වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ඒත් මාව බේරාගත්තේ දෙවියන්”

“තරු දැක්කේ නැහැ. දේව දූතයන් ආවේ නැහැ

ඒත් මාව බේරාගත්තේ දෙවියන්”

මට මතක් වුණේ දරුවව

ඇය ඈන් ඩෙබොරා වයිට්. හැබැයි එහෙම කිව්වම අපි කවුරුවත් ඇයව හඳුනන්නේ නැහැ. හැබැයි ජින්ජර් කිව්වොත් බාල මහලු කොයි කවුරුත් ඇයව හඳුනනවා. ඇය තමයි ප්‍රසංග වේදිකාවේ ගිණිසිළුව.

මේ ගිණි සිළුව ජින්ජර් පසුගියදා මාරාන්තික අනතුරකට ලක් වුණා. ඇත්තටම ඇය අද ජීවත් වෙන්නේ ඇය කළ පූරුවේ පිනකින් කියලා තමයි හැමෝම කියන්නේ.

ඒත් ජින්ජර්ව හඳුනන කවුරුත් දන්නවා එය ඇගේ පෙර පිනකට වැඩිය මේ ආත්මයේම ඇය කළ පින්වල අනුහසින් තමයි ඇය අද ජීවත් වෙන්නේ කියලා.

ජින්ජර් කියන්නේ අප්‍රසිද්ධියේ හුඟාන් නැති බැරි අයිට අසරණයන්ට මිල මුදලින් විතරක් නෙමෙයි ද්‍රව්‍යමය වශයෙනුත් ආධාර කරන හිත හොඳ ගැහැනියක් කියලා ඇයව දන්න කවුරුත් දන්නවා.

ඉතිං මේ ජින්ජර් පසුගිය දෙසැම්බර් 27 වැනිදා තමන් මුහුණ දුන් මාරාන්තික අනතුර ගැන සරසවිය පුවත්පතට පැවසුවේ මෙහෙමයි.

මම කුවේට්වල තිබුණ සංගීත ප්‍රසංගයකට සහභාගි වෙලා ලංකාවට ආවෙ දෙසැම්බර් 27 වැනිදා අලුයම. එදාම මට දෙනියාය ප්‍රදේශයේ සංගීත සන්දර්ශනයකට සහභාගි වෙන්න තිබුණා.

කොච්චර මහන්සි වුණත් අපි භාර ගත්ත ප්‍රසංගයක් මඟ හරින්න බැහැ. මොකද සංගීතකාමීන් බලාගෙන ඉන්නවා අපි එනකම්. ඒ හින්ද 27 වැනිදා හවස මම දෙනියාය ප්‍රසංගයට යන්න සූදානම්ව පිටත් වුණා.

මට ප්‍රසංගයේ ගීත ගයන්න නියමිතව තිබුණේ රාත්‍රී 12.30 ට විතර. ඒ වුණත් මම කලින්ම පිටත් වුණේ නියමිත වේලාවට කලින් යන එක මගේ සිරිතක් හින්දා.

මගක් යනකොට සංවිධායකවරයෙක් කතා කරලා මට කිව්වා හරියට 12.30 වන කොට එන්න කියලා.

ආයේ ටික වෙලාවකින් කතා කරලා කිව්වා පැයකටවත් කලින් එන්න ටිකක් කලින් සින්දු කියන්න වෙනවා කියලා.

එතකොට නම් මට ටිකක් බය හිතුණා. කොහොමද පැයකට කලින් එන්නේ කියලා. මට ඒ කඳුකර පාරවල් පුරුදුත් නැහැ. දෙගිඩියාවෙන් යනකොට ආයෙත් කෝල් එකක් ආවා.

ජින්ජර් කමක් නැහැ 12.30 වෙනකොට හිටියම ඇති. ඒ හින්දා පරිස්සමට එන්න කියලා.

එතකොට තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉණුවේ.

කොහොම හරි ඒ වෙනකොට අපි පිටබැද්දරත් පහු කරලා. වෙලාව රාත්‍රී 12 ට ආසන්න වෙමින් තිබුණා. අපි දෙනියාය කිට්ටු කරන කොට පාර පැහැදිලිත් නැහැ. මීදුම.

මම උමේෂ්ට කිව්වා මීදුම හින්දා පාරත් හරියට පේන්නේ නෑ පරිස්සමින් එලවන්න කියලා.

කියලා කට ගන්න හම්බ වුණේ නැහැ, මට තේරුණා වාහනය පාරේ නෙමෙයි කොහේද උඩින් යන බවක්. මම මගේ අසුන ළඟ හිටිය දරු පැටියව බදා ගත්තා.

