වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




මං ඒ නිළිය නොවෙයි

මං ඒ නිළිය නොවෙයි

ශාලිකා එදිරිසිංහ

මම මහලොකු චරිතයක් නෙවෙයි

ඇගේ නම ශාලිකා එදිරිසිංහ. එහෙත් මේ ඔබ සිතන ශාලිකා එදිරිසිංහ නම් නෙවෙයි. ඒ ශාලිකා නිළියක්. නමුත් මේ ශාලිකා නිවේදිකාවක්. ජාතික නාලිකාවෙ තමයි ඈ සේවය කරන්නෙ. ඒ ප්‍රවෘත්ති නිවේදිකාවක විදිහට.

* ශාලිකා ඔබ නමින්ම නිළියක් ඉන්නවා. නම නිසා පැටලුම් වෙලා නැතිද?

මම ඒ ශාලිකාව නම් පෞද්ගලිකව හඳුනන්නේ නැහැ. මගෙ නම ඇහෙද්දි වැඩිදෙනෙක් හිතනවා මම ඒ නිළිය කියලා. වෙන පැටලුම්නම් වෙලා නැහැ.

* ශාලිකා ජාතික නාලිකාවට එන්නෙ කොහොමද?

නිවේදිකාවක වීමේ හීනය පොඩිකාලෙ පටන්ම ම'සිතහි තිබුණා. ඒ හිනය සාක්ෂාත් කරගන්නටයි උපරිම උත්සහ කළේ. ඔය අතරේ මං අහම්බෙන් ජාතික නාලිකාවට සම්බන්ධවෙන්න ලැබුණා. 2008 දි මම ඉදිරිපත් කළේ සමෘද්ධි උදානය කියලා වැඩසටහනක්. නමුත් කෙටිකලකින් ඉන් ඉවත්වන්නට සිදුවුණා. ඊට පසුව අවුරුදු පහක් පමණ පෞද්ගලික අංශයක සේවය කළා. එහෙම හිටියට නිවේදිකාවක වෙන්න පාර හෙව්වා. ඔය අතරේ තමයි මට දැනගන්නට ලැබෙන්නෙ නුගසෙවනට නිවේදිකාවක් ගන්නට ඉන්ටර්විව් තියනවා කියන එක. ඒ ඔස්සෙ ඉල්ලුම් කළා. සිය ගණනක් අතරින් මාව තේරුණා. නුගසෙවණට ආවත් මං තෝරාගත්තෙ ප්‍රවෘත්ති නිවේදනය. ඒ මගෙ ඇඟේ තියෙන්නෙ ඒක නිසා.

* ඇයි ඔබ ප්‍රවෘත්ති නිවේදනයට මෙතරම්ම ප්‍රිය?

අනේ මන්දා. මට හිතෙනවා මංග දක්ෂතාවය තියෙන්නෙ ඒකට කියලා.

* මුලින්ම ප්‍රවෘත්ති කියපු දවස මතකද?

ඔව්. 2016 දෙසැම්බර් 18. එදා මං ගොඩක් බයවෙලා හිටියෙ. ඒ වුණාට එකම වචනයක්වත් වරද්දන්නෙ නැතුව මං ප්‍රවෘත්ති කිව්වා.

* ප්‍රවෘත්ති කියන්න ගිහිල්ලා වෙච්ච අමතකම නොවන අත්දැකීම ගැනයි මං ඊළඟට අහන්නෙ.

එක්තරා දවසකදි නිවුස් එක කියන අතරතුර නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාව ලයිව් සම්බන්ධකරගන්න තිබුණා. ප්‍රථම වතාවටයි නිවුස් එක අතුරතුරදි මං එහෙම කළේ. ඒ වෙලාවෙත් පොඩි ටෙන්ෂන් එකක් තිබුණත් කිසිම තැනකදී වැරදි නොකරන්න මා වග බලාගත්තා.

* ඔබ නැවතත් සමෘද්ධි උදානය වැඩසටහන ඉදිරිපත් කරනවා නේද?

ඔව්. මට ආයෙත් ඒකම ලැබුණා. ඉරිදා සවස 4 ට එය විකාශය වනවා.

* ඔබ හිතනවද ඔබ ජනප්‍රියයි කියලා.

මම මහලොකු චරිතයක් නෙවෙයි. ඒ නිසා මං දන්නවා මං ජනප්‍රිය නැහැ කියලා. ඒත් පාරකට බැස්සම බොහෝ දෙනෙක් ඇවිත් මගෙත් එක්ක කතා කරනවා. ඒක මට සතුටක්.

* ප්‍රවෘත්ති නිවේදන ජීවිතය ඒකාකාරි නැද්ද?

ඇත්තටම නැහැ. මේක මගේ වෘත්තියනෙ. වෘත්තිය ජීවිතය තුළ මං හරිම තෘප්තිමත්. එහිදී කිසිදු ඒකාකාරී බවක් දැනෙන්නෙ නැහැ.

* උදෑසන දහවල් සහ පැයෙන් පැය ප්‍රවෘත්ති කිව්වට ඔබට තවම රාත්‍රී අට ප්‍රධාන ප්‍රවෘත්ති කියන්න ලැබිලා නැහැ?

මගෙ ඊළඟ බලාපොරොත්තුව ඒක. රාත්‍රී අට ප්‍රධාන ප්‍රවෘත්තිය මා ළඟදීම කියනවා. ඒකට අඩිතාලම වැටේවි කියන විශ්වාසයෙන් මං ඉන්නෙ.

* නිවේදනය පිළිබඳ හැදෑරීමට හිතක් නැද්ද?

අනිවාර්යයෙන්ම තියෙනවා. හැදෑරීමක් නැතුව කිසිදෙයක් කරන්නට බැහැ. හැම පැත්ත ගැනම මං ඉගෙන ගන්නවා. එහෙම පරිපූර්ණ නිවේදිකාවක් විදිහට ඉදිරියටම යනවා.

* ඔබේ පාසලත් මතක් කරමු.

පන්නල ජාතික පාසල.

* ගමත් එහෙමද.

ඔව්. මගෙ ගම පන්නල.

* පවුලේ විස්තර මොනවද?

මම විවාහකයි. මහත්තයා පෞද්ගලික ආයතනයකත රැකියාවක් කරනවා.

* ඔබේ නිවේදන කටයුතුවලට ඔහුගෙන් මොනවගේ සහායක්ද ඔබට ලැබෙන්නෙ?

ඉතාම හොඳයි. දෙවැනි වතාවට මං නිවේදිකාවක් වුණේ ඔහුගේ ඉල්ලීමට. එතරම්ම ඔහු මගේ නිවේදන කටයුතුවලට ප්‍රියයි.