වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

“හීන හතක් මැද විමනක් සැදුණයි

ගීත සඳුන් සුව ඒ තුළ මැවුණයි”

(ගැටවරයෝ)

“මේ සිංහල අපගෙ රටයි

අපි ඉපදෙන මැරෙන රටයි”

(සාරවිට)

මේ චිත්‍රපට ගීත දෙක ඔබට මතක නම් ශෝභනී අමරසිංහ ඔබට අමතක විය නොහැකිය. ‘ගැටවරයෝ’ චිත්‍රපටයේ කරුණා, නගරයට ගිය පෙම්වතා වූ ජයසේන (ගාමිණී ෆොන්සේකා) සොයා ඔහුගේ නවාතැනට යයි. එහිදි ඇයට දකින්නට ලැබෙන්නේ ඔහු නගරයේ ධනවත් බෝට්ටු හිමියකුගේ දියණියක් හා හාද වී ඇති බවය. ඔහුගේ කාමරයේ ඇති ඇගේ ඡායාරූපයක් කරුණා දකී. ඇය තම සොහොයුරිය සමඟ දුම්රියෙන් ගමට එන විට ඇයට ජයසේන සමඟ ගත කළ ප්‍රේමණීය අවස්ථාවන් ආවර්ජනය වෙයි. ඒ අවස්ථාවේ ලතා වල්පොල ගයන ‘හීන හතක් මැද’ ගීතය පසුබිමෙන් වාදනය වෙයි. කරුණාගේ දුක්බර මුහුණ මුළු ගීතය පුරාම විටින් විට ඡේ්දනය වෙයි.

“අකාලයේ වැසි දිය ඇද හැලිලා

සෝක සුසුම් ගඟ ඉවුරු තලාලා

වාසනාවෙ මල් අකලට මැරුණයි

ප්‍රේම ලෝක රන් මන්දිර කැඩුණයි”

කරුණාගේ චරිතය ගැටවරයෝ චිත්‍රපටයේ රඟපෑවේ ශෝභනී අමරසිංහය. සිය ප්‍රථම රංගනයටම 1965 හොඳම නිළිය ලෙස සරසවිය සම්මානය දිනා ගත්තේ ද, 1965 ලංකා කර්මාන්ත චිත්‍රපට උලෙළේ දී හොඳම නිළිය ලෙස ද සම්මාන ලැබීමට භාග්‍යවන්තියක් වූවාය. එහෙත් ඇයගේ චිත්‍රපට රංගනය චිත්‍රපට පහකට සීමා වෙයි. ඒවා නම් ගැටවරයෝ (1964), සාරවිට (1965), හන්තානේ කතාව (1969), ලක්සෙට කොඩිය (1970).

දෝන පද්මා ලාලිනී අමරසිංහ 1944 ජනවාරි 01 වෙනිදා ගල්කිස්සේ උපත ලබන්නීය. ඇගේ පියා වූ අමරසිංහ මුදලිගේ දොන් චාල්ස් තැපැල් ස්ථානාධිපතිවරයෙකි. ඇගේ මව යටියන්තොට උපත ලැබුවාය. නව දෙනෙකුගෙන් යුත් පවුලේ ලාලනී හතරවැනියාය. ඇය අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේය.

“පුංචි කාලයේ සිටම මම නැටුම්වලට ආසා කළා. මගේ බලාපොරොත්තුව තිබුණේ නැටුම් ගුරුවරියක් වීමට. එහෙත් මම පාසලේදී වඩාත් ප්‍රිය කළේ උදෑසනම පාසලට මල් අරගෙන ඇවිත් ඒවා කිසියම් රටාවකට සකස් කොට සිසුවියන් සමඟ බුද්ධ වන්දනාව කිරීමයි. බෞද්ධ වත් පිළිවෙත්වල යෙදීමෙන් මම කුඩා කල සිටම සැනසුමක් ලැබුවා. අද මමත්, සැමියාත් සම්පූර්ණයෙන්ම ආගමික ජීවිතයක් ගත කරන්නේ” ඇය කීවාය.

පාසලේ විවිධ ප්‍රසංගවල නර්තන ඉදිරිපත් කළ ලාලනී වැඩිදුර නැටුම් ඉගෙන ගැනීමට නර්තන ගරුවරයකු සෙව්වාය. මේ අතර ශේෂා පලිහක්කාර ගැන ඇයට අසන්නට ලැබෙන්නේය. ඇය තම පියාට වධ කොට කෝට්ටේ පාරේ මාදින්නාවල ශේෂාගේ නැටුම් පන්තියට ගියාය.

