වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




රැකියාවත් යෝජනාවත් අතරට මැදිවන සේනකගේ කතාව උගුලයි මඟුලයි

රැකියාවත් යෝජනාවත් අතරට මැදිවන සේනකගේ කතාව උගුලයි මඟුලයි

ඒ. ඒ. ජුනයිඩීන් අධ්‍යක්ෂණයක්

සේනක ඉපදුණේම දුප්පත්කම මිට මොළවාගෙනය. පුංචි සන්දියේ සිටම අනේක දුෂ්කරතා විඳ ජීවිතේ ගෙන ගිය ඔහු තරුණ වියට එළඹුණ ද දිළිඳුකම නමැති රකුසා සේනකව ලුහුබැඳීම නවතා තිබුණේ නැත. කොරේ පිටට මරේ කියන්නාක් මෙන් සේනකගේ මව ලෙඩ ඇඳට වැටෙයි. බෙහෙත් හේත් ගෙන ඒමට මුදල් අවශ්‍ය වන බැවින් සේනක ඊට විසඳුමක් සෙවීමට අහස පොළව ගැටලමින් කල්පනා කරයි. ඇත්තේ එකම විසඳුමකි.

ඒ නිවස උගසට තබා මුදල් කීයක් හෝ ලබා ගැනීමය. සේනක එසේ කරයි. එලෙස ලැබුණු මුදල් උපයෝගී කර ගනිමින් මව සුවකර ගැනීමේ අරමුණින් කල් ගෙව්ව ද අවාසනාව තවමත් සේනක වටා සක්මන් කරයි. නොබෝ දිනකින් මව මිය යයි. සේනක මෙලොව තනි වෙයි. නිවස ද නැත.

එය උගස් කොට ගත් මුදල් ද මවගේ අසනීපයට වියදම් කළේය. ඒත් ඵලක් වූයේ නැත. මව ජීවත් නොවීය. සේනක දැන් කබලෙන් ළිපට වැටුණු ගාණය. උගස්කරුවා ගෙයින් සේනකව පන්නා දැමීය. අව්වට තෙමෙමින් වැස්සට වේලෙමින් සේනක ඉබාගාතේ ඇවිද යමින් සිටියි. එලෙස වුව ද ඔහුගේ අධිෂ්ඨානයෙහි මඳකුදු අඩුවක් නැත.

සේනක දන්න කියනා මුදලාලි කෙනෙකු ගාව වැඩට යන්නේ කෙසේ හෝ ජීවිතේ ගොඩ යන්නෙමි යන අධිෂ්ඨානයෙනි. සතෙන් සතය රුපියල රුපියල එකතු කරගෙන උගස නිමා කොට නිවස බේරා ගැනීම සේනකගේ ඒකායන පැතුම වේ. මේ අතර සේනකට රමණී නමැති තරුණියක් යෝජනා වෙයි. එම යෝජනාව කෙළවර වන්නේ සේනක හා රමණී විවාහ දිවියට ඇතුළත් වෙමිනි. ඔවුන් දෙපොළ රමණීගේ බාල සහෝදරයාගේ නිවසේ පදිංචි වෙයි.

ක්‍රමයෙන් කාලය ගත වී යයි. හදිසියේම සේනකව සොයා අමුත්තෙක් පැමිණෙයි. ඒ සේනක වැඩ කරන තැන අයිති මුදලාලිගේ පුතා වන රවීය. ඔහු පැමිණ සේනකට පැත්තකට අඬ ගසයි. කාටත් රහසින් රවී පැමිණ සේනකගෙන් ඉල්ලීමක් කරයි. ඒ තමාගේ පෙම්වතිය වූ සෝභාව මෙම නිවෙසේ තාවකාලිකව නවත්වා ගන්නා සැටියටය.

එසේ නොවුවහොත් රැකියාව ගැන බලාපොරොත්තු අතහැර ගන්න කියා ද රවී තර්ජනය කරයි. සෝභාව නිවසේ නවත්වා ගැනීමට රමණී දැඩි අකැමැත්ත ප්‍රකාශ කරයි. එසේ වුවහොත් මඟුල ද අතහරින බව ඇය කියයි. සේනක හිතාගත නොහැකි උගුලකට හසු වී සිටියි. උගුලයි මඟුලයි නමැති සිනමාපටය එලෙස දිග හැරෙයි. එහි කතාව දෙබස් තිර රචනය සහ අධ්‍යක්ෂණය ඒ. ඒ. ජුනයිඩීන්ගෙනි.

උගුලයි මඟුලයි රංගනයෙන් හැඩ කරන පිරිස

ටෙනිසන් කුරේ, මංජුල මොරගහ, ලක්ෂ්මන් අමරසේකර, රොහාන් ප්‍රියදර්ශන, අමාවි ධනන්සූරිය, චාරිකා උදයංගනී, දයාසිරි හෙට්ටිආරච්චි, පද්මා මෙන්ඩිස්, ජයන්ත පුෂ්පකුමාර, චතුරිකා ආරියවංශ, තාරකා අංජලි, මමෝජ් සෙල්වරාජ්, මොහොමඩ් රියාස්, ගාමිණී කුමාර, ගාමිණී මෙන්ඩිස්, පියතිලක ලුනුවිල, සුදාකර, විජය ගලප්පත්ති, නදුන් යාලේගම, මෙත්තානන්ද විතානගේ, දිනේෂ් විජයකුමාර, රමචන්ද්‍ර, ශාන්තා කුමාරි, චාන්දනී පෙරේරා, නිරෝ සෙනෙවිරත්න, රොමාන් පාවුලු, ඩබ්ලිව්. එම්. ගයාන්, දිනූ මානෙල්, ගයාන් හේමන්ත, අමිතා ජයසුන්දර.

ළමා නළු නිළියන්:

අමානුල්ලා රියාස්, නෙතුකි නේහෙරා, ජිතුලි කෞෂ්‍යා, දිල්ෂාන් සන්දීප

නිෂ්පාදන කණ්ඩායම:

කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන

සම අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ

ගීත ගායනා - එම්. එස්. ප්‍රනාන්දු, ඉෂාක් බෙග්, ප්‍රියංගිකා සමන්ති

කලා අධ්‍යක්ෂණය - එස්. කුමාරසිංහ, සංජීව මධුසංඛ, අසේල ප්‍රියමාන්න

අංග රචනය - මමෝජ් සෙල්වරාජ්

සටන් අධ්‍යක්ෂණය - සමන්ත මායාදුන්න

සංගීත අධ්‍යක්ෂණය - ෆෂල් ජින්නා

සංස්කරණය - සුරේෂ් කුමාරසිංහ, එච්. ජුනයිඩීන්

සම අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