එහි යහපත උදෙසා පෙනී සිටින්නයි මට ඕනෑ වුණේ.

පිය උරුමයෙන් ලැබෙන දායාදයන් භුක්ති විඳින පුතුන් මෙරට බොහෝය. ඒ අතරින් පියාගෙන් දායාද වන කලා හැකියාව ඇති පුතුන් පරම්පරා ගණනාවක් තිස්සේ මෙරට කලාකෙත පෝෂණය කරන්නේය. අපේ කතානායක පුතු ද එවැන්නෙකි. එහෙත් ඔහු සිය පියාගේ උරුමයෙන් ලද හැකියාවන්, දක්ෂතාවයන් සිය ජීවනෝපාය කරගත්තෙක් නොවන්නේය. ඒ ජානමය දායාදයෙන් මෙරට සුභාවිත ගීතයට යම් මෙහෙවරක් කිරීමේ අරමුණින් හෙතෙම නිර්මාණකරණයට පිවිසුණේය. ඔහු කළිඳු වීරසිංහය.

මෙරට සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටතම තනු නිර්මාපකයකු, සංගීතඥයෙකු ලෙසින් කාගේත් සම්භාවනාවට පත් වී සිටින ආචාර්ය රෝහණ වීරසිංහගේ පුතු කළිඳු වීරසිංහය. එසේ නම් කළිඳුට සංගීතය යන්න අරුමයක් විය නොහැකිය. උපතේ සිටම සිය ජීවිතයේ සමීපතම වචනය විය යුත්තේ සංගීතයයි. කළිඳු ළදරුවෙකුගේ සිට උස් මහත් වී වැඩෙන්නට ඇත්තේ මේ සොඳුරු සත්සර ඇසුරේ සිටය. වත්මනෙහි ඔහු සැරසෙනුයේ කාලයක් පුරා තමන් අතින් ජනප්‍රිය ප්‍රවීණ ගායක ගායිකාවන් හා නවක ගායක ගායිකාවන්ට නිර්මාණය කරන ලද ගීත එකතුවක් ලෙස ජනගත කිරීමටය.

'කාලයක් තිස්සේ මා විසින් නිර්මාණය කරන ලද ගී තනු ටිකක් එක්තැන් කරලා 'තාරකා මල්' නමින් සංයුක්ත තැටියක් එළි දක්වනවා. එළඹෙන 13 වැනිදා සවස 5.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී තමයි එම උත්සවය පැවැත්වෙන්නේ. මේ සංයුක්ත තැටිය සඳහා ආචාර්ය නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, දීපිකා ප්‍රියදර්ශනී, උරේෂා රවිහාරි, සනත් නන්දසිරි, සමිතා මුදුන්කොටුව, චන්දන ලියනාරච්චි වැනි ප්‍රවීණයන්ගේ ගීතත් දුමාල් වර්ණකුලසූරිය, රවීන් කවිෂ්ක, නදීක ජයවර්ධන, මීනා ප්‍රසාදිනි වැනි නවකයින්ගේ ගීතත් ඇතුළත් වෙනවා. එදින පැවැත්වෙන ප්‍රසංගයේදී ගීත 14 ක් පමණ සජීවීව ගායනා කරනවා. සංගීතය සපයන්නේ 'නාද' සංගීත කණ්ඩායම.'

කුඩා කල පටන්ම කළිඳුුගේ වටපිටාව සැකසී ඇත්තේ සංගීත ඇසුරකිනි. ඔහුගේ නිවෙසට නිතර දෙවේලේ ආව ගියෝ ජනප්‍රිය ගායක ගායිකාවෝය. එසේත් නැතිනම් සංගීතඥයෝය. යාළු මිත්‍රයින් වශයෙන් නිතර දෙවේලේ ආශ්‍රය කරන්නට ලැබෙන්නේ ද මේ පිරිස්මය. මේ පරිසරය ඉබේම ඔහු සංගීතය දෙසට තල්ලු කරන්නට හේතු වූයේය.

'මම විෂයයක් විදියට සංගීතය අ. පො. ස. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. මගේ සංගීත ගුරුවරුන් වුණේ ලෙස්ලි විජේවර්ධන සහ ධම්මිකා කරුණාරත්නයි. ඊට පස්සේ මම හර්ෂ මාකලන්දගෙන් බටහිර සංගීතය ඉගෙන ගත්තා. නමුත් ගී තනු නිර්මාණය වැන්නකට මට ප්‍රායෝගික ඉගෙනීමක් ලැබුණේ මට නිතර නිවසේදී අහන්න දකින්න තිබුණු දේවල්වලින්.

