වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ITN Saturday Night Movie

Thanedaar

ස්වාධීන රූපාවාහිනි සේවයේ සති අග සිනමා දිග හැරුමේ ලබන 13 වැනි සෙනසුරාදා රාත්‍රි 10.30ට විකාශය කිරීමට නියමිතව තිබෙන්නේ රාජ් එන්. සිප්පි විසින් අධ්‍යක්ෂණය කළ Thanedaar චිත්‍රපටය යි. එය ආර්. ත්‍යාගරාජන් විසින් අධ්‍යක්ෂණය කර 1982 වසරේ තිරගත කෙරුණු රජිනිකාන්ත් ප්‍රධාන චරිත නිරූපණය කළ Anbukku Naan Adimai චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.

පොලිස් පරීක්ෂක ජගදීෂ් චන්ද්‍රා තමන් පසුපස ලුහුබඳීනා බව දරුණු අපරාධකරුවකු වන ථාකූර් සිං දැන ගනියි. මේ හේතුවෙන් ථාකූර් විසින් චන්ද්‍රා ඝාතනය කිරීමට සැලසුම් කරන අතර ඝාතකයා විසින් චන්ද්‍රාගේ පුතුන් දෙදෙනාගෙන් අයෙකු පැහැර ගෙන යයි. ඔහු බ්‍රිජේෂ් නමින් අපරාධකරුවන් අතරේ හැදී වැඩෙන අතර අනෙක් සහෝදරයා, අවිනාෂ් පියාගේ අඩි පාරේ යමින් පොලිස් නිලධාරියකු බවට පත් වේ. වසර ගණනාවකට පසු අවිනාෂ් සහ බ්‍රිජේෂ් තම පියා ආරම්භ කළ දේ අවසන් කිරීමට සැරසේ. Thanedaar කතාව මෙලෙසින් දිග හැරෙන්නේ, ජිතේන්ද්‍ර අවිනාශ් ලෙස සහ සංජේ දත් බ්‍රිජේෂ් ලෙසින් පණ පොවමිනි. ඔවුන් සමඟින් මධුරි ඩික්සිත්, ජයා ප්‍රදා, කිරන් කුමාර්, ගෝගා කපූර් ඇතුළු පිරිසක් ද මෙහි රංගනයෙන් දායක වී සිටිති.

ඉහල ජනප්‍රියත්වයක් ලද "Tamma Tamma Loge" ගීතය ඇතුළුව "Aur Bhala Mein Kiya Mangu Rab Se", "Jeena Hai To Hans Ke Jiyo" වැනි තවත් ජනප්‍රිය ගීත Thanedaar හි ඇතුලත් ගීත වේ. ලතා මංගේෂ්කාර්, ආශා බෝන්ස්ලේ, අල්කා යාග්නික්, අමිත් කුමාර්, අනුරාධා පවුද්වාල් ඇතුළු පිරිසක් මෙහි ගීත ගායනයෙන් දායක වී ඇති අතර සංගීත අධ්‍යක්ෂණය කෙරුණේ බප්පි ලහිරි විසිනි. විචාරක ප්‍රසාදය ලද මෙම චිත්‍රපටයට 1990 වසරේ තිරගත හින්දි චිත්‍රපටවල ඉහළම ආදායම් වාර්තා ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය හිමි විය.