වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




අන්නා දොරේ සිට රජිනිකාන්ත් දක්වා Bioscope Politics

අන්නා දොරේ සිට රජිනිකාන්ත් දක්වා Bioscope Politics

අන්නාදොරේ ගෙන් අනතුරුව තනතුර දැරූ එම්.කේ. කරුණානිධි ද දකුණු ඉන්දීය සිනමාවේ තිරනාටක රචකයෙකි. ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය නියෝජනය කළ ඔහු තමිල්නාඩුවේ තෙවැනි මහ ඇමතිවරයා ලෙසින් තේරි පත් විය. ඔහු ද පස් වතාවක් තමිල්නාඩු මහ ඇමති ධූරය ජයග්‍රහණය කළ අතර ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය පිහිට වූ අන්නාදොරේගේ මරණයෙන් පසු එම පක්ෂයේ නායක ධුරයට පිවිසි මුතුවේල් කරුණානිධි ආන්දෝලනාත්මක දෙමළ සිනමා තිරරචකයකු ලෙසින් ජනප්‍රියත්වයක් ඉසිලීය.

ලොව වෙනත් කිසිම රටක නොවන පරිද්දෙන් වසර පනහකට ආසන්න කාලයක් පුරා තමිල්නාඩුව පාලනය කෙරුණේ දකුණු ඉන්දීය සිනමාවෙන් ජනතා හදවත් දිනූ තරු විසින් විම සුවිශේෂත්වයකි.

හිටපු අමාත්‍ය කරුණානිධි හා සමානව වැඩි වාර ගණනක් මහ ඇමති ධුරයට පත් වීමේ භාග්‍ය ජයලලිතා ජයරාම්හට ද හිමි වේ.

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුව රජිනිකාන්ත් දේශපාලනයට පිවිසීම නිවේදනය කිරීම සමඟින් දකුණු ඉන්දීය සිනමාව සහ දේශපාලනය පිළිබඳ කතාබහ වැඩි විය. සිනමාවෙන් දේශපාලනයට පිවිසි තරු නම් බොහෝමයක් වුවද ඒ අතරේ ඉන්දීය දේශපාලනය තුළ දකුණු ඉන්දීය දේශපාලන වේදිකාව මත සිටින බොහොමයක් දැවැන්තයන් සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධවීම මෙහි එන සුවිශේෂි කාරණාව වේ. කවුරුත් දන්නා පරිදි තමිල්නාඩු ජනතාව සිනමාව කෙරෙහි දක්වන්නේ පුදුමාකාර ළෙංගතුකමකි. ඔවුන් වෙත දක්වන ආදරය උමතුවක් සේම දෙවියන්ට මෙන් සැළකීමටද ඔවුහු පසුබට නොවන බව කාහටත් රහසක් නොවේ.

1969 වසරේදී මදුරාසි ප්‍රාන්තය තමිල්නාඩුව ලෙසින් නම් ලද පසුව තමිල්නාඩුවට පත් වූ මහ ඇමතිවරුන් අතරින් වර්තමාන මහ ඇමති කේ. පලනි ස්වාමි ඇතුළුව තිදෙනෙකු හැර එදා මෙදාතුර බිහි වූ සෑම මහ ඇමතිවරයෙකුම දේශපාලනයට පිවිසියේ සිනමාව හරහාය. ඒ අනුව තමිල්නාඩුවේ පළමු මහ ඇමති ධුරය හෙබවූ සී. එන්. අන්නාදොරේ දකුණු ඉන්දීය සිනමාවේ තිරරචකයෙකි. 'අන්නා' හෙවත් 'ලොකු අයියා' නම් අන්වර්ත නාමයෙන් හඳුන්වන ලද සී. එන්. අන්නාදොරේ විසින් නිර්මාණය කළ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය 1967 වසරේ මැතිවරණය විශිෂ්ට ලෙස ජය ගත්තේ එවකට බලයේ පැවති ඉන්දීය ජාතික කොංග්‍රස‍් පක්ෂය පරාජයට පත් කරමිනි.

