වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවිතය සුන්දරද මෙතරම්

ජීවිතය සුන්දරද මෙතරම්

රොෂාන් පිලපිටිය - රිද්මා දිසානායක අලුත් පෙම් යුවළ හමුවෙමු

“සොඳුරු අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් විත්
ආදරයෙන් හමුවෙන්න ඇතී”

රිද්මාගේ දෙනෙත් දෙසම බලාගෙන සිටි රොෂාන්ගේ සිතේ ඉපදෙන්න ඇත්තේ ඒ වගේ සිතුවිල්ලක් කියලයි අපට සිතුණේ. එවැනි සිතුවිල්ලක් අපේ සිතට පිවිසුණේ පසුගිය දිනෙක රොෂාන් පිලපිටිය කියන අපේ රංගන ශිල්පියා යුග දිවියට පිවිසුණු මොහොතෙයි. බොහොම සුන්දර විදියට සැරසිලා සිටිය මනාල යුවළ නියමෙට කැපෙන යුවළක් කියලයි බොහෝදෙනා පැවසුවේ.

“රොෂාන් - රිද්මා”

ඒ ආදර කැදැල්ල තනන්නට මුල පිරුවේ ඒ විදියට. ඒ ආදරණීය බවේ උණුසුම් සුවය විඳීන අතරම ‘සරසවිය’ අපි ඔවුන් හා කතාබහක යෙදුණේ අලුත්ම ජීවිතයේ තොරතුරු ඔබට පවසන්න සිතාගෙන.

“ඉතින් අලුත් ජීවිතය සුන්දරයි ද?”

අපේ රටේ බොහෝදෙනාගේ ආදරය දිනාගෙන සිටින රොෂාන් පිලපිටිය රංගන ශිල්පියා නොහොත් යුගදිවි ගමන් ඇරඹූ අලුත්ම මනාලයා සිය අලුත් ජීවිතයේ සුන්දරත්වය කියාපෑවේ මුවඟට සුන්දර සිනහවක් නංවමින්.

“ඇත්තටම ජීවිතය බොහොම හොඳයි. කිසිම වරදක් නැතිව සතුටින් ගලාගෙන යනවා. ඒ අතර එහි සුන්දරත්වය විඳීන ගමන්ම අනෙක් නිර්මාණ කටයුතුවලත් යෙදෙනවා.”

රොෂාන් පිලපිටියගේ ස්වරයේ ම ඒ සතුට ගැබ් වී ඇති බවකුයි අපට හැඟුණේ.

“ඒත් ඔබ කලකට ඉහතදි නම් පැවසුවේ කිසිම දිනෙක විවාහයක් ගැන සිතන්නේ නැති බවයි”

මීට ටික කලකට ඉහත ඔහු පැවසූ කාරණයක් මගේ සිතට පිවිසියෙන් මා විමසුවා.

“ඔව්. ඇත්තටම මීට ටික කාලයකට පෙර මම සිතාගෙන සිටියේ නම් ඒ විදියටයි. ඒත් හදිසියේම වගේ මගේ සිතේ ඇතිවුණු ඒ අදහස වෙනස් වුණා. ඒ රිද්මා නිසයි.”

රිද්මා දිසානායක. රොෂාන්ගේ දයාබර බිරිය රිද්මා වෙසෙන්නෙත් නුවරමයි. ඒ කියන්නේ රොෂාන්ගේ නිවෙස පිහිටි ප්‍රදේශයට ආසන්න ගම් පළාතෙමයි.

“මුලින්ම ඔබ දෙපළ අතර ඇතිවෙන්නේ මිතුරුකමක් ද?”

“රිද්මා අවුරුදු පහක හයක කාලයක පටන් මගේ මිතුරියක්. ඒ මිතුරුකමත් එක්ක අපි බොහෝ දේවල් කතාබහ කළා. කලාව ගැන වගේම ජීවිතය ගැනත් කතා කළ අවස්ථා තිබුණා. එහෙම කාලය ගතවනවිටයි මට හැඟුණේ මගේ අදහස්වලට ඇගේ අදහස් බොහොම හොඳට ගැළපෙන බව. ඉන් ඔබ්බට ගිහින් ඒ ගැළපීම ආදරයක් දක්වා ලියලා වැඩුණා.”

රොෂාන් - රිද්මාගේ සිතේ කාලයකදි ලියලා වැඩුණු මිතුදම අනුව රොෂාන්ගේ සිත ගැන රිද්මා දැනගෙනයි සිටියේ.

“ඒ කියන්නේ විවාහයක් ගැන නොසිතන බව රොෂාන් රිද්මටත් කිව්වද?”

“අපේ අතර තිබුණු මිතුරුකම අතරෙදි මම රිද්මටත් කිව්වේ මම කිසිම දවසක විවාහ වෙන්නේ නැහැ කියලා. ඒත් කල්යත්ම අපි දෙන්නාගේ අදහස් අපූරුවට ගැළපුණා. මීට වසරකට, දෙකකට පෙර ඒ දැනුණු ගැළපීමත් සමඟ මගේ සිත ඈ කෙරෙහි ආදරයෙන් බැඳුණා.”