“පලිහක්කාර සර්ට හරියට කේන්ති යනවා. එහෙත් ඔහු දක්ෂ ගුරුවරයෙක්. අපි හරියට ඉගෙන ගත්තෙ නැතිනම් බනිනවා. වැරැද්දුවොත් “යනවා ගිහින් තව පුහුණු වෙනවා” කියලා ගෝලයන් එලවනවා. මේ කාලේ සර්ලා සම්බන්ධ වෙලා “රන්මුතු දූව“ කියලා චිත්‍රපටයක් කරනවා කියලා ආරංචි වුණා.

“ළමයි අපි කරපු “රන්මුතු දූව“ කියන චිත්‍රපටය ලබන 10 වෙනිදා වැල්ලවත්තේ සැෆයර් සිනමාහලට එන්න රෙද්දයි හැට්ටයකුයි ඇඳගෙන” දවසක් පලිහක්කාර සර් මටයි තව නැටුම් ඉගෙන ගන්න ආපු ගැහැනු ළමයින් කිහිප දෙනෙකුට කිව්වා.

මේ 1962 අවුරුද්දේ අගෝස්තු මාසේ මුල. අපි එදා සර් කිව්ව විදිහට රෙද්ද හැට්ටයෙන් සැරසී සිනමා ශාලාවට ගියා. අපිට තිබුණේ ‘රන්මුතු දුවේ’ සමරු කලාපය නළු නිළියන්ට හා ආරාධිත අමුත්තන්ට බෙදන්න. මම ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ශේන් ගුණරත්න, ජීවරාණි කුරුකුලසූරිය, ඇන්තනි සී. පෙරේරා ආදීන්ට සමරු පොත් බෙදුවා. මට මතකයි ජෝයි, ඇන්තනි සී යි මට විහිළු කළා. ඒත් මට නළු නිළියන් ගැන එතරම් උනන්දුවක් තිබුණේ නැහැ. “රන්මුතු දුව“ චිත්‍රපටය ඒ කාලෙ නොබැලූ කෙනෙක් සොයා ගන්න බැරි තරමටම ජනප්‍රියයි. ඔය විදිහට මාස තුනකට විතර පස්සේ ශේෂා පලිහක්කාර සර් ගෝලයෝ හතර පස් දෙනෙක් තෝරලා අලුත් චිත්‍රපටයක් කරනවා. ඒකේ ‘ස්ක්‍රින් ටෙස්ට්’ එකට එන්න කියලා කිව්වා. මම විතරක් ගියේ නැහැ.

‘මොකද ලාලනී ‘ස්ක්‍රින් ටෙස්ට්’ එකට නාවේ’ පසුවදා සර් මගෙන් ඇහැව්වා.

“අපේ සීයාට අසනීපයි. මම සීයා එක්ක බෙහෙත් ගන්න ගියා” මම කිව්වා.

පසුදා සවස සර් අපේ ගල්ස්සේ හුළුදාගොඩ පාරේ විශාඛා මාවතේ ගෙදර ආවා. සර් තාත්තගෙ යාළුවෙක්.

“මම කැමතියි චාල්ස්, ලාලනීව මගේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ගන්න. ඒක හොඳ චිත්‍රපටයක්. මම කතා පිටපතත් අරං ආවා. කියවලා බලන්න. චරිතය හොඳ එකක්”

ශේෂාගේ ඉල්ලීම චාල්ස්ට ඉවත දැමිය නොහැකි විය. දවස් කිහිපයකින් ශේෂා නැටුම් පන්තියට මයික් විල්සන්, තිස්ස ලියනසූරියත්, අමරදේවත් පැමිණියහ. තිස්ස, ලාලනීට දෙබස් කිහිපයක් කීමට උපදෙස් දුන්නේය. ලාලනී දෙබස් කී ආකාරය ගැන හැමෝම සෑහීමකට පත් වුහ. ශේෂා ලාලනීට දුන් මුල්ම උපදෙස වූයේ ඉක්මනට “ගම්පෙරළිය” බලලා පුණ්‍යා මුහුණින් හැඟීම් පළ කරන හැටි ඉගෙන ගන්න කියාය.

“මොකක්ද ඔයාගේ නම” අමරදේව ඇසීය.

“මම පද්මා ලාලනී අමරසිංහ”

“අපි ඒ නම වෙනස් කරමු. ඔයා අපි කරන ‘ගැටවරයෝ’ චිත්‍රපටයෙන් ශෝභනී අමරසිංහ” අමරදේවයන් ලාලනීට අලුත් නමක් දුන්නේය. එය කවුරුත් අනුමත කළෝය.