මට දැනෙනවා දැන් කාර් එක වටයක් කැරකෙනවා. (රෝල් වෙනවා). දෙවෙනි වටය කැරකෙද්දී මගේ අතේ හිටිය දරු පැටියව කාර් එකේ දොර ඇරිලා එළියට විසි වුණා. තුන් වෙනි වටය කැරකෙද්දී මාවත් කාර් එකෙන් එලියට විසි වුණා.

මම දන්නේ නැහැ දරු පැටියා කොහේටද රෝල් වෙන්නේ කියලා. මම තව දිහාවකට රෝල් වෙනවා. මට පේනවා මට උඩින් කාර් එකක් අපේ දිහාවටම රෝල් වෙනවා.

අඩි හැටක් විතර රෝල් වෙලා මාව ගහකට රැඳිලා නැවතුණා. ඒ එක්කම මට උඩින් රෝල් වේගෙන ආව කාර් එකත් මට අඩි දහයක් විතර තියෙද්දී නතර වුණා.

මට මතක් වුණේ දරුවව. මට ඒ වෙලාවේ කිසිම ශාරීරික වේදනාවක් දැනුණේ නැහැ.

මම නැගිටලා බලද්දී මම දැක්කා දරුවා කාර් එක යට ඉන්නවා. මම දන්නේ නැහැ මට ඒ ශක්තිය කොහෙන් ආවද කියලා.

මම කාර් එක උස්සාගෙන කෑගැහැව්ව උදව් ඉල්ලලා. එතකොට ශබ්දය ඇසිලා ගමේ මිනිස්සු කන්ද බැහැගෙන ආවා. මම කෑගහලා කිව්වා මගේ දරුවා කාර් එක යට ඉන්නවා ගන්න කියලා.

ඒ අය මගේ දරුවව එළියට ගත්තා. ඊට පස්සේ උමේෂ්වයි මගේ ඥාති පුතාවයි ඔවුන් එළියට ගත්තා.

ගමේ මිනිස්සු කියනවා මෙච්චර අනතුරක් වෙලත් මේ විදිහට බේරුණ එක නම් අදහා ගන්න බැහැ කියලා.

ඒ එක්කම මට තේරුණා මට ඇවිදින්න බැහැ කියලා. මගේ උකුල් ඇටේ පැනලා.

ඒ ගමේ අය මාව අතින් අත උඩට ගෙනාවා. ඒ මිනිස්සු නොහිටියා නම් අද ජින්ජර් කියලා කෙනෙක් නැහැ.

ඔවුන් මාව දෙනියාය රෝහලට ගෙනිච්චා. එතනින් මාතර රෝහලට ගෙනිච්චා. එහිදී ශල්‍යකර්ම දෙකක් කරලා තමයි මාව බේර ගත්තේ.

කාර් එක පෙරලෙන කොට මම තරු දැක්කේ නැහැ. දේවතාවුන් දැක්කේ නැහැ. ඒත් මම විශ්වාස කරනවා මාව බේර ගත්තේ දෙවියන් කියලා.

අනතුර සිදු වූ ප්‍රදේශයේ ජනතාවටත් දෙනියාය සහ මාතර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් අනතුර සිදු වූ අවස්ථාවේ සිට මා දිරිමත් කරමින් දුක සැප බලන මගේ සහෝදර සංගීත ශිල්පීන්ටත් මම කෘතඥ වෙනවා.

එසේ බිහිසුණු මාරාන්තික අනතුරක් අත් විඳි ජින්ජර් නැවත ඉක්මනින්ම සංගීත වේදිකාවේ සුපුරුදු ලෙස රඟමින් ඔබ කුල්මත් කරනු ඇත.

ජින්ජර් යනු ප්‍රසංග වේදිකාවේ මෙන්ම චිත්‍රපට පසුබිම් ගායිකාවක් ලෙස ද අසීමිත ජනප්‍රසාදයට ලක් වූ ගායිකාවකි.

ඇය වැනි හිත හොඳ කලාකාරිණියක ගෙන් පලි ගැනීමට දෛවය ද ඉඩ නොදෙන බව සිය අනතුර ගැන ජින්ජර් පවසන දෙයින්ම අපට සනාථ වෙයි.

"මම තරු දක්කෙ නැහැ. මාව බේර ගන්න දේව දූතයෝ එනවා දැක්කෙ නැහැ. ඒත් මාව මේ විදිහට බේර ගත්තේ දෙවියන්"