ජීවිතය දුෂ්කරයි කියන්නා සේ කාලයකදි රොෂාන්ගෙත් ජීවිතය කරදරවලින් පිරිලා ඉතිරුණා. ඒත් ඔහු ඒ සියල්ල ඉවසාගෙන දරාගෙන සිටියේ බොහොම මධ්‍යස්ථ සිතෙන්.

“පසුගිය කාලයේ ඔබගේ ජීවිතයේ පැන නැඟුණු ප්‍රශ්න නිසා ඔබ ගැන ඇගේ සිතේ තිබුණු පැහැදීමට මොකද වුණේ?”

“කාලයක් යද්දි මම කියන්නේ කවුද කියලා රිද්මාට තිබුණේ මනා අවබෝධයක්. ඒ අවබෝධය නිසයි අපි පසුව එකඟතාවකට ආවේ. මේ විදියට හැමදාම ඈත්වෙලා ඉන්න ඕන නැහැ, විවාහ වෙමු කියන අදහස මල්ඵල ගැන්වෙන්නේ ඒ අවබෝධයත් සමඟයි.”

ජීවිත ගමනේ මියයනතුරාවට ම අත්වැල් අල්ලාගෙන ඉන්න බවට රොෂාන්ට පොරොන්දුවුණු රිද්මා ඔහු අසලට පැමිණ දෑතේ වෙළුණා. ඒ අපට සුන්දර සිනහවක් පාමින්.

“ජනප්‍රිය තලයේ ඉන්න රොෂාන් වගේ රංගන ශිල්පියෙක් තමන්ගේ සැමියා කරගන්න භය සිතුණේ නැද්ද?”

රිද්මාගේ සිනහසෙන දෙනෙතෙන් මා විමසුවා.

‘‘අපි කාලයක් ඇසුරු කළ නිසා රොෂාන්ව මගේ සැමියා විදියට තෝරා ගන්නට මා බිය වුණේ නැහැ. මොකද ඔහු බොහොම අවංක කෙනෙක්. හැමදෙයක්ම වගේ විවෘතව කතාබහ කරන කෙනෙක්. ඒ වගේම සරලයි. මිනිස්සුන්ට වගේම සතුන්ට, ගහකොළට පවා ආදරය කරන කෙනෙක්. ඔහුගේ සිතේ මනුස්සකම පිරිලා තිබෙනවා. මේ හේතු නිසා මා ඔහුට බොහොම කැමැති වුණා.”

රිද්මා - රොෂාන්ගේ ආදර අන්දරය රිද්මාගේ මවට හා පියාට රහසක් නොවුණා. ඒ රිද්මා ඔවුන්ගේ ආදරය ගැන කලින්ම මව්පියන් දැනුවත් කළ නිසා.

මව්පියන්ගේ ආශිර්වාදය ඔබ දෙපළට ම හිමිවුණා”

“කලින්ම රොෂාන් ගැන මගේ මමාත්, පපාත් දැනගෙන සිටිය නිසා අපි දෙන්නාගේ ආදරයට ඒ දෙන්නාගේ ආශීර්වාදය ලැබුණා. ඔවුන්ගේ ආශීර්වාදයත්, රොෂාන්ගේ අම්මාගෙත්, අප්පච්චිගෙත් ආශිර්වාදය මැද අපි දෙන්නා අතිනත ගත්තා.”

රිද්මා - රොෂාන් කැදැල්ල නිර්මාණය වන්නේ කොළොම්පුරවරයේයි. මේ වනවිට කොළොම්පුරවරයේත්, නුවරත් සිටින ඔවුන් දෙදෙනා රොෂාන්ගේ කාර්යබහුලත්වයත් එක්ක තරමක් අවිවේකයෙන්.

“විවාහ වුණු අලුත මනාලිය ළඟටම වෙලා ඉන්න රොෂාන්ට කාලය නෑ වගෙයි”

“මේ දවස්වල මම තරමක් කාර්යබහුල චරිතයක් බවට පත්වෙලා. එක දිගට ටෙලි නාට්‍ය හතක් විකාශනය වීමත් සමඟයි ඒ තත්ත්වය උදාවුණේ. එක දිගට නිර්මාණ භාර නොගත්තත් කලින් කරන ලද නිර්මාණ එක් කාලයක විකාශය වීමත් සමඟ මට නිර්මාණවලට කාලය දෙන්න සිද්ධ වුණා. ඒ නිසා මට රිද්මත් එක්ක ගත කරන්න තිබෙන කාලය අඩුවුණා. මේ නිසා ඉදිරියේ දී මේ වැඩ කටයුතු තරමක් අඩුවුණාට පස්සේ ඇයත් එක්ක කාලය ගත කරන්නයි සිතාගෙන ඉන්නේ.”