“මම ‘ගැටවරයෝ චිත්‍රපටයේ රඟපෑ මුල්ම දර්ශනය රූපගත වුණේ කඩවතදී. රෙද්ද හැට්ටේ ඇඳගෙන හිස පීරමින්. මා සමඟ වින්සන්ට් වාස් හා පද්මා ලියනආරච්චි අයියයි, අක්කයි හැටියට රඟපෑවේ. චිත්‍රපටයේ හැටියට මගේ ගමේ පෙම්වතා ජයසේන (ගාමිණී ෆොන්සේකා) කොළඹ ඇවිත්.

“ඇයි ජයා වචනයක් නොදෙන්නේ” අයියා අහනවා.

“අපිත් මේවායින් නිදහස් වෙන්න ඕනෑ” අක්කා කියනවා.

මට තිස්ස ලියනසූරිය උපදෙස් දුන්නා. එයා සම අධ්‍යක්ෂවරයා. ශේෂා සර් මා ළඟම හිටියා.

ඊට පස්සේ මම බය නැතිව රඟපෑවා. ජෝ අයියා මට හැම තිස්සෙම විහිළු කරනවා. ගාමිණී මට උපරිම සහාය දුන්නා. වැලිගම දී ‘හීන හතක්’ ගීතය රූගත කරන්නට ගිය අවස්ථාවේ සෙනඟ අපිව බලන්න පොර කෑවා. පොලීසිය ගෙනල්ලයි වැඩ පටන් ගත්තේ” ශෝභනී කීවාය.

‘ගැටවරයෝ’ තිරගත වුණාට පස්සේ මට රසික රසිකාවන්ගෙන් ලියුම් ගොඩාක් ආවා. ඒ හුඟ දෙනෙක් ‘සරසවිය’ පත්‍රයේ රසික රසිකාවන්. විශ්වාස කරන්න ගෙදර අල්මාරි 3 ක් පිරෙන්න ලියුම්. එක රසිකාවියක් අපේ ගෙදර මෙහෙකාරියක් හැටියට එන්න ලැහැස්ති වුණා. ඒ ළමයට හුඟාක් කරුණු කියලයි ගෙදර එන එක නවත්ත ගත්තේ.”

ශෝභනී ‘ගැටවරයෝ’ චිත්‍රපටයෙන් පසු තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ ‘සාරවිට’ චිත්‍රපටයේ ළමා නිවාසයක පාලිකාවක් හැටියට රඟපෑවාය. එය කුඩා දරුවන් සමඟ ළමා ලෝකයට පිවිස දෙමාපියන්ගෙන් වෙන් වූ අසරණ ළමුන් බලා ගන්නා පාලිකාවකගේ කාරුණික චරිතයක්. ළමයින් සමඟ ‘මේ සිංහල අපගේ රටයි’ ගීතය ගයමින් ඇය එහි රඟපෑවාය. සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ ‘හන්තානේ කතාව‘ චිත්‍රපටයේ ඇය විශ්වවිද්‍යාල සිසුවියකි. මේ චිත්‍රපටයේ ඇය රඟපෑවේ ස්වර්ණා මල්ලවාරච්චි, සුනිලා ජයන්ති, විජය කුමාරතුංග සමඟය.

“හන්තානේ කතාවේ අපි පේරදෙනියේ විශ්වවිද්‍යාලයේ ගත කළ කාලය ප්‍රීතිමත්. එය නිදහස් ලෙස රඟපෑමට අවට පරිසරයත් බලපෑවා. මම අවසාන වරට රඟපෑවේ මගේ ගුරුවරයා වූ ශේෂා පලිහක්කාර අධ්‍යක්ෂණය කළ ‘ලක්සෙට කොඩිය’ චිත්‍රපටයේ. ජෝ අබේවික්‍රම සමග ප්‍රධාන චරිතය රඟපෑවා.

