වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




සඳකඩ පහණක ඔපලූ කැටයම්

සඳකඩ පහණක ඔපලූ කැටයම්

සඳකඩ පහණ වචනය ඇසුණ සැනින් මතක් වන කාරණා දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි අපේ උරුමයක් වූ සඳකඩ පහණ. අනෙක සුනිල් එදිරිසිංහයන් ගයන ගීතය. සුභාවිත ගීතයට ළැදි සියල්ලන්ගෙන් තමන් වඩාත් කැමැති ගීතයක් ලෙසට සඳකඩ පහණ හඳුන්වා දෙනවා. ඒකේ වාදයක් නැහැ. දන්නවද මේ ගීතයට අදට වයස කීයද කියලා. හරියටම අවුරුදු හතළිස් පහයි. සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ මාතර ආච්චි චිත්‍රපටය සඳහා තමයි මෙම ගීය ඇතුළත් වුණේ. සඳකඩ පහණ සමඟින් සතිස් ඇතුළු තව තිදෙනෙක් සිනමාවට නවමු නමක් රන්දන්නට සමත් වෙනවා. මාතර ආච්චි කියන්නේ සතිස්චන්ද්‍රගේ කුලුඳුල් අධ්‍යක්ෂණයනෙ. අධ්‍යක්ෂවරයකු හැටියට ඔහු ගමනක් අරඹන්නේ ඒ හරහා. තමන්ගේ මලණුවන් වූ සුනිල් එදිරිසිංහව සඳකඩපහණ ගීතය ගායනා කරවමින් ගායකයකු බවට සතිස් පත් කරනවා. එතැන් පටන් අප සුභාවිත ගීතයේ සුනිල සලකුණ ඔහු. වික්ටර් රත්නායක ගායකයකු ලෙසට නමක් දිනාගෙන හිටියත් සිනමා සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ මාතර ආච්චි චිත්‍රපටය සමඟිනි. සඳකඩ පහණ පදමාලාවට සංගීතයෙන් ජීවය සපයන්නේ ඔහු. සඳකඩ පහණ ගීය ලියා දෙන්නේ වොලී නානායක්කාර. ඔහුගේ ද පළමු හා එකම ගීත රචනය වන්නේ මෙයයි. මේ සිව් කට්ටුව කළ ඒ වික්‍රමයට අදට අවුරුදු හතළිස් පහයි. කොතරම් කාලයක් ගත වුණත් සඳකඩ පහණහි ජනප්‍රියත්වය අචලව තිබෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මාතර ආච්චිත් තවම තරුණයි.