තවමත් රිද්මා නීතිඥවරියක් වීමට ඉගෙන ගන්නවා. ඇගේ අධ්‍යාපන කටයුතුවලට රොෂාන්ගෙන් කිසිම බාධාවක් ඇත්තේ නැහැ.

“පෙබරවාරි මාසයේ රිද්මාගේ විභාග කටයුතු පැවැත්වෙන නිසා මේ දවස්වල ඈ ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවා.”

“රොෂාන් වගේ රිද්මත් රංගනයට පිවිසේවි ද?”

අපට එහෙම නොසිතුණා නොවෙයි.

“රඟපෑමට එන්නට මගේ නම් කිසිම අදහසක් නැහැ.”

රිද්මා කියන්නේ ස්ථිර හඬින්ම. ඒත් රොෂාන් ඒ අදහස ගැන දරන්නේ වෙනම අදහසක්.

“රිද්මා රඟපානවාට මගේ කිසිම අකමැත්තක් නැහැ. ඒත් ඒ කටයුත්තට පිවිසිය යුත්තේ රංගනය ගැන හොඳ හැදෑරිමකින්.”

මීට පෙර රිද්මා එක් රූප රචනයකට සහභාගි වී සිටියත් ඈ මූලිකත්වය දීලා තිබෙන්නේ අධ්‍යාපන කටයුතුවලට. දෙන්නාට දෙන්නාගේ කටයුතුවලට උදව්-පදව් කර ගනිමින් දෙන්නා ජීවිතයට මුහුණ දෙන්නේ අවබෝධයෙන්.

“පසුගිය කාලයේ සමාජ වෙබ් අඩවිවල ඔබ ගැන විවිධ කටකතා ප්‍රචාරය වුණා. ඒක ඔබ දෙපළට ප්‍රශ්නයක් වුණේ නැද්ද?”

“රිද්මා මා ගැන වගේම මා රිද්මා ගැනත් ඉන්නේ නිවැරැදි අවබෝධයෙන්. ඒ නිසා ඔය විවිධ කතා ගැන අපි දෙන්නම ගණන් ගන්නේ නැහැ. අනෙක් එක ඒ ඒ එක් එක් දේවල්වල යන තොරතුරු සොයන්න අපට කාලයකුත් නැහැ.

ඒ වගේම අනෙක් කාරණය නම් නිතරම සමාජ මාධ්‍ය අපි භාවිත කළ යුත්තේ අපට යමක් ඉගෙන ගැනීමට අවශ්‍ය දෙයක් සොයා ගැනීමටයි. එහෙම නැතිව අනෙක් අයගේ ඕපදූප සොයනවාට වඩා තමන්ගේ ජීවිතයට වැදගත් වන යමක් සෙවීමට ඒ මාධ්‍ය යොදා ගන්නවා නම් වඩාත් හොඳ බවයි අප දෙදෙනාම සිතන්නේ.”

මනාලයෙකු වුණත් රොෂාන් මේ දවස්වල ‘සුදු අඟුරු’, ‘සිඳු’, ‘මේ මමයි’, ‘සඳදිය සිත්තම්’, ‘තව දුරයි ජීවිතේ’, ‘කෝටිපතියෝ’, ‘සල් සපුනා’ ආදී ටෙලි සිත්තම් රැසක වගේම වේදිකා නාට්‍යවලටත් රංගනයෙන් දායක වෙනවා. ඒ වැඩකටයුතු අතර ගෙවන රොෂාන් - රිද්මාගේ ජීවිත සතුටු සාගරයේ කිමිදිලා.

“මගේ අනාගත බලාපොරොත්තුව රොෂාන්ට හොඳ බිරියක් වෙන්නයි.”

රිද්මා තමන්ගේ සිතේ හැංගිලා තිබුණු බලාපොරොත්තු ගොන්න අතරේ තිබුණු අදහසක් හෙළි කළා.

සුන්දර මනාලයකු හා මනාලියක ලෙසින් සැරැසී සිටින ඔවුන්ව මෙලෙස සුන්දර අයුරින් හැඩ ගැන්වූයේ නිලක්ෂි පෙරේරා. රොෂාන්ගේ ඇඳුම් ඇබා එකෙනුත්, රිද්මාගේ මල් කලඹ ඩිසයිනර් වෙඩින් ශ්‍රී ලංකා වෙතිනුත් ලැබුණා. ඒ විදියටයි ඔවුන්ගේ සිතේ රැඳුණු සුන්දර සිහිනය සැබෑ වුණේ.

ඒ සුන්දර හෝරා කිහිපය බොහොම සුන්දර ආකාරයෙන් සේයාරුවට නැඟුණු ඒ මොහොත රොෂාන් - රිද්මා දෙදෙනාගේ ජීවිතයට අමතක නොවන මතකයක් සනිටුහන් කළා.

රොෂාන් - රිද්මා ඔබ දෙපළට සරසවිය අපෙන් සුබ පැතුම්!