වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




තවත් මහා පරිමාණ බැංකු කොල්ලයක්

තවත් මහා පරිමාණ බැංකු කොල්ලයක්

Den of Thieves

ලොව තරු නගරය ලෙසින් හැඳීන්වෙන්නේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය යි. එසේම අමෙරිකානු ආර්ථිකය දෙස බැලුව හොත් නිව්යෝර්ක්, චිකාගෝ සහ හූස්ටන් නගරය සේම ලොස් ඇන්ජලීස් නගරයද ඇමරිකානු ආර්ථිකය සඳහා ලබා දෙන්නේ, විශාල පිටුබලයක‍්. දේව දූතිකාවන්ගේ නගරය යන අනවර්ථ නාමය ද එයට පබැඳී තිබේ.

එය කෙසේ වෙතත් හොලිවුඩය ගත් කල ලොස් ඇන්ජලීස් නගරය පාදක කරගනිමින් නිර්මාණය කෙරෙන අපරාධමය තේමා රැගත් සිනමා නිර්මාණවලද අඩුවක් නැත. මයිකල් මාන් විසින් අධ්‍යක්ෂණය කළ Heat,  විලියම් ෆ්‍රයිඩ්කින් විසින් අධ්‍යක්ෂණය කළ To Live And Die In L.A.සහ ඩේවිඩ් ඒයර් විසින් අධ්‍යක්ෂණය කළ End Of Watch  එයට උදාහරණ කිහිපයකි. 2018 වසරේ එම තේමාව ඔස්සේ යාමට සැරසී සිටින්නේ, ජර්මානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් ගුඩෙගාස්ට්ය. ඔහු සිය කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය ලොස් ඇන්ජලීස් නගරය හා සම්බන්ධ අපරාධමය කතා තේමාවක් සමඟින් Den of Thieves ලෙසින් රිදී තිරයට ගෙන ඒමට සූදානම්.

ලොස් ඇන්ජලීස් නගරය පාදක කර ගනිමින් සිදු වන සොරකම් පිළිබඳ වූ ක්‍රියාදාම, ත්‍රාසජනක චිත්‍රපටයක් වන Den of Thieves ලොස් ඇන්ජලීස් ෂෙරීෆ් කාර්යාලයේ සේවය කරන පොලිස් නිලධාරින් සහ ලොස් ඇන්ජලිස්හි වෙසෙන අමෙරිකාවේ සාර්ථකම බැංකු මංකොල්ලකරුවන්ගේ ජීවිත එකිනෙක සම්බන්ධ වන්නේ කෙසේද යන්න ගෙන එනවා.

 මෙම මංකොල්ලකරුවන් කණ්ඩායම ලොස් ඇන්ජලීස්හි දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ක්‍රියාත්මක ෆෙඩරල් රක්ෂිත බැංකුව මංකොල්ල කෑමට සැලසුම් දියත් කරයි. ෆෙඩරල් රක්ෂිත බැංකුව යනු ලොස් ඇන්ජලීස්හි ෆෙඩරල් සංචිත පද්ධතියේ ඇතුළත් දෙවන විශාලතම මුදල් ගනුදෙනු සිදුවන කාර්යාලය වන අතර එය පැය විසිහතර පුරා ක්‍රියාත්මක වේ.

පාපන්දු ක්‍රීඩාංගනයක දිග ප්‍රමාණයෙන් සහ අඩි 60ක පළලින් යුතු දෙමහල්, බිත්ති සහ සිවිලම දැකිය හැකි කාමරයක සුරක්ෂිතව ඇති ඩොලර් මිලියන ගණනින් පුරවන ලද මුදල් පිරවූ පෙට්ටි ඔවුන්ගේ එකම ඉලක්කය වේ. මේ අතර සිදුවන සිදුවීම් සමුදාය ජනවාරි 19 වැනිදා සිට Den of Thieves ලෙසින් රිදී තිරයේ දිග හැරේ.

Den of Thieves හි රංගනය වෙනුවෙන් සුවිශේෂි නළු නිළියන් පිරිසකගේ දායකත්වය ලැබී ඇත. ස්කොට්ලන්ත ජාතික නළු ජෙරාඩ් බට්ලර් මෙහි ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියකුගේ චරිතයට පණ පොවයි. බිග් කිං ලෙසින් හැඳීන්වෙන ඔහු විශේෂ කාර්ය බලකායන්හි වැඩ කරමින්, විශේෂ දක්ෂතා සහිත විශේෂඥයකු සමඟ ඉතා හොඳීන් පුහුණුව ලත් අයෙකු වේ. ඔහු මෙරිමන්ට් නම් මංකොල්ලකරුවා ඇතුළු පිරිස අල්ලා ගැනිමට සැලසුම් කරයි.

සුප්‍රකට අමෙරිකානු රැප් සංගීත ශිල්පියකු සේම නළුවකු වන කර්ට්ස් ජැක්සන් හෙවත් 50 සෙන්ට් පෙඩරල් රක්ෂිත බැංකුව මංකොල්ල කෑමට සැලසුම් දියත් කරන ප්‍රධාන සොරුන් තිදෙනා ගෙන් අයෙකු වන ලෙවී එන්සන්ගේ චරිතය නිරූපණය කරයි.

අමෙරිකානු වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින කැනේඩියානු - අමෙරිකානු නළුවකු වන පබ්ලර් ශෙයිබර් මෙහි මෙරිමර් නම් සොර නායකයාගේ චරිතයට පමණ පොවයි.

Den of Thieves හි සොර කණ්ඩායමේ තෙවැන්නා වන්නේ ඩොනී. ඩොනීගේ චරිතයට පණ පොවන්නේ විසිහය හැවිරිදි ඕෂියා ජැක්සන් ජූනියර් විසින්. ඔහු ජනප්‍රිය අමෙරිකානු නළු ඕෂියා ජැක්සන් හෙවත් අයිස් කියුබ්ගේ දෙවැනි පුත්‍රයා ය.

මේ වන විට අමෙරිකාවේ නළුවකු මෙන්ම රැප් සංගීත ශිල්පියකු ලෙසින් කටයුතු කරන ඔහු 2015 වසරේදී හොලිවුඩයට පිවිසියේ Straight Outta Compton  චිත්‍රපටයේ තම පියා, අයිස් කියුබ්ගේ යොවුන් වියට පණ පොවමිනි.