මම වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ ව්‍යාපාර කළමණාකරණය පැත්තෙන්. මුලින්ම ඕස්ට්‍රේලියාවට ගියෙත් වැඩිදුර අධ්‍යාපනයට. දැන් මම ඔස්ට්‍රේලියානු රජයේ සේවය කරනවා. එහාට ගියාට පස්සේ එහේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ටත් මම ගීත නිර්මාණය කළා. ඔය අතරෙදි තමයි ප්‍රවීණ ගේය පද රචක රවි සිරිවර්ධනත් වැඩිදුර අධ්‍යාපනයට ඔස්ට්‍රේලියාවට එන්නේ. ඔහු ලියූ ගීතයක් මම එහෙදි සංගීතවත් කළා. ඔහු තමයි මාව උනන්දු කරවන්නේ නිර්මාණ පැත්තෙන් ඉදිරියට යන්න.'

කළිඳු ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලාංකික ගායක ගායිකාවන්ටත් ගී තනු නිර්මාණයෙන් දායක විය. වසරකට වරක් ලංකාවට පැමිණි පසු නිර්මාණය වූ ගීත ද ඒ අතර විය.

'මගෙන් වෙන් වී යන්න පළමුව' සුනිල් එදිරිසිංහයන්ගේ හඬින් ගැයෙන රවි සිරිවර්ධන රචනා කළ ගීතය මෙන්ම කරුණාරත්න දිවුල්ගනේ ගයන 'මේ සිහින හරි පුදුමයි' වැනි ගීත යූ ටියුබ් හරහා මේ වන විටත් රසික ආකර්ෂණය දිනාගත් ගීත වේ.

කළිඳුගේ පියා ආචාර්ය රෝහණ වීරසිංහයන් මෙරට සුභාවිත ගීතය වෙනුවෙන් පෙනී සිටිමින් ඒ වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටු කළ සහ ඉටු කරමින් සිටින අයෙකි. ඒ අඩි පාරේ යන කළිඳුගේ සිහිනය ද වනුයේ මෙරට ගීත කලාවට යහපත් අනාගතයක් නිර්මාණය කරලීමය. මේ අරමුණ මත කිසිදු ලාභ අපේක්ෂාවක් හෝ ජනප්‍රියත්වයක් හෝ ඉහළට නැඟීමක් හෝ ආර්ථික වාසියක් ලබාගැනිමේ අභිප්‍රායක් නොවන්නේය.

'ඇත්තටම සංගීඥයෙක් විදියට ඉස්සරහට යන්න හෝ ජනප්‍රිය වෙන්න හෝ මට ඕනෑකමක් තිබුණා නම් මීට බොහොම කාලෙකට ඉස්සර මට තාත්තාගේ නම සහ ඔහුට තිබෙන සබඳතා පාවිච්චි කරලා කරගන්න තිබුණා. මගේ අරමුණ ඒ වගේ එකක් නොවෙයි. මට වෙනම වෘත්තීය ජීවිතයක් තියෙනවා. කලාවට කරනු ලබන ආදරය වෙනුවෙන්, එහි යහපත උදෙසා පෙනී සිටින්නයි මට ඕනෑ වුණේ.

වර්තමානයේ අපේ සංගීත ක්ෂේත්‍රය පිළිබඳ ඕනෑම කෙනකුගෙන් ඇසුවහොත් කියන්නේ කනගාටුදායක තත්ත්වයේ තියෙන්නේ කියලා. ගීතයක් ඇහුවොත් ඒක අඬන ගීතයක් කියයි. නැත්නම් එකම විදියේ ගීත ටිකක් නිර්මාණය වෙයි. ඇත්තටම එහෙම වෙන්නත් හේතු ඇති. එක්කෝ ජනප්‍රියත්වය නැත්නම් ආර්ථික වාසිය බලාගෙන කරන නිර්මාණත් ඇති. ඒ කොහොම වුණත් ඒ ගැන නොසිතා අපි හොඳ නිර්මාණ කරලා බැලුවොත් මේ තත්ත්වය වෙනස් කරන්නත් පුළුවන් වෙයි.

වර්තමානයේ ඉතාම දක්ෂ නව පරපුරක් ඉන්නවා. ඔවුන්ට නිසි මඟ පාදා දෙමින් යහපත් ගීතයක් බිහි කරලීමේ මාර්ගීපදේශනය ලබා දුන්නොත් මේක හොඳ පැත්තට හරවාගන්න පුළුවන් වේවි.

මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ එක් යුගයක සුභාවිත ගීතය පෙරට ගෙනා පෙර ගමන්කරුවන් අතර කළිඳුගේ පියාණන් ද අපගේ නිරන්තර ගෞරව බහුමානයට පාත්‍ර වන්නේය. එසේම රටේ ඉදිරි අනාගතයට එවන් නිර්මාණ බිහිකරලමින් යහපත් රස වින්දනයකින් යුත් ප්‍රේක්ෂක පිරිසක් බිහි කරලීමේ භාරදූර කාර්ය භාරයේ නියමුවන් ලෙස අද කළිඳුලාට ද සුවිශේෂී වගකීමක් ඇත්තේය. එවන් සුපසන් ගමනකට ආරම්භයක් ලෙසින් මෙලෙස එළි දකින ඔහුගේ නිර්මාණවලියට අපේ සුබපැතුම් එක්කර සිටින්නෙමු.