වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




අබා කුමරු ස්වර්ණපාලිය ගැන ගැයූ ගීතය

අබා කුමරු ස්වර්ණපාලිය ගැන ගැයූ ගීතය
අප්පච්චිගේ පබැඳුමක්

සජිත අනුත්තර ගායකයකු වෙයි

ගහේ කටු උල් කරන්නට ඕන නැහැ කියන්නෙ කටකහනවට නෙවෙයිනෙ. පියාගෙ උරුමය නිතැතින්ම තම පුතුට පිහිටනවා. ඒ අන්දමින් පරම්පරාවෙන් පරම්පරාවට තම සහජ හැකියාව ගෙනයන අයකුගෙ අලුත් නිර්මාණයක් ගැන කියන්නයි මේ සූදානම් වන්නෙ. ඒ අපූරු තරුණයා සජිත අනුත්තර. තවත් විදිහකින් සඳහන් කළොත් ජැක්සන් ඇන්තනිගෙ බාල පුත්‍රයා. ඔහු ගැයූ ගීතයක් මේදිනවල ඉතාම ජනප්‍රියයි. එය ස්වර්ණපාලියේ පණ්ඩුකාභය කුමාරයාගේ පෙම්වතිය වූ ස්වර්ණපාලි ගැනයි. මෙහි අන්තර්ගත වන්නෙ කලා ලෝකය දිග්විජය කරමින් සිටින සජිතගෙ ස්වර්ණපාලියේ මෙවර අප කතාබහ කරන මියුසික් වීඩියෝවයි.

සජිත මේ ඔබගේ පළමු ගීතය නේද?

ඔව්.

ඔබේ පරපුරේ ගායකයින් ප්‍රේමවිලාප කියද්දී ඔබ මේ වගේ ගීයක් ගයන්න පෙලඹෙන්නේ ඇයි?

මගෙ මතයට අනුව මිනිසුන්ට ලබාදෙන්න ඕන මතක හිටින නිර්මාණයක්. ඒක තමයි ප්‍රධාන හේතුව මං මේ වගේ ගීයක් ගැයීමට.

ඒ වෙනසට මිනිසුන් ළැදි වුණා?

අනිවාර්යයෙන්ම. ඒකනෙ මේ සින්දුව අවුට් කරලා සතියක් ඇතුළත ට්‍රෙන්ඩිං නම්බර් වන් වුණේ.

ස්වර්ණපාලියේ ගීතයේ මෙලඩිය නේද පළමුවරට ඔබට අසන්නට ලැබෙන්නෙ?

මෙහි සංගීතය සනුකගෙ. මගෙ ගායන සහ නර්තන හැකියාවෙන් යමක් කරන්න ඕන කියන අදහසක් මට තිබුණෙ. මමයි සනුකයි මේ මෙලඩිය අහලා බොහොම වෙලා මේ ගැන කතාකරමින් සිටියා.

ඒ අතරෙ ඔබ දෙපොළ ඊට වචනත් දැම්මා?

ඔව්. ඒත් ඒ වචන හරිගියේ නැහැ. අන්තිමේ මං මෙලඩිය අප්පච්චිට අහන්න දුන්නා. ඔහු තමයි මට සින්දුව ලියලා දුන්නෙ.

ඉතිහාසගත චරිත අරගෙන වර්තමානය සහ අතීතය අතර ගලපමින් වීඩියෝව නිර්මාණය කරමු කිව්වෙ කවුද?

ඒක සාමූහික අදහසක්. අප්පච්චිත් එක්ක එකතුවෙලා ගීයේ වීඩියෝව නිමකළා. අප්පච්චි තමයි අධ්‍යක්ෂණ කටයුතු කළේ. ගීතයේ පදමාලාවට අසාධාරණයක් නොකරමින් ගීතය ලිව්වා.

වීඩියෝව කොහොමද ෂූට් කළේ?

ගොඩක් අපි ග්‍රීන් ස්ක්‍රීන් එකේ ෂූට් කළා. අනෙක් කොටස් ගත්තේ පිළිකුත්තුව ආශ්‍රිත ප්‍රදේශවල. දින දෙකක් පුරා ගීතය රූගත කළා.

ස්වර්ණපාලි චරිතයට ඔබේ පෙම්වතිය වූ බුවිනිකාව තෝරගත්තෙ ඇයි?

ඇගේ පෙනුම ඊට හරිගියා. එච්චරයි.

ඇය දිගින් දිගටම රංගනයේ යෙදෙනවාද?

නැහැ.

වීඩියෝව රූපගත කරද්දි සිදුවුණ අමතක නොවන සිදුවීම් මොනවද තියෙන්නෙ?

මේ වීඩියෝවෙ සනුකත් රඟපානවා. ඔහුට රැවුලක් යොදන්න තිබුණා. නමුත් දර්ශන තලයට එනතෙක්ම දැනගෙන හිටියෙ නැහැ ඔහුට රැවුලක් දානවා කියලා. රැවුල යෙදුවායින් පසුව ඔහු හැසිරුණ ආකාරය මතක් වෙද්දිත් මට විනෝද ජනකයි. එක්තරා අවස්ථාවකදි මටයි සනුකටයි රජ ඇඳුම් ඇඳගෙන ගාලුපාරෙ දුවන්නට තිබුණා. අපි දුවද්දි අහල පහල මිනිසුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර විවිධාකාරයි. දැන් මතක් වෙනකොටත් ලැජ්ජ හිතෙනවා.

ජැක්සන් ඇන්තනිගෙන් ඔබගේ ගීතයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

අප්පච්චි ඉතාම සතුටුවුණා මං ගායකයකු වීම ගැන. ඔහු කියපු තවදෙයක් තියෙනවා. ඒ ඔහුට විජයග්‍රහණයක් ලබන්න බැරිවුණ ගායන පැත්තෙන් මට ඔහුව අභිබවා යන්න කියන එක.

ඔබේ ඊළඟ ගීතයට මේ වනවිට සූදානම්ද?

ඔව්. ඒකෙ නම තරුදහසක්. සංගීතය සහ පද මගෙ. ළඟදීම ඒක එළිදක්වනවා.