මට රසික ප්‍රතිචාරවලින් අඩුවක් නැහැ. ලියුම් තොග ගණන් ආවා. පුණ්‍යා හීන්දෙනිය විවාහ වූ දා යෙහෙළියන්ට හිටියේ මමත්, නිලන්ති විජේසිංහත්. මේ අතර අම්මා නමට ලිපියක් ලැබුණා. එය එවා තිබුණෙත් මගේ රසිකයෙක්. ලලිත් හීන්ගම නම් ඔහු එවකට අනුරාධපුර ආදායම් පාලක නිලධාරි. පින්තූරයකුත් එවලා මට විවාහ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. අම්මා ලියුමට උත්තරයක් ලියලා යැව්වා. එයා මාව බලන්න ආවා. අපි වසරක් පමණ ආශ්‍රය කළා. එකිනෙකාගේ සිතුම් පැතුම් තේරුම් ගත්තා. එයා මම වගේම ආගමට දහමට කැමැතියි. එයාට මම කැමැතිවීමට ප්‍රධාන හේතුවක් ඒක. 1969 අප්‍රේල් 17 වෙනිදා අපි විවාහ වුණා. ඒ සමඟම මම සිනමා රංගනයෙන් සමු ගත්තා. එතකොට ලලිත් කුරුණෑගල උප දිසාපති.

ලලිත් රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් හා වෙළඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුර කරලා විශ්‍රාම ගියා. එයා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඉඳලා කලාවට ආදරෙයි. ධර්මරාජයේ එයා සමග ඉගෙන ගත් කලාවට ළැදි ශිෂ්‍යයන් වුණේ ධර්මසේන පතිරාජ, අමරසිරි කලංසූරිය, දයා තෙන්නකෝන්, කේ. ඩී. කේ. ධර්මවර්ධන, පී. බී ඉලංගසිංහ. ලලිත් පොත් කියවන්න වගේම පොත් පරිවර්තනය කරන්නත් කැමැතියි. මේ අතර අගතා ක්‍රිස්ටිගේ නවකතා හා රහස් පරීක්ෂක නවකතා වන චණ්ඩාල ස්ත්‍රියක්, බැග්ඩෑඩ් පෙට්ටගමේ අභිරහස, එල්සා - 1, නිදැල්ලේ වැඩුණු සිංහ ධේනුව, එල්සා - 2, නිදැල්ලේ වාසය, එල්සා - 3 සදා නිදැල්ලේ, ජෙරම් සහ ගෝරිල්ලෝ, සිව් මහ බලවත්තුත්, පුංචි ඌරෝ පස් දෙනා, සිංහයා හා දැරිය තෙවන දැරිය, විස්මිත අන්තිම කැමැත්ත, කඩතුරාව වෙයි. ලංකා ඉතිහාසයේ ආදි යුගය, ලංකා ඉතිහාසයේ කතා, ලින්කන් ඝාතනය යන කෘති ද ආචාර්ය නන්දදේව විජේසේකර ලියූ ඩී. බී. ජයතිලක අපදානයේ සිංහල පරිවර්තනය ද මේ අතර වෙති. මෙහි ග්‍රන්ථ නුගේගොඩ සරසවි ප්‍රකාශනයි.’

ලලිත් හා ශෝභනී යුවළට දරුවන් දෙදෙනෙකි. පුතා කෝසල බණ්ඩාර තොරතුරු තාක්ෂණික උපදේශකවරයෙකි. ඔහුගේ බිරිඳ ලක්ෂ්මීය. ඔවුන්ට සනිඳු දම්නෙත් නමින් පුතෙක් සිටී. කෝසල මෙන්ම ඇමරිකාවේ ඉගෙනීම ලැබ හරිත විද්‍යාඥවරියක් වූ ශෝභනීගේ දියණිය අමලා නාමලී විවාහ වී සිටින්නේ ඇමරිකාවේ සිවිල් ඉංජිනේරුවරයකු වූ ශෂික උපේන්ද්‍ර සෙනරත් සමඟය. මේ දෙදෙනාට දුවක් හා පුතෙකු සිටී. ශෝභනී දැන් අත්තම්මා කෙනෙකි.

“මම දැන් බෞද්ධ නාලිකාවල යන ධර්ම දේශනා හා වැඩසටහන් බලනවා. චිත්‍රපට බලන්න යන්නේ නෑ. සිත නිවන දේවල්වලට පමණයි කැමති. හවසට මම බුදුන් වඳිනවා. භාවනානුයෝගීව සිටිනවා. උදේට බුදුන් වඳින ලලිත් පොත් පරවර්තන කටයුතුවල යෙදෙනවා. පුවත්පත්වලට ලිපි ලියනවා. ලලිත් ලියන පොත් මුද්‍රණයට යන්න ඉස්සර වෙලා කියවන්නේ මම. අඩුපාඩු කියන්නෙත් මම.” ශෝභනී කීවාය.

ශෝභණීගේ ලිපිනය මෙසේය. 112/54, ක්වීන්ස් පාක්. ඩී. එම්. කොළඹගේ මාවත, නාවල පාර, නුගේගොඩ .