වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




අපෙන් සමුගත් කලා ලොව හිතවතා අදීශ කාංචන

අපෙන් සමුගත් කලා ලොව හිතවතා අදීශ කාංචන

කලා ක්ෂේත්‍රයේ ඕනෑම කෙනෙකුට නාරාහේන්පිට හංදිය යැයි කියූ සැණින් මතකයට එන කලාකරුවන් අතර අදීශ කාංචන පෙරමුණේ සිටී. ඔහු කලා ලොවේ බොහෝ අංශවල නියැලෙමින් සියලුම අංශවලට අයත් කලාකරුවන් සමඟ සමීප සබඳතා ගොඩ නඟාගෙන සිටි කලාකරුවෙකි.

පසුගිය සෙනසුරාදා අලුයම ඔහු අපෙන් සමුගත් අතර ඔහුගේ වියෝවෙන් නාරාහේන්පිට හන්දිය සුදු කොඩිවලින් සැරසී තිබුණි. කලා ක්ෂේත්‍රයේ සියලුම දෙනා අතර ජනාදරය දිනා සිටි ඔහුගේ වියෝව කලා ක්ෂේත්‍රයේ අංශ රැසකට හිඩැසක් ඇතිකර ඇතුවාක් මෙන්ම අපට සුහද මිතුරෙකුගේ පිරවිය නොහැකි අවකාශයක් ඉතිරි කොට තිබේ.

1967 අපේ‍්‍රල් මස 12 වන දින කොළඹදී උපත ලද අදීශ කාංචන උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබුවේ කොළඹ ඉසිපතන විදුහලෙනි. හොඳින් අධ්‍යාපනය ලබන අතරතුර ඔහු විදුහලේ රගර් ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනුණි. ඊට අමතරව ශිෂ්‍ය භට බලකාය සහ විදුහලේ තූර්ය වාදන කණ්ඩායම ද ඔහු සක්‍රීයව නියෝජනය කළේය.

විනී රන්වල ශූරීන්ගේ 'සයිලාසනය' වේදිකා නාට්‍යයෙන් කලා ලොවට පිවිසි අදීශ, ප්ලැටූන්, අම්බලමක රාත්‍රිය, දේශාධිපති, නින්පොල, බණ්ඩාරනායක ඝාතන නඩුව හෙවත් මලල්ගොඩ සාක්ෂිය, උත්ඨාන, බලරංග, නෝ ප්‍රොබ්ලම් යන වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක විය.

අතුල රන්සිරිලාල් යටතේ කලා කටයුතු රාශියක නිරත වෙමින් අදීශ ජාතික රූපවාහිනියේ හඬ කැවීම් ඒකකයේ දක්ෂ හඬ කැවිම් ශිල්පියෙකු විය. අතුල රන්සිරි ලාල් නිර්මාණය කළ දළදාවත, සිරිවිමනක කථාවක්, මද්දුම බණ්ඩාර, කල්පාන්තේ කථාවක්, පුනර්භවය සහ ඉසිදාස යන නාට්‍යවල ප්‍රබල චරිත නිරූපණය කළේය. ප්‍රදීප් ජයතිලක අධ්‍යක්ෂණය කළ අපේම වැරැදි, හිනා විනාඩිය, එක කඳුළු කථාවක්, තවත් සාම කුමාරයෙක් යන ටෙලි නාට්‍යයන්හි ද, සුමිත් ගල්හේන අධ්‍යක්ෂණය කළ සැඟවුණු අමුත්තෝ සහ රජවත්ත යන ටෙලි නාට්‍යයන්හි ද, සක්විති දඩයම චිත්‍රපටයේ ද, නාරද බක්මීවැව අධ්‍යක්ෂණය කළ අරුණෝදය ටෙලි සිත්තමේ ද අදීශ සිය රංගන ප්‍රතිභාවන් දැක්වීය. එමෙන්ම වී. සිවදාසන්, බර්මින් ලයිලි ප්‍රනාන්දු වැනි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරුන් යටතේ නිර්මාණ කීපයකටම රංගනයෙන් දායක විය.

මීට අමතරව ඉනෝකා සත්‍යාංගනී සහ වසන්ත මොරගොඩ නිර්මාණය කළ විවිධ වැඩ සටහන් සහ ප්‍රචාරක දැන්වීම් රාශියකටම අදීශ රංගන දායකත්වය සැපයීය. ස. රි. ග. ම. මාස්ටර් ඔහු විසින් අධ්‍යක්ෂණය කළ වේදිකා නාට්‍යයකි. අලුත් වේදිකා නාට්‍යයක් 2018 වසරේ මාර්තු මස කරළියට ගෙන ඒමට ඔහු සැලසුම් සකස් කරමින් සිටියේය.

ක්‍රීඩකයෙකු, රංගන ශිල්පියෙකු, අධ්‍යක්ෂවරයකු, වේශ නිරූපණ ශිල්පියෙකු, හඬ කැවීම් ශිල්පියකු, නිවේදකයකු ලෙස ශ්‍රී ලංකාව පුරාම ගොස් විවිධ උදවිය දැන හැඳිනගමින් අව්‍යාජ මිනිස්කම, සුහදකම, මිත්‍රත්වය පතුරුවාලූ ඔහු අපගේ ආදරණීය මිත්‍ර අදීශ කාංචන අවුරුදු 50 ක් අයු වළඳා අකාලයේ අප අතරින් නොබෝදා වෙන්ව ගියේය. ඔහුගේ වියෝව වෙනුවෙන් සත් දින බණ පිංකම 2018. 01. 12 වන සිකුරාදා රාත්‍රියේ ද, දානමය පිංකම 13 වන සෙනසුරාදා ද නාරාහේන්පිට මංසන්ධියේ පිහිටි ඔහුගේ නිවසේ පැවැත්වේ. අදීශ කාංචන සහෘදයාණන්ට නිවන් සුව ලැබේවා.


ලව් ඇන්ඩ් ලයිෆ් සිකුරාදා

ජාත්‍යන්තර නාට්‍ය උලෙළවල් කිහිපයක් නියෝජනය කළ 'ලව් ඇන්ඩ් ලයිෆ්' (ආදරය සහ ජීවිතය) එස්. අයි. සමරක්කොඩි නාට්‍ය නිර්මාණය ජනවාරි 12 වෙනි සිකුරාදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගත වේ.


ගුත්තිල ලයනල් වෙන්ඩ්ට් එයි

අකිල සපුමල්ගේ අධ්‍යක්ෂණය කළ ගුත්තිල කාව්‍ය වේදිකා නාට්‍යය අද පස්වරු 7 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී වේදිකා ගත කෙරේ.
චන්ද්‍රසෝම බිංදුහේවා, ප්‍රසන්නජිත් අබේසූරිය, ජයනාත් බණ්ඩාර, තිලංක ගමගේ, දිනූපා කෝදාගොඩ, තිලාන් වර්ණජිත්, සුසන්ත කහඳවලආරච්චි, ටෝනි කෙවිටියාගල, ඉරේෂා ජීවන්ති, ප්‍රියන්තා කුමාරි, ආසිරි එදිරිසිංහ, ඉමයා සෙව්වන්දිකා චරිත නිරූපණය කරන අතර සංගීත අධ්‍යක්ෂණය ඩිල්ෂාන් උමයංග, පසුතල නිර්මාණය දසුන් තීක්ෂණ, රංග වස්ත්‍ර නිිර්මාණය ප්‍රසන්නජිත් අබේසූරිය සහ ඉරේෂා ජානකීගෙනි. නාට්‍ය නිෂ්පාදනය ජූඩ් ශ්‍රීමාල්.