අන්නාදොරේ ගෙන් අනතුරුව තනතුර දැරූ එම්.කේ. කරුණානිධි ද දකුණු ඉන්දීය සිනමාවේ තිරනාටක රචකයෙකි. ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය නියෝජනය කළ ඔහු තමිල්නාඩුවේ තෙවැනි මහ ඇමතිවරයා ලෙසින් තේරි පත් විය. ඔහු පස් වතාවක් තමිල්නාඩු මහ ඇමති ධූරය ජයග්‍රහණය කළ අතර ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය පිහිට වූ අන්නාදොරේගේ මරණයෙන් පසු එම පක්ෂයේ නායක ධුරයට පිවිසි මුතුවේල් කරුණානිධි ආන්දෝලනාත්මක දෙමළ සිනමා තිරරචකයකු ලෙසින් ජනප්‍රියත්වයක් ඉසිලීය. වයස අවුරුදු විස්ස සපිරෙන විට සිනමා ලොවට පිවිසි කරුණානිධි සිය පළමු තිරරචනය වූ Rajakumaari (1947) ඔස්සේ ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත් විය.

තමිල්නාඩුවේ මහ ඇමති ධුරයේ තෙවැන්නා වූ එම්.ජී.රාමචන්ද්‍රන් දකුණු ඉන්දීය සිනමාවේ සුප්‍රකට නළුවෙකි. ශ්‍රී ලංකාවට කේරළ දේශයෙන් සංක්‍රමණය වූ මලයාලම් මවුපිය යුවළකට දාව 1917 වසරේ මහනුවරදී උපත ලද එම්.ජී.ආර්. හෙවත් මරුදුර් ගෝපාලන් රාමචන්ද්‍රන් නමැති සිනමා තරුව මහ ඇමැති තනතුරට ඔසවා තැබුවේ ද තමිල්නාඩු ජනතාවගේ මෙම සිනමා උන්මාදය යි. එම්.ජී.ආර්. දෙවි කෙනකු ලෙස දකිමින් ඔහු පරාජයට පත් නොකර තෙවතාවක්ම මහ ඇමැති ධුරයේ තබා ගැනීමට තරම් මේ රසික උන්මාදය ප්‍රබල විය. පසු කලෙක එම්. ජී. රාමචන්ද්‍රන්, කරුණානිධි සමග ඇති කරගත් යම් මත ගැටුමක් හේතුවෙන් ද්‍රවිඩ මුන්නේත්‍ර ගසාගම් පක්‍ෂයෙන් ඉවත් වූ නව පක්ෂයක් පිහිටුවා ගත් අතර එය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසගම් පක්ෂය නමින් හඳුන්වාදෙන ලදදේ අන්නාදොරේට ගෞරව පිණිස බවද කියවේ.

එම්.ජී.ආර්.ගෙන් පසුව තමිල්නාඩුවේ මහ ඇමති තනතුර දැරූ සිනමා තරු අතරේ සිටින ජානකී රාමචන්ද්‍රන් මෙන්ම ජයලලිතා ජයරාම්ද ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළියන් දෙදෙනෙකි. එම්.ජී.ආර්.ගේ බිරිය වූ ජානකි රාමචන්ද්‍රන් 1988 වසරේ ජනවාරි 07 වැනිදා සිට ජනවාරි 30 වැනිදා දක්වා දින 23ක් තමිල්නාඩු මහ ඇමති ධුරය හෙබ වූයේ එම ධූරයට පත් වූ පස් වැන්නා ලෙසින්. ඇය ද සිනමාපට රැසකට දායකත්වය දුන් සාර්ථක නිළියකි.

සිනමාවෙන් තමිල්නාඩු දේශපාලනයට පිවිස හිටපු අමාත්‍ය කරුණානිධි හා සමානව වැඩි වාර ගණනක් මහ ඇමති ධුරයට පත් වීමේ භාග්‍ය ජයලලිතා ජයරාම්හට ද හිමි වේ. ජයලලිතාගේ සිනමා ගමනය සේම දේශපාලන ගමනේ ආරම්භයද සනිටුහන් කෙරෙන්නේ එම්.ජී.ආර්.ගේ සහායෙනි. 'අම්මා' ලෙසින් තමිල්නාඩු ජනතාවගේ ආදරය දිනූ ඇය දෙමළ, කන්නඩ, තෙළිඟු සහ හින්දි සිනමා නිර්මාණ රැසක සුවිශේෂ සලකුණු තැබූ, සම්මානනීය රංගන ශිල්පිනියක, ගායිකාවක මෙන්ම නර්තන ශිල්පිනියක ද විය. ජයලලිතා ජයරාම් තමිල්නාඩු රාජ්‍ය සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙසින් පස් වතාවක් සම්මාන දිනූ අතර කොලිවුඩයේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේදි ද පස් වතාවක් හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවාය. 1977 වර්ෂයේ සිට එම්.ජී.ආර්.ගේ දේශපාලන කටයුතු වලට සහාය දෙමින් ඇය 1981 දී ඔහුගේ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසගම් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් අතර 1984 වසරේ පැවැති මැතිවරණයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස පත්වීම් ලැබූයේ එම ධුරයට පත් ප්‍රථම දෙමළ කාන්තාව ද වෙමිනි.

ලොව වෙනත් කිසිම රටක නොවන පරිද්දෙන් වසර පනහකට ආසන්න කාලයක් පුරා තමිල්නාඩුව පාලනය කෙරුණේ දකුණු ඉන්දීය සිනමාවෙන් ජනතා හදවත් දිනූ තරු විසින් විම සුවිශේෂත්වයකි. ජයලලිතා ජයරාම්ගේ මරණයෙන් පසුව බලයට පැමිණි පනීර් සෙල්වම් සහ පලනිස්වාමි සිනමාවට සම්බන්ධ නොවුනද මේ වන විට දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්තම සිනමා තරුව රජිනිකාන්ත් දේශපාලනයට පිවිසීම තමිල්නාඩු දේශපාලනය සිනමාවෙන් පාලනය වීමේ ක්‍රමවේදය තව තවත් ඉදිරියට ගෙන යාම පෙන්නුම් කරන්නක් බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

තමිල්නාඩු මහ ඇමති ධුරය පමණක් නොව තමිල්නාඩු දේශපාලනයට පිවිසි තවත් ජනප්‍රිය සිනමා තරු කිහිපයක්ම වේ. ඒ අතර ඉන්දීය සිනමාවේ දෙමළ, තෙළිඟු සහ මලයාලම් චිත්‍රපට සියයකට ආසන්න සංඛ්‍යාවකට දායක වූ කුමරේසන් දුරෙයිස්වාමි හෙවත් නැපෝලියන් දේශපාලනයට පිවියේ, ද්‍රවිඩ මුන්නේත්‍ර කසගම් පක්ෂයෙනි. ඔහු 2009 ලොක් සභා මැතිවරණයෙන් ජය ලබා ප්‍රාන්ත රාජ්‍ය නීතිය සහ බලගැන්වීමේ අමාත්‍ය ධුරය ද හෙබවීය. එම්.ජී.ආර් සමඟ සමකාලීන ජනප්‍රිය නළුවකු වූ සිවාජි ගනේෂන් ද දේශපාලනයට පිවිසියත් එහි සාර්ථක වන්නට ඔහුට අවස්ථාව නොලැබුණි.

එමපණක් නොව රජිනිකාන්න් සේම නව පක්ෂ පිහිටුවා ගනිමින් දේශපාලනයට පිවිසි තවත් දකුණු ඉන්දීය සිනමා තරු කිහිප දෙනෙකුම හමු වේ. ඒ අතරින් Doorathu Idi Muzhakkam, Sattam Oru Iruttarai වැනි චිත්‍රපට ඔස්සේ නමක් දිනා ගත් විජයකාන්ත් එක් අයෙකි. දේසීය මුර්පොක්කු ද්‍රවිඩ කසගම් පක්ෂය පිහිටුවා ගත් ඔහු 2011 සිට 2016 දක්වා තමිල්නාඩු ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ විපක්ෂ නායක ධුරය දැරීය. ආර්. සරත් කුමාර් ද සිනමාවේ රසික ආදර ගෞරව මධ්‍යයේ දේශපාලනයට පිවිසි අයෙක්. ඔහු ද පක්ෂයක් පිහිටුවා ගනිමින් දේශපාලන ගමන ඇරඹූ අතර ඔහුගේ දේශාපාලන පක්ෂයට සාර්ථක වීමට ලැබුණේ නැත. ද්‍රවිඩ මුන්නේත්‍ර කසගම් පක්ෂයට සම්බන්ධ වෙමින් දේශපාලන ගමන් ඇරඹූ නිළි කුෂ්බු සුන්දර් පසුව එයින් ඉවත් වී වර්තමානයේ කොන්ග්‍රස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙසින් කටයුතු කරන්